1995 රග්බි ලෝක ශූරතාව

 ඡායාරූපය:

1995 රග්බි ලෝක ශූරතාව

මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකාවට

තෙවැනි රග්බි ලෝක ශූරතාව සඳහා සත්කාරකත්වය හිමි වූයේ දශක තුනකට ආසන්න කාලයක් වර්ණ භේදවාදී දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් පිටමංකර සිටි දකුණු අප්‍රිකාවටයි. 1995 මැයි 25 වැනිදා සිට ජුනි 24 වැනිදා දක්වා තරගාවලිය පැවැත්විණි.

A කාණ්ඩයෙන් තරග වැදුණු දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර B කාණ්ඩයෙන් එංගලන්තය සහ බටහිර සැමොවා කණ්ඩායම් අර්ධ අවසන් වටයට එක් විය. නවසීලන්තය සහ අයර්ලන්තය C කාණ්ඩයෙන්ද, ප්‍රංශය සහ ස්කොට්ලන්තය D කාණ්ඩයෙන් පිලිමළුන් පිටුදැකිමේ වටයට එක් විය.

පළමු වටයේ පැවැති සුවිශේෂම තරගයක් වූයේ නවසීලන්තය සහ ජපානය අතර තරගයයි. එම තරගයෙන් නවසීලන්තය ජයගත්තේ ලකුණු 145-17ක් ලෙස දැවැන්ත ලකුණු පරතරයක් සහිතවය. මෙම තරගයේදී නවසීලන්තයේ මාක් එලිස් උත්සාහක දිනුම් 6ක් ලබා ගනිමින් රග්බි ලෝක ශූරතා තරගාවලියක නව වාර්තාවක් තැබීමටද සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටය

පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව විසින් බටහිර සැමොවා කණ්ඩායම ලකුණු 42-14න් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි පළමු රට බවට පත් විය. ප්‍රංශය සහ අයර්ලන්තය අතර පැවැති දෙවැනි අර්ධ අවසන් තරගයෙන් ප්‍රංශයට පහසු ජයක් හිමි වූයේ ලකුණු 36-12ක් ලෙසිනි.

තියුණුම තරගය පැවැතියේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතරයි. තරගයේ නියමිත කාලය අවසන් වන විට 22-22ක් ලෙස සම ලකුණු තත්ත්වයක් තිබූ හෙයින් තරගයේ විසඳුම සඳහා අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවෝ තීරණය කළහ. අතිරේක කාලයේදී ඉතා වටිනා ලයින් අවුට් අවස්ථාවකින් පන්දුව ලබා ගත් එංගලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් අවසානයේ පන්දුව බාර කළේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක රොබ් ඇන්ඩෘ හටයි. තමන්ට ලැබුණු පන්දුව මීටර් 45ක පමණ දුර සිට ගෝලය වෙත එල්ල කරමින් සුපිරි ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළ ඇන්ඩෘ එංගලන්ත කණ්ඩායම තෙවැනි රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ගෙන යාමට සමත් විය.

සිව්වැනි අර්ධ අවසන් තරගයෙන් නවසීලන්තය ලකුණු 48-30ක් ලෙසින් ස්කොට්ලන්තය පරාජය කළේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගනිමිනි.

අවසන් පූර්ව තරග

පළමු අවසන් පූර්ව තරගය ජුනි 17 වැනිදා ඩර්බන්හි කිංග්ස් පාක් ක්‍රිඩාංගණයේ පැවැතියේ නරඹන්නන් පනස් දහසකට ආසන්න පිරිසක් ඉදිරියේදීය. ඉතා තියුණු තරගයකින් පසුව ලකුණු 19-15ක් ලෙස තරගය ජයගත් දකුණු අප්‍රිකානුවන් තමන් සහභාගි වූ පළමු රග්බි ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ජුනි 18 වැනිදා නවසීලන්තය සහ එංගලන්තය දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ සටන් වැදුණු අතර නවසීලන්තය තරගය ජය ගත්තේ ලකුණු 45-29ක් වශයෙනි. මෙම තරගයේදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරන නවසීලන්තවේ ජෝනා ලොමු උත්සාහක දිනුම් 4ක් වාර්තා කිරීමට සමත්වේ.

ජුනි 22 වැනිදා ප්‍රිටෝරියාහිදී එංගලන්තය ලකුණු 19-9ක් වශයෙන් පරාජයකරමින් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය.

නෙල්සන් මැන්ඩෙලා

1995 පැවැති තුන් වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලැබී තිබුණේ 1994 නෙල්සන් මැන්ඩෙලා එරට ජනාධිපතිවරයා වීමට පළමුවය. මෙම තරගාවලිය මර උගුලක් බවත් දරිද්‍රතාවයෙන්, ණට බරින් මෙන්ම ඒඩ්ස් රෝගීන් බහුලවම ජීවත්වන රටක් ලෙස අපට මෙය කළ නොහැකි බවත් පීඩිත සුද්දන්ගේ උගුලට අසු නොවන බවත් එක පෑන් පහරින් මෙම තරගාවලියේ සත්කාරකත්වය තමන් අවලංගු කරන බවත් නෙල්සන් මැන්ඩෙලා පැවසුවේ නැත. ඒ වෙනුවට මෙම දූරදර්ශී පාලකයා දුටුවේ මෙම තරගාවලිය තමන්ට වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් බවයි.

රග්බි ලෝක කුසලානයේ සත්කාරකත්වය රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම රටේ ප්‍රතිරූපය යහපත් කරගැනීමට මහඟු අවස්ථාවක් බව දකින මැන්ඩෙලා සිතන්නේ කෙසේ හෝ රග්බි ලෝක ශූරතාව ජයගත යුතු බවයි. එසේ නම් ඒ සඳහා තම රටේ කණ්ඩායමට තිබෙන දක්ෂතාවලට අමතරව තවත් යමක් අවශ්‍ය බව විචක්ෂණශීලී මැන්ඩෙලා වටහාගන්නේ දකුණු අප්‍රිකාවේ කල්ලන්ගේ මෙන්ම සුද්දන්ගේද චර්යා රටාව හොඳින්ම දන්නා බැවිනි. එසේ සිතන මැන්ඩෙලා හමුවේ දැවැන්ත අභියෝග රාශියක් ගොඩගැසීමට පටන් ගනී.

එහි පළමු අභියෝගය වන්නේ එම වසරේම මැන්ඩෙලාගේ නායකත්වයෙන් ඇරඹුණු කළු ජාතකයින්ගෙන් සැදුම්ලත් අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් පාලනයට තමන් අයත් නොවන බවත් තමන් කෙරෙහි කළු ජාතිකයන් අධික වෛරයකින් පසුවන බවත් සිතන සුදු ජාතකයින්ගෙන් සැදුම්ලත් දකුණු අප්‍රිකානු ජාතික රග්බි කණ්ඩායම හෙවත් ‘ස්ප්‍රින්බොක්‘ කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ විශ්වාසය වර්ධනය කිරීමයි. දෙවැනි අභියෝගය වන්නේ මෙතෙක් කලක් තමන්ව දැඩි මර්දනයකින් පාලනය කළ සුදු ජාතික රග්බි කණ්ඩායමට සහයෝගය දක්වන්නට කළු ජාතිකයිනගේ හිත් හැදීමයි. ‘ස්ප්‍රින්බොක්‘ යනු තම දේශයේ කණ්ඩායම බව කල්ලන්ට ඒත්තු ගැන්වීමයි.

මේ සඳහා පළමු පියවර ලෙස ‘ස්ප්‍රින්බොක්‘ කණ්ඩායමේ නායකයා වන ‘ෆ්‍රැන්කොයිස් පීනාර්‘ සමග මිතුරු කමක් ඇතිකර ගැනීමට මැන්ඩෙලා සමත් වන අතර පීනාර් ව ජනාධිපති කාර්යාලයේදී හමුවීමටද මැන්ඩෙලා පියවර ගනී. සුදු පාලකයන්ගෙන් තමන් විඳි අනේක විද හිංසාවන් පීනාර් හරහා ‘ස්ප්‍රින්බොක්‘ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් වෙතද කාන්දු කිරීමට මැන්ඩෙලා සමත් වෙයි. පසුව සුදු ජාතක රග්බි කණ්ඩායමේ විශ්වාසය දිනා ගන්නා කළු ජනාධිපතිවරයා. ‘ස්ප්‍රින්බොක්‘ කණ්ඩායම කළු ජාතකයින් අතරද ජනප්‍රිය කිරීමට පටන් ගන්නේ කළු ළමුන් සමග ‘ස්ප්‍රින්බොක්‘ කණ්ඩායමට එකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දෙමිනි.

‘එක් කණ්ඩායමක් එක් රටක්‘ (One team – One country) යන තේමාව ඔස්සේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලෝක කුසලාන ප්‍රචාරක වැඩසටහන දියත්වන අතර මැන්ඩෙලාගේ කාලයෙන් වැඩි කොටසක්ද ඒ සඳහා වැය කිරීමට ඔහු ක්‍රියා කරයි. මෙතෙක් කලක් සුද්දන් සමග තිබූ වෛරයට කළු ජාතිකයින් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනත් රටක් සමග රග්බි තරගයකට ක්‍රීඩා කළහොත් සහායඵල කරන්නේ විරුද්ධ පිලටය. නමුත් ලෝක ශූරතා රග්බි තරගාවලිය මුව විට තිබියදී එය අනෙක් පැත්තට හරවන්නට මැන්ඩෙලා සමත් වෙයි. එසේම තරගාවලියේ පුහුණුවීම්කරන ක්‍රීඩකයින් හමුවීමට නිතරම ක්‍රිඩාංගණයට යන මැන්ඩෙලා එක් එක් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ නමින් අමතන්නේ ඔවුන් තමන්ට සහ රටට කෙතරම් වැදගත් පුද්ගලයින්දැයි ඒත්තු ගැන්වීමටය.

මෙම සියලුම දිරිගැන්වීම් ඔස්සේ මැයි 25 වැනිදා තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලයේ පළමු වටය අවසන් කරන්නේ පසුගියවර ශූරයන්වූ ඔස්ට්‍රේලියාවද පරාජය කරමින් අපරාජිත පිලක් ලෙසිනි. ඒ වන විට කල්ලන් විශාල පිරිසක්ද ‘බොකා‘ කණ්ඩායම දිරි ගැන්වීමට ක්‍රීඩාංගණවලට පැමිනීමට පටන්ගෙන තිබිණි. ‘බොකා‘ යනු ‘ස්ප්‍රිංබොක්‘ කණ්ඩායම දකුණු අපිකානුවන් විසින් හඳුන්වනු ලබන කෙටි නාමයයි. අර්ධ අවසන් තරගයේදී බටහිර සැමොවා කණ්ඩායම පහසුවෙන් පරාජය කරන ‘ස්ප්‍රිංබොක්‘ කණ්ඩායම ජුනි 17 වැනිදා අවසන් පූර්ව තරගයේදි තියුණු සටනකින් පසුව ප්‍රංශය පරාජය කරන්නේ කළු ජාතික රග්බි ලෝලීන් විශාල පිරිසකගේ ජයඝෝෂා මධ්‍යයේය.

අවසන් මහා තරගය

ලෝක ශූර නවසිලන්තය සමග අවසන් මහා තරගය ඇරඹීමට පෙර පීනාර් ඇතුළු ‘ස්ප්‍රින්බොක්‘ පිලට විශේෂ සවාරියකට සහභාගීවීමට අවස්ථාව උදාවේ. මෙවර ඔවුන්ව කැඳවාගෙන යන්නේ සුදු පාලකයන් යටතේ තමන් ගෙවා දැමූ 27 වසරක සිර දඬුවමින් වසර 18ක් ගතකල ‘රොබෙන්‘ දුපත වෙතය. එහිදී මැන්ඩෙලා සිටි රළු සිර කුටිය නැරඹීමටද ‘ස්ප්‍රින්බොක්‘ ක්‍රිඩකයින්ට අවස්ථාව හිමිවේ. මැන්ඩෙලාට මෙතරම් වධ හිංසා කළ සහ ඔහුගේ තරුණ වියෙන් වසර 27ක් ම්ලේච්ඡ ලෙස අහිමි කළ තමන්ද ඇතුළත් වන සුදු ජාතිකයින්ට සමාව දුන් මැන්ඩෙලාට කළ ගුණ සැලකීමට තරයේ තිතට ගන්නා ‘ස්ප්‍රින්බොක්‘ ක්‍රිඩකයෝ අවසන් තරගය සඳහා ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ‘කුසලානය ජයගන්නවාමයි‘ යන ස්ථිර අධිෂ්ඨානයෙනි.

අවසන් තරගය නැරඹීම සඳහා මැන්ඩෙලා පැමිණෙන්නේ තරගාවලිය ඇරඹීමට පෙර කල්ලන් දැඩි ලෙස වෛර කළ ‘ස්ප්‍රින්බොක්‘ ජර්සියකින් සහ බේස් බෝල් කැප් එකකින් සැරසීගෙනය. ක්‍රීඩාංගණයට රැස්වී සිටි හැට දහසකට අධික ප්‍රේක්ෂක පිරිස විසින් නගනු ලබන ජයඝෝෂා මධ්‍යයේ තරගයට එක්වන දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ විවේක කලය වන විට ලකුණු 9-6ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් විය. දෙවැනි අර්ධයේදී ලකුණු තත්ත්වය සම කිරීමට නවසීලන්තය සමත් වන්නේ ලකුණු 12-12ක් ලෙසින් නියමිත කාලයේ තරගය අවසන් වන විටය.

අතිරේක කාලයේ තරගය ඇරඹීමට ප්‍රථම කණ්ඩායම අතරට පැමිණෙන මැන්ඩෙලා දකින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ප්‍රමෝදයට පත් වන අතර මැන්ඩෙලා ඔවුන්ට පැමිණ සිටින ප්‍රේක්ෂකයින් අතින් පෙන්වයි. ‘‘මෙතන සුදු, කළු හැමෝම ඉන්නවා. ඔක්කොම දකුණු අප්‍රිකානුවෝ. අසීරුදේ කිරීම අපිට අමාරු දෙයක් නෙමෙයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඔබලා අද ජයගත යුතුයි‘‘

අතිරේක කාලයේ පළමු අර්ධයේදි දෙපිලම දඬුවම් පහර බැගින් සාර්ථක කරගත් බැවින් ලකුණු තත්ත්වය 15-15ක් ලෙසින් නැවතත් සමවන්නේ තියුණු අවසන් තරගයක් දැක බලා ගැනිමේ අවස්ථාව රග්බි ප්‍රේක්ෂකයින්ට උදා කරමිනි. අතිරේක කාලයේ දෙවැනි අර්ධයේදී ‘ස්ප්‍රින්බොක්‘ ක්‍රීඩක ජොඑල් ස්ට්‍රැන්ස්කි අති විශිෂ්ට ඩ්‍රොප් ගෝලයක් ලබා ගන්නේ ලොව සුපිරිම රගර් කණ්ඩායම තමන් බවලොවටම පෙන්වමිනි. අවසානයේ රග්බි ලෝක කුසලානය ‘ස්ප්‍රින්බොක්‘ නායක ෆ්‍රැන්කොයිස් පීනාර්ට පිරිනැමීම සිදු වූයේ මැන්ඩෙලා අතිනි. එය එතෙක් මෙතෙක් කුමන ක්‍රීඩාවක හෝ අවසන් තරගයක පැවැති ජනප්‍රියම සහ විශිෂ්ටතම අවස්ථාව ලෙස සටහන් වී ඇත.

ඉන් පසුව කළු ජාතික ක්‍රීඩකයන්ද සමගින් ‘ස්ප්‍රින්බොක්‘ කණඩායම ඉදිරියට ඇදුණු අතර 2007 රග්බි ලෝක ශූරතාව ජය ගනිමින් දෙවැනි වරටත් ලෝක කුසලානය ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. 2007 තරගාවලියෙ විශිෂ්ටතම ක්‍රීඩකයා වූ බ්‍රයන් හබානා කළු ජාතික ක්‍රීඩකයෙකි. අද වන විට ‘ස්ප්‍රින්බොක්‘ යනු සමස්ථ දකුණු අප්‍රිකානුවන්ගේම ජාතික රග්බි පිලයි.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

දැල් පන්දුවේ කෙහෙවළු අන්දරය ලිපිය වෙනුවෙන් පුහුණුකාරිනියන් තිදෙනා ලබාදුන් පිළිතුරු ලබන සතියේ බලාපොරොත්තු වන්න.

මාතෘකා