අතීතය යනු වර්තමානයේ එක් නිමේෂයක්ද?

 ඡායාරූපය:

අතීතය යනු වර්තමානයේ එක් නිමේෂයක්ද?

බ්‍රැඩ්මන් නිරුත්තර කළ ලාවුඩ් සහ ස්මිත්

පිටියෙන් ඉවත්කළ ආචර්

වසර 1932-1933 පැවැති අළු බඳුන ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියාව මට්ටු කරන්නට එංගලන්තය යොදාගත්තේ කූප්‍රකට බොඩිලයින් පන්දුයැවීමේ ක්‍රමවේදයයි. ඩග්ලස් ජාර්ඩීන් එංගලන්ත නායකයා වශයෙන් සිටියදී ඔහු තමන් සතු වේගවත්ම පන්දුයවන්නා වන හැරල් ලාවුඩ් යොදාගනිමින් පිතිකරුවන්ගේ සිරුර ඉලක්ක කරගනිමින් පන්දුයැවීම ඇරඹුවේය. එකල හිස් ආවරණ නොමැතිවූ හෙයින් ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට සිදුවුණේ කෙසේ හෝ තමන්ගේ සිරුර වෙතම එන පන්දුවෙන් ගැලවීමටය. එය ඉතා අසීරු කර්තව්‍යයක් වූ හෙයින් එකල ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ලාවුඩ්ගේ පන්දු යැවීම අභිමුව අසරණ විණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ පැවැති අළු බඳුන තරගාවලියේදී සත්කාරකයන් පරාජය කරමින් එවර අළු බඳුන ජයගත්තේ 4-1ක් වශයෙනි.

එදා ලාවුඩ් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් අන්ද මන්ද කරමින් එවූයේ ඉහළට ඉපිලෙන බවුන්සර් පන්දුමය. එදා අදට වඩා පන්දුයැවීමේ නීති ලිහිල් විණි. අද නම් පන්දුයවන්නකුට බවුන්සර් පන්දුයැවීමේ සීමාවක් පවතී. ඒ අනුව පන්දුයවන්නකුට අද යැවිය හැක්කේ එක් පන්දුවාරයක බවුන්සර් පන්දු2ක් පමණි. එය නූතනයේ සලකන කල්හි පිතිකරුවන්ගේ පාර්ශ්වයෙන් යම් පමණකට සානුකම්පිතවීමකි.

කෙසේ නමුත් වසර 87කට එපිට කාලයක සිදුකළත් මෙම බොඩිලයින් පන්දුයැවීම අදටත් ක්‍රිකට් පිටියට අමතක නැත. එය යළිත් වරක් සිහිපත් කරමින් පසුගියදා ලෝර්ඩ්ස් පිටියේ නිමාවූ අළු බඳුන තරගයේදී ඔස්ට්‍රේලියාවේ සුපිරිතම පිිතිකරුවා නිරුත්තර කරන්නට එංගලන්තය යොදාගත් ඉහළට ඉපිලෙන පන්දුයැවීමක්මය. එහිදී පන්දුයවන්නා වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවුණු දායාදයක් වූ ජොෆ්රා ආචර්ය. ඔහු යැවූ ඉහළට ඉපිලෙන පන්දුවක් පැයට කිලෝ මීටර් 148කට ආසන්න වේගයකින් පැමිණ හොඳින් පන්දුවට පහරදෙමින් සිටි සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ගේ ගෙල ආශ්‍රිත ප්‍රදේශයක වැදිණි. එම ප්‍රදේශය හිස් ආවාරණයෙන් නිරාවරණයවී තිබූ අතර පන්දුව වැදීමෙන් පසු ස්ටීවන් ස්මිත් පිටියේ ඇද වැටුණේය. එම පන්දුව හැරල් ලාවුඩ් යැවූ බොඩිලයින් පන්දුයැවීම යළි සිහිපත් කළ පන්දුවක්ම විය. එහෙත් ආචර් මෙම තරගයේදී නීත්‍යානුකූල පන්දුවක් යොමුකර තිබුණු බවද අමතක කරන්නට බැරිය. නමුත් එය එක්තරා ආකාරයකින් ලාවුඩ් හා ආචර් අතර සමානත්වයක් සිහිපත් කිරීමකි.

වර්තමාන ටෙස්ට් පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවන්ට සමීපත්වයක් සහිත එකම පිතිකරුවා ලෙස සැලකිය හැක්කේද ඔස්ට්‍රේලියාවේම ස්ටීවන් ස්මිත්ම පමණි. මේ අනුව අදාළ බවුන්සර් සිද්ධිය අතීත බොඩිලයින් පන්දුයැවීම ප්‍රකාරවම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් භීතියට පත්කර තිබේ. එදා හිස් ආවරණ නොමැතිව සහ පැයට කිලෝ මීටර් සියයක පමණ වේගයකින් පන්දුයවන හැරල් ලාවුඩ් වැන්නවුන්ට බ්‍රැඩ්මන්ලා මුහුණ දුන් අයුරින්ම අද ආචර්ලාගේ පන්දුවලට ස්මිත් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් මුහුණදෙන ආකාරයට බොහෝ දුරට සමානය. අතීතය යනු වර්තමානයේ එක් නිමේෂයක්ද යන්න පැහැදිලිව සිතා බලන්නට සිදුවන්නේ මෙවැනි සිදුවීම් හේතුවෙනි. පුද්ගලයන් අසමාන නමුත් සිදුවීම් බොහෝදුරට සමාන මෙවැන්නක් අනාගතයට අයත් ඉතිහාහසයේ කාලයේ වැලිතලාව යට නිදන්ගතවන අත්දැකීමක් වන බවනම් නිසැකය.

 

මාතෘකා