මම ජපානයේ කුණු ලංකාවට එවන්නෙ නෑ

 ඡායාරූපය:

මම ජපානයේ කුණු ලංකාවට එවන්නෙ නෑ

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ජපානයේ ජීවත් වුවද ශ්‍රී ලංකාවට එවන්නේ සුප්‍රකට යාන වාහන නොවේ. එහෙත් ජපානයේ සිට ඔහු එවන බහාලුම් දැකගැනීමට පිළිවන. පසුගිය කාලයේ ඔහු එවූ එවැනි බහාලුමක් වරායේ බහාලුම් අංගනයේ කාලයක් තිස්සේ සිරව තිබුණේය. පසුව එය නිදහස් කරගත්තේ ජපානයේ සිට ඔහුම ශ්‍රී ලංකාවට පැමිණියාට පසුවය. ඒ අතර කාලය තුළ අදාළ බහාලුම තබාගැනීම වෙනුවෙන් අතිරේක ගුදම් ගාස්තු ගෙවීමටද ඔහුට සිදුව තිබිණි. එහෙත් ඔහු ඒවා ගෙව්වේ ජපානයේ සහයෝගයෙනි. එම බහාලුමේ තිබුණේ බේස්බෝල් පිති, අත්ආවරණ, පන්දු, හිස් ආවරණ ඇතුළු ක්‍රීඩා උපාංගය. ඇතැම් ඒවා ජපානය තුළ කලක් භාවිත කළ ඒවාය. එහෙත් ඒවා ප්‍රයෝජනයට ගත හැකි මට්ටමක පැවැති උපකරණය. තවත් උපකරණ අලුත්ම ඒවාය. මෙම උපකරණ මෙරටට එවූයේ ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවකුද වන සුජීව විජේනායකය. මේ ඔහු සමඟ ‘රැස’ කළ සංවාදයකි.

ඔබ දැන් ජපානයම පමණක් නොවෙයි ලෝකයම පිළිගන්න බේස්බෝල් විනිසුරුවෙක්?

ඔව්. බේස්බෝල් විනිසුරුවෙක් වශයෙන් මම ජාත්‍යන්තර වශයෙන් ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ජපානයේ ඉන්න, වෙනත් රටක ඉපදුණු එකම විනිසුරුවා වෙන්නෙත් මමයි.

පසුගියදා ඔබට ජනාධිපති ක්‍රීඩා උලෙළේදී ඇගයීමකට ලක්වුණා?

ඔව්. මාව මගේ මව්බිමේදී ඒ ආකාරයෙන් ඇගයීමට ලක්කිරීම සතුටක්. මට එතැනදී සම්මානයක් හිමිවුණා.

ඔබට ඒ සම්මානය හිමිවුණේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙනුයි?

ඔව්. මම බේස්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන කාර්යය මේ විදිහට රිදී පදක්කමකින් ඇගයීම ගැන ආඩම්බර වෙනවා.

ඔබ බේස්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන්න බොහෝ වෙහෙසුණා?

ඔව්. මම ගල්, මුල්වල හැපී, හැපී ගෙදර ගිය කාලයක් තිබුණා. පත්තර කන්තෝරුගාව රස්තියාදුවෙලා තමයි මම රෑ එහෙම ගෙදර ගියේ. මට ඒ අතීතය මතක් වෙනකොට සන්තෝෂයි. අද එදා ඉඳලා ගොඩාක් දුර ඇවිත් තිබෙනවා. ඇත්තටම බේස්බෝල් කියන්නේ මොනවගේ ක්‍රීඩාවක්ද කියලා රටේ හරි අවබෝධයක් නැතිව තිබියදී ඒ ක්‍රීඩාව රට ඇතුළේ ප්‍රචලිත කරන්න අපට හැකිවුණා. මට ඒකාලේ කිව්වේ බේස්බෝල් මාධ්‍ය ප්‍රකාශක කියලයි. ඇත්තටම ඒ අතීතය තවමත් සුන්දර මතකයක්.

බේස්බෝල් මාධ්‍ය ප්‍රකාශක කොළඹ ආනන්ද විද්‍යායලයේ බේස්බෝල් ක්‍රීඩකයෙකුත් වුණා?

මම ක්‍රීඩකයෙක් විදිහට පුහුණුවීම් කරලා තමයි බේස්බෝල් ගැන අතින් ලියාගත්තු ප්‍රතිඵල අරගෙන පත්තර කන්තෝරුවලට ආවෙ.

ඔබ බේස්බෝල් නිසාමද ජපානයට ආවෙ?

මගේ අක්කා ජපානයට ආවේ ඊට කාලයකට ඉස්සරයි. ඇය ගිය විශ්ව විද්‍යාලයේම උපාධියක් හදාරන්න මමත් ජපානයට ආවා.

බේස්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් පැවැති යටිතල පහසුකම් සම්පූර්ණ කරන්න ඔබ එහිදී උත්සුක වුණා?

අපිට බේස්බෝල්වලටම කියලා ක්‍රීඩාංගණයක් තිබුණේ නෑ. මම ජපානයේ සහාය අරගෙන ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධ වෙලා බේස්බෝල් ක්‍රීඩාංගණයක් ගොඩනැංවුවා. ඒක කළේ ජපාන ආධාර යටතෙයි. ඒ වගේමයි මම ජපානයෙන් ක්‍රීඩා භාණ්ඩ එකතුකරලා ලංකාවට එවන්න පටන් ගත්තා. ඒවා බේස්බෝල් සම්මේලනය මගින් රට ඇතුළේ ක්‍රීඩාව කරන කණ්ඩායම් අතර බෙදලා දුන්නා.

ජාත්‍යන්තරය පිළිගන්න විනිසුරුවෙක් බවට පත්වන්නේ කොහොමද?

මම ජපානයේ ඉන්න ගමන් විනිසුරු විභාග සමත්වෙලා, දේශීය තරග විනිශ්චය කරලා ජාත්‍යන්තරය දක්වා ගමන් ගත්තා. ඒ නිසා මම ලෝකය තුළ නමක් හදාගත්තු විනිසුරුවෙක් වෙන්න තරම් වාසනාවන්ත වුණා.

මේ වැඩ කරන්න තරම් ඔබට කාලය කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ කොහොමද?

අවශ්‍යතාව තිබෙනවා නම් කාලය කළමනාකරණය කරගත හැකියි. කාල කළමනාකරණය දුර්වල නම් ජීවිතයක් සාර්ථක වෙන්නේ නෑ. මම දැනටත් කාලය සමඟ හරඹ කරනවා.

ජපානය තුළ ඉන්නෙ හපන්නු කියලයි ලෝකය පිළිගන්නෙ. ඒත් ඔබ ජපානයට හපනෙක් වෙලා තිබෙනවා?

ඔවුන් මාව ඉහළින් සලකනවා. මට ඒ ගැන සතුටුයි.

දැන් ඔබ ඔබේ අත්දැකීම් ජපාන ජනතාව සමඟ බෙදා ගන්නවා. ඒක වුණේ කොහොමද?

ජපානය තුළ මම ජීවත්වද්දී හොඳින් ජපන් භාෂාව කතා කරන්න පුරුදු වුණා. දැන් මම ජපන් ජාතිකයකු වගේම ජපන් බස කතාකරන බව ඔවුන් කියනවා. මම ඔවුන්ගේ සංස්කෘතිය අවබෝධ කරගෙන මගේ සංස්කෘතියත් ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ සංස්කෘතියට ගරුකරලා කටයුතු කරනවා. ඉතින් ඔවුන් මම කෙටි කලක් තුළ අත්පත් කරගත් හැකියාවන්ට ජපානය තුළ විශාල පිළිගැනීමක් තිබෙනවා. ඉතින් ඔවුන් මට සති පතා ඔවුන්ගේ කුමන හෝ ආයතනයක සේවකයන් සමඟ මගේ අත්දැකීම් බෙදාගැනීමට කතාකරනවා.

ශ්‍රී ලංකාවට ක්‍රීඩා භාණ්ඩ එවද්දී යමෙක් ඔබ ජපානයේ තියනෙ කුණු ලංකාවට එවනවා කිව්වොත් ඒ චෝදනාවට මොකද කියන්නෙ?

කුණු ප්‍රශ්නයක් ගැන මම දන්නෙ නෑ. නමුත් මම එවන්නේ මොනවද කියලා රටම දන්නවා. ජපානයේ පාව්ච්චි කළ ක්‍රීඩා භාණ්ඩ වගේම අලුත් ක්‍රීඩා භාණ්ඩත් මම රටට එවනවා. ඒ නිසා මට ඔයවගේ චෝදනාවක් කරන්න කාටවත් ඉඩක් නෑ.

ඔබ ජපාන අගමැතිවරයා ඇතුළු එරට ක්‍රීඩා බලධාරීන් සමඟත් විශාල සම්බන්ධතාවයක් පවත්වන්න සමත් වෙලා තිබෙනවා?

ඔව්. ශ්‍රී ලංකා අගමැතිවරයා ජපානයට යද්දී මමත් එම ධුත පිිරිස සමඟ එක් වුණා. ජපාන අගමැතිවරයා මාව හොඳින් හඳුනනවා. එරට ක්‍රීඩා ඇමැතිවරයත් එහෙමයි. ඔවුන් මා කෙරේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ ගැන සතුටුයි.

ජපානය තුළ මෙවැනි විශ්වාසයක් ගොඩනංවාගැනීම ලෙහෙසි නෑ?

ඔව්. ජපන් ජාතිකයන් ලෙහෙසියෙන් කෙනෙක්ව විශ්වාස කරන්නෙ නෑ. ඔවුන් යමක් විශ්වාස කරන්න පෙර ගැඹුරින් සොයා බලනවා. ඔවුන්ට මගේ අවංක හැඟීම අවබෝධ වෙන්න ඇති.

ඔබ ජපානයමට එකයි කියලයි පිළිගන්නෙ?

ඒක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මට කිව්වේ. එය මා ලැබූ ගෞරවයක්.

මේ ගමන යද්දි ඔබ දීර්ඝ කාලයක් ජපානයේ ජීවත් වෙනවා. ජපනායේම පුරවැසියෙක් බවට පත්වෙයිද? නැත්නම් ආයෙත් මව්බිමට එන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

මම මගේ රට අමතක කරන්නෙ නෑ. මම කවදා හරි ලංකාවට එනවා. ඇවිත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ජීවත් වෙනවා. ජපානයටත් මම කැමතියි. ඒත් මගේ මව්බිම ශ්‍රී ලංකාවයි.

ක්‍රීඩා අමැති හරින් ප්‍රනාන්දු මහතා සමඟ ඔෙබ් ඇසුරත් හොඳයි?

ඔව් ක්‍රීඩා ඇමැති තුමාට උවමනා මේ ක්‍රීඩාව ගොඩනංවන්නයි. ඔහු මට ජපානය පැත්තෙන් ලබාදිය හැකි ශක්තිය ලබාදෙන ලෙස ඉල්ලුවා. මම හැමවෙලාවෙම ඒ දේ කරන්න ලෑස්තියි.

ඔබ පසුගිය කාලයේ ජපානයේ වාර්ෂිකව පවත්වන දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අනුස්මරණ දේශනය පැවැත්වූවා නේද?

ජේ.ආර්. ජයවර්ධන මහතා කියන්නේ ජපාන ජාතිකයන් දේවත්වයෙන් සලකන පුද්ගලයෙකුටයි. එතුමා සැන්ප්‍රැන්සිස්කෝ හිදී ජපන් ජනතාව වෙනුවෙන් සිදුකළ ඓතිහාසික කතාව නිසා ජපානයේ නැගිටීම වේගවත්වී තිබුණා. ඔවුන් ලෝකයක් ඉදිරියේ තමන්ට නැගී සිටින්නට අතදුන් රාජ්‍ය නායකයා ලෙස දකින්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමයි. මමත් ඒ අනුස්මරණ වැඩසටහනට සහභාගිවෙනවා. එතුමා අපට ජපානය තුළ අපේ ජීවිතයට පාරකියාදෙන ප්‍රදීපාගාරයක් වගෙයි.

ඔබට ටෝකියෝ ඔලිම්පික් උලෙළෙත් වැඩ කරන්න අවස්ථාවක් උදාවෙයි?

ජපානයේ ක්‍රීඩා ඇමැතිවරයා මගෙන් මේ සඳහා සහාය ලබාගන්නවා.

නැගෙනහිර ආසියානු බේස්බෝල් කිරුළ ශ්‍රී ලංකාවට හිමිවුණා. එම තරගාවලිය ශ්‍රී ලංකාවට සංවිධානය කළ හැකිවුණෙත් ඔබගේ සම්බන්ධතා නිසයි?

එය ඔබ දැනගෙන ඉන්න එක ගැන සතුටුයි. මම ජපානයේ බේස්බෝල් සම්මේලනයේ සභාපතිවරයාට මේ ගැන කිව්වා. ඔහු ලෝක බේස්බෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙක් වගේම ආසියානු බේස්බෝල් සංගමයේ සභාපතිවරයා. ඔහු මෙම තරගාවලියේ සංවිධානය ගැන ඡන්ද විමසීමක් සිදුකරන්න යද්දී පළමු ඡන්දය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන්නා. එවිට කිසිදු රටක් විරුද්ධ වුණේ නෑ. ඒ නිසා සියලු රටවල ඒකමතික එකඟත්වය මත තරගාවලිය ශ්‍රී ලංකාවට ලැබුණා. අපි ඒ තරගාවලිය ජයග්‍රහණය කරන්නත් සමත් වුණා.

ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රගතියක් ඇති බව නේද එයින් කියැවෙන්නෙ?

ඇත්තෙන්ම. අපි ඒ කාලේ බේස්බෝල් ක්‍රීඩාකළේ ඉතා අසීරුතා සහිතව. මම ඔබට කිව්වා වගේ ඉස්සර ක්‍රීඩා කරලා පත්තර කන්තෝරුවකට ගිහිල්ලා ගෙදර ගියේ බල්ලො පනින නිසා බේස් බෝල් පිත්තක් අතේ අරගෙන. බස් නැතිව රෑ පයින් යද්දී බේස් බෝල් පිත්තෙන් බල්ලන්ගෙන් බේරුණාට මාව එක්කගෙන යන්න වාහනවල යන අය බයවුණා. මොකද මම මේ බේස් බෝල් පිත්තක් අරගෙන යන නිසා. කොහොම හරි විවිධ දුෂ්කරතා එක්ක නැගපු කන්ද අද යම් තැනිතලාවකට පැමිණ තිබෙනවා. මම විශ්වාස කරන්නේ බේස්බෝල් ක්‍රීඩාවෙන් අපිත් ලෝකයේ ඉහළම රටවල් අතරට යන එක සිද්ධ වේවි කියලයි. ඒ වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය මම ලබාදෙනවා.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

සුජීව විජේනායක (ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු)

මාතෘකා