ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය

 ඡායාරූපය:

ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය

 

ස්ලිම් ලයින් නොකවුට්  

දස වසරකට පසු කුසලානය යුද හමුදාවට

හැත්තෑනව වැනි වරට පැවැති ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ සමස්ත ශූරතාව හිමි කරගැනීමට යුද හමුදාව සමත්විය. වසර දහයකට පසු ඔවුන් ලේටන් කුසලානයට හිමිකම් කීම සමත්වීමද විශේෂත්වයකි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සජීව නුවන් සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුණේ යුනිචෙලා බොක්සිං ක්‍රීඩා සමාජයේ කේෂානි හංසිකාය.

කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයිවේට් අංශය නියෝජනය කරමින් තරග වැදුණු සජීව නුවන් අවසන් තරගයේදී තියුණු සටනකින් පසුව ස්ලිම් ලයින් බොක්සිං සමාජයේ එන්. ජිනදාස පරාජය කරමින් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. සජීවට තියුණු තරගයක් ලබා දුන් ජිනදාස තරගාවලියේ හොඳම පරාජිතයා බවට තෝරාගැනිණි.

කාන්තා ශූරිය වූ කේෂානි හංසිකා කි.ග්‍රෑ. 57 ෆෙදර්වේට් ඉසව්වෙන් තරග වැදුණු අතර ඇය පසුගිය වසරේ ඉන්දුනීසියානු ජනාධිපති කුසලාන බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභිනියයි. කාන්තා අංශයෙන් හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙස කුසලාන ලබා ගත්තේ කි.ග්‍රෑ. 54 බැන්ටම්වේට් බර පන්තියෙන් තරග වැදී අවසන් තරගයේදි යුනිචෙලා බොක්සිං ක්‍රීඩා සමාජයේ එච්. එන්. එස්. තල්ගස්පිටිය හමුවේ විශිෂ්ට තරගයකින් පසුව පරාජයට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. පී. සංජීවනී කුරේය. සංජීවනී පසුගිය වසර පහ තුළදීම පිට පිටම බැන්ටම් බර පංතියේ බොක්සිං ශූරතාව ජයගත් ක්‍රීඩිකාවයි. ශූරතාව දිනාගත් යුද හමුදා කණ්ඩායම රන් පදක්කම් 7ක් දිනා ගනු ලැබිණි. ඒ බරපන්ති 10ක් අතරිනි. යුද හමුදාව තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා විට පසුගිය වසරේ ජාතික බොක්සිං ශූරයින් වූ ස්ලිම් ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයට හිමි වුණේ රන් පදක්කම් 3ක් පමණි.

කාන්තා ශූරතාවයේදි යුනිචෙලා බොක්සිං සමාජය විසින් රන් පදක්කම් 8ක් හිමිකර ගැනීමට සමත් වූ අතර පොලිස් ක්‍රීඩා සමාජය එක් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගාවලිය කොළඹ රාජකීය බොක්සිං පීඨිකාවේදී පැවැත්වුණු අතර ක්‍රීඩා සමාජ 18ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 118 දෙනෙකු සහ ක්‍රිඩිකාවන් 34 දෙනෙකු තරගාවලිය සඳහා එක්ව සිටියහ.

[ඩබ්.ආර්. කුමාර]

මාතෘකා