නවසීලන්තය දෙෙකන් තුනට ඔස්ට්‍රේලියාව පියවරක් ඉහළට

 ඡායාරූපය:

නවසීලන්තය දෙෙකන් තුනට ඔස්ට්‍රේලියාව පියවරක් ඉහළට

 

ශ්‍රී ලංකාවටත් ප්‍රසාද ලකුණු 3ක්

 

අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක දෙක ස්ථානයේ පසුවූ නවසීලන්තය ගාල්ලේදී නිමාවදුටු පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පියවරක් පසුබසිමින් එහි තෙවැනි ස්ථානයට පත්ව තිබේ. මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 109ක් හිමිකරගෙන තිබූ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 105 දක්වා පහළ වැටී ඇත. එම සටහනේ තෙවැනි ස්ථානය හිමිකරගෙන සිටි දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා ඇත්තේ කිසිදු තරගයකට සහභාගි නොවෙමින් වීම කැපීපෙනෙයි.

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයගැනීමත්, දෙවැනි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමත් සමඟ ඔස්ට්‍රේලියාව ශ්‍රේණිගත කිරීම්හි පියවරක් ඉදිරියට පැමිණ ඇත්තේ එංගලන්තය පියවරකින් පසුපසට ඇද දමමිනි. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සම්බන්ධතාවය සමාන අගයක් ගෙන තිබේ. එය දැක්වෙන්නේ ලකුණු 102ක් ලෙසය. නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී ලැබූ ටෙස්ට් ජයත් සමඟ ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 3ක් හිමිවී ඇත. ඕවල් පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ජයගැනීමට නවසීලන්තය අසමත්වන්නේ නම් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 103 දක්වා පහළ බසින අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 99 දක්වා ඉහළ යාමටද නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය ජයගත්තද දැනට අළු බඳුන තරගාවලියේ ඔස්ට්‍රේලියාව දක්වන දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයට නම් වෙනසක් සිදුනොවනු ඇත. එහෙත් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය දක්වන දක්ෂතා අනුව නවසීලන්තයේ ස්ථානය තීරණය කරනු ඇත.

මේ අතර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ස්ටීව් ස්මිත් සමත්ව ඇති අතර දිමුත් කරුණාරත්න අංක අට ස්ථානය දක්වා ඉහළ නැග තිබේ. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් 14 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා තිබේ. කුසල් මෙන්ඩිස් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි රැඳී ඇත්තේ 19 වැනි තැනයි. මෙතෙක් කල් දෙවැනි ස්ථානයට පත්ව සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා පහත බැස ඇත්තේ නිමාව දුටු තරගයේ පිතිකරුවකු වශයෙන් දක්ෂතා දැක්වීමට අසමත්වීමත් සමඟිනි. පන්දුයවන්නන් අතර සුරංග ලක්මාල් 30 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා ඇති අතර තවමත් 33 වැනි ස්ථානයේ පසුවන්නේ දිල්රුවන් පෙරේරාය. අකිල ධනංජය 36 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකාව පෙරමුණට

මේ අතර ගාලු ටෙස්ට් තරගය ජයගැනීමත් සමඟ ශ්‍රීලංකා කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලි ලකුණු සටහනේ ලකුණු 60ක් ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. අළුබඳුන තරගාවලියේ පළමු තරගය ජය ගැනීම නිසා ලකුණු 24ක් දිනාගත් ඔස්ට්‍රේලියාව දෙවැනි තරගය ජයපරාජයකින් තොරව අවසන්කර ගැනීම නිසා තවත් ලකුණු 8ක් එක්කර ගනිමින් ලකුණු 32ක් ලබාගෙන එහි දෙවැනි ස්ථානයේ පසුවේ. ලකුණු සටහනට අනුව තෙවැනි ස්ථානයේ සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් ප්‍රසාද ලකුණු 8ක් ලබා ඇත.

ශ්‍රී ලංකාව හමුවේ පරාජයවූ නවසීලන්තය ඇතුළු අනෙක් ටෙස්ට් රටවල් ලකුණු සටහනේ මෙතෙක් කිසිදු ලකුණක් ලබා නොමැති අතර ලබන බ්‍රහස්පතින්දා (22) ආරම්භවීමට නියමිත ඉන්දීය - බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියත් සමගම එම රටවල් දෙකද ලකුණු සටහට එක්වීමට නියමිතය.

මාතෘකා