ජාතික මලල ක්‍රීඩා ශූරතාවෙන් මතුවන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමේ අවශ්‍යතාව

ජාතික මලල ක්‍රීඩා ශූරතාවෙන් මතුවන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමේ අවශ්‍යතාව

 

අනූ හත් වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූයේ පසුගිය ඉරිදාය. දේශීය මලල ක්‍රීඩාවේ පවත්වන සුවිශාලතම තරගාවලිය ලෙස සැලකෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ක්‍රීඩකයන් මඟ නොහැර සහභාගිවන වාර්ෂික තරගාවලියකි. නව සහස්‍රකය මැද භාගය වනතුරු එම මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අති උත්කර්ෂවත් සහ උණුසුම් සහගත තරගාවලියකැයි කිවයුතුය. එසමයේ මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් බහුතරයක් සිටියේද මැදිවියේ පළමු දශකය තුළය. සුනිල් ජයවීර, සුනිල් ගුණවර්ධන, ඩර්වින් පෙරේරා, බ්‍රිගේඩියර් පැරී ලියනගේ, වත්මන් සභාපති (එවකට බ්‍රිග්‍රේඩියර්) මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, පී.එච්.ඩී. වෛද්‍යතිලක, එච්.ඩබ්ලිව්. නිමල්සිරි, එන්.ඒ.ටී. ජයසිංහ, ප්‍රේමා පින්නවල, ජී.එල්.එස්. පෙරේරා, භද්‍රා ගුණවර්ධන, බර්නාඩ් පෙරේරා, ජී.ජී. යූ. සමන්කුමාර මෙන්ම ඊට පෙර මලල ක්‍රීඩා සංගමයේ සිටි දොන් වික්ටර් වැන්නවුන්ද වර්තමානයේ සැඳෑ සමය ගෙවන ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දර, දැනට ජීවතුන් අතර නොමැති හිටපු ජාතික පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස් වැනි බොහෝ දෙනෙක් සිටියේ මැදිවිය ගෙවා දමමිනි. ඒ කාලයේ ක්‍රීඩා අමාත්‍යංශයට කීවේ මලල ක්‍රීඩා අමාත්‍යාංශය කියාය. මලල ක්‍රීඩාවේ විශිෂ්ටත්වය පෑ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ සිටි නිසා මෙන්ම එවකට රටේ ක්‍රීඩාව වැඩිම ඉඩක් දිනාගත් ක්‍රීඩාව වශයෙන් මලල ක්‍රීඩාව පත්ව තිබීමත් එවැනි තත්ත්වයක් නිර්මාණය වන්නට හේතු වුණේය. ඩර්වින් පෙරේරා මහතා නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරද්දී භද්‍රා ගුණවර්ධන මහත්මිය සේය කළේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂිකාව වශයෙනි. එස්.එම්.ජී. බණ්ඩාර වැනි පුහුණුකරුවකුද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළේය. යෝගානන්ද විජේසුන්දර මහතා සිටියේ ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා ලෙසය.

ඒ අනුව මේ කියන සමයේ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියක රිද්මය, උද්වේගය වර්තමාන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයෙන් කොතෙක් දුරට සිඳී ගොස් ඇත්දැයි මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවයෙන් විද්‍යාමාන වූයේය.

සැලකිය යුතු ක්‍රීඩක සහභාගිත්වයක් සහිතව පැවැති මෙම තරගාවලියේ ස්වරූපය මෙවර අපට සිහිකැඳවූයේ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක ස්වභාවයයි. පුරුද්දට මෙන් කාලගණනය කරන්නට තාක්ෂණ නිලධාරීන් රොත්තක් තරග නිමකරන රේඛාවේ දෙපස ඇස් මානයේ සිට විවිධ මට්ටම්වලින් ස්ථානගතව සිටියද, එසේ සිටින නිලධාරීන් අතීතයේ මෙන් ප්‍රාණවත්, කාර්යක්ෂම නොවෙතැයි පැහැදිලි විය. එසේ කාර්යශූරත්වය වෙනදා මෙන් දිස් නොවන්නේ දැන් ඔවුහු වයෝවෘද භාවයට පැමිණෙමින් සිටි නිසා විය යුතුය. වර්තමානයේ මලල ක්‍රීඩා සංගමය දිස්වන්නේ පැරණි සමූපකාරයක ස්වරූපයකැයි කීවහොත් නිවැරදිය. පුරුද්දට, එසේත් නැතහොත් සහජ ඉවට වැඩකළද ඉන් ඔබ්බට ගිය අපේක්ෂාවක් එහි නිරතවන්නන් තුළ දැන් නැත. එම ක්‍රීඩාව හා ඔවුන් බැඳී ඇත්තේ පුරුද්දකට මෙනි. වෙනදා එකාවන්ව වැඩකළ ඔවුන් අතර දැන් දැන් ඇති මතභේද වැඩිය. හිතවත්කම් පළුදුවී ගිය ස්වභාවයක් දිස්වේ. ඒ මලල ක්‍රීඩා සංගමයේ අභ්‍යන්තර තත්ත්වයය.

ක්‍රීඩකයන්ගේ තත්ත්වය

ඊට පරිබාහිරව බලන කල මලල ක්‍රීඩා සංගමයේ සෙවණ ලබන එහි පැවැත්ම ශක්තිමත් කරන පිරිස වනුයේ ක්‍රීඩක, ක්‍රීඩාවෝය. එදා අප දුටු බහුතරයක් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ශක්තිමත්ය. බාහු බලයෙන් පරිචිත්‍යය. එහෙත් අද අපට දකින්නට ලැබෙන බහුතරයක් කේඬෑරී ක්‍රීඩක, ක්‍රීඩාවන්ය. ඔවුන්ගේ මාංශ පේශී එදා දුටු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ මෙන් ඉලිප්පී, ආකර්ශනීය ලෙස වර්ධනයවී නැත. මීටර් 100, 200 හෝ 400 වැනි ඉසව්වකින් එදා දුටු ජවාධික අවසානය වර්තමානයේ දැකගැන්මට ලැබෙන්නේ ඡායා මාත්‍රිකවය. අවසන් වතාවට අප ජවන තරගවලදී දුටු සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර, සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ මෙන්ම හරිජන් රත්නායක වැනි ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ යුගයෙන්් ඔබ්බට ගිය අයෙකු දැකගැනීමට ලැබෙන්නේ නැතිතරම්ය. එදා අප පිටියේ දුටු මංජුල කුමාරගේ ජවය අප මෙදා නොදැකීම විශාල හුදෙකලාවකි. ඒ සියල්ල අතීත මතක නිමේෂයන්ය. මෙදා එය අප අලුත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගෙන් දකින්නේ ඉතා අවම වශයෙනි.

රටේ ක්‍රීඩා පරිපාලනය කොයිබටද?

ක්‍රීඩා අමාත්‍යාංශය පාර්ශ්වයෙන් බලන කල වර්තමාන ලේකම් චූලානන්ද පෙරේරා මහතා වැන්නකු, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා වැනි නිලධාරීයකු, අයි.පී.විජේරත්න මහතා වැන්නකු රාජ්‍ය සම්බන්ධීකරණ අංශය පාර්ශ්වයෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීමට උත්සහ ගනිමින් සිටින්නේ අතීතයේ අප දුටු කාර්යක්ෂම නිලධාරීන් ලෙස සැලකෙන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මිල්ටන් අමරසිංහ, ලේකම්වරුන්වන ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ආර්.එම්.බී. රත්නායක වැන්නවුන් කටයුතු කළ ආකාරයෙනි. එහෙත් ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී අප දුටුවේ මීට දශක එකහමාරකට දෙකකට පෙර අප සාක්ෂිකරුවන් වූ මලල ක්‍රීඩාව නොවේ. එදා මලල ක්‍රීඩා අමාත්‍යංශයවූ ක්‍රීඩා අමාත්‍යංශයෙන් එම විශේෂණය ගැලවී ගොස් එය තවත් ආකාරයකින් බර ඉසිලීමේ අමාත්‍යංශය බවට නාමකරණය වූ ස්වභාවයක් දක්නට ලැබෙන්නේ මෙම ක්‍රීඩාවේ නායයාම හේතුවෙනි.

වරද කොහේද?

මෙහි වරද ඇත්තේ මලල ක්‍රීඩා සංගමයේද? ක්‍රීඩා අමාත්‍යාංශයේද? ක්‍රීඩකයන්ගේද? යන්න පුළුල්ව විමසා බැලිය යුතුව ඇත්තේ මෙවැනි පසුබිමකය. අපට වැටහෙන ආකාරයට යම් යම් අඩුලුහුඬුතා තිබුණේ යැයි කීවද මලල ක්‍රීඩා පරිපාලනයට දොස් නගා මෙම අර්බුදය විසඳීමට නොහැකිය. ක්‍රීඩා අමාත්‍යාංශය අප පෙරකීවාක් මෙන් සැලසුම් සහගතවන්නේ ඔවුනට අවශ්‍ය තම අමාත්‍යාංශ කාර්ය සාධනය සම්පූර්ණ කිරීමවන බැවිනි. ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සලකද්දී පෙරකීවාක් මෙන් අද ක්‍රීඩකයන්ගේ බාහිර ස්වරූපය, මානසික ස්වරූපයන් වෙනස්වී ඇති බව පෙණේ. එදා නැති ස්මාර්ට් ෆෝන් අද ක්‍රීඩකයන් සතුව ඇත. අන්තර් ජාලය වැඩි වශයෙන් පරිශීලනය කරන ක්‍රීඩකයෝ අද සිටිති. ඔවුන් සිය විවේකයෙන් වැඩිකොටසක් ගතකරන්නේ එවැනි උපකරණ සමඟය. පුහුණුවට වඩා ක්‍රීඩකයන්ගේ ලෝකය තුළට තවත් ඉලක්ක හා අභිමතාර්ථ පැමිණ ඇති හැඩකි. ක්‍රීඩාව තුළ පවතින මෙම තත්ත්වය පිළිබිඹු කරන හරස්කඩක් ලෙසින් මලල ක්‍රීඩා ජාතික ශූරතාව දැක්විය හැකිය. එය වහා විසඳිය යුතු ප්‍රශ්නයකි. ක්‍රීඩාවේ සංස්කෘතිය නූතන තාක්ෂණයට, ලෝක තත්ත්වයට අනුකූල වන ලෙසින් සකස් විය යුතුය. මේ අනුව සමාජ ජාලා ක්‍රියාකරන ආකාරය ගැන දැනුමක් ඇති, නූතන තාක්ෂණික විප්ලවයට ඔරොත්තු දියහැකි නිලධාරීන්ගෙන් සම්මිශ්‍රනයක් ලෙස මලල ක්‍රීඩාව ඇතුළු රටේ ක්‍රීඩාව ශක්තිමත් කළ යුතුය. ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට කැමැති දමයන්ති දර්ශලා, සුසන්තිකාලා වැනි පැරණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම ස්ථානයන්ට ආදේශ විය යුතුව තිබේ. එලෙස ආදේශ කරගැනීමේදී පරිපාලන වගකීම් ලබාදිය යුත්තේ හැකියාවන් නිසි පරිදි අවබෝධ කරගැනීමෙනි. පරිපාලන හැකියාව ඇත්තවුන් ක්‍රීඩා පරිපාලනයටත්, පුහුණු පරිචය සහිත පුද්ගයන් පුහුණු කටයුතුවලටත් යොදවාගත යුතුය. මේ සියලු දේ අතර ක්‍රීඩා සංස්කෘතිය ගැන අවබෝධයක් රටටම ලබාදීමට ක්‍රියාකළ යුතුවේ. එය ප්‍රවර්ධනය කිරීමේ වගකීම පැවරෙන්නේ ජන මාධ්‍යයට හා ක්‍රීඩා අමාත්‍යංශයටත්, ඒ ඒ ක්‍රීඩා සංගම්වලටත්ය. මාධ්‍ය හමුවක් තබා බඹර පදම් වන්නට සැලකීමෙන් එය උදාකරගන්නට නොහැකිය. ඉන්ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සැකසිය යුතුව ඇත. එය කල් නොඉක්මවා කඩිනමින් සිදුකළ යුතුව තිබේ. එසේ නොවුණහොත් අනාගතය අප සැම වරදකරුවන් කරනු නිසැකය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

මාතෘකා