ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක්

ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක්

පළමු ස්ථාන දිනූ ක්‍රීඩකයන් දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට

නව ශ්‍රී ලංකා වාර්තා තුනක් සමඟින් ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ (18) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා සහභාගිකරවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීමේ අවසන් තේරීම් තරගාවලිය වූ මෙම තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා තුනට අමතරව නව තරගාවලි වාර්තා හයක් බිහිවූ අතර එහිදී එක් තරගාවලි වාර්තාවක් සමකරනු ලැබිණි. මීටර් 1500 කාන්තා ඉසව්වේදී නිමාලි ලියනාරච්චි විනාඩි 4.15.86කින් තරගය නිමකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය. තුන්පිම්ම ඉසව්වේදී පිහිටවූ නව ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිණිය වූයේ විදූෂා ලක්ෂානි ක්‍රීඩිකාවයි. ඇය මීටර් 13.66ක දුරක් පනිමින් මෙම වාර්තාවට හිමිකම් කීවාය.

අනෙක් ශ්‍රී ලංකා වාර්තාව පිහිටවනු ලැබුවේ සත් ප්‍රයාම ඉසව්ව නියෝජනය කළදී ඩබ්ලිව්. වී.එල්. සුගන්ධි විසිනි. සම කළ තරගාවලි වාර්තාව පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් ඩබ්ලිව්. එස්.එම්. ප්‍රනාන්දු වාර්තා කළේ මීටර් 16.23ක දුරක් එය විසිකරමිනි. අලුත් කරන තරගාවලිය වාර්තා අතර හෙල්ල විසිකිරීමේදී ආර්.එම්.එස්.ජේ. රණසිංහ විසින්ද, රිටි පැනීම ඉසව්වෙන් එම්.එච්.අයි. සඳරුවන් නව වාර්තා පිහිටවූහ.

සමස්තයක් වශයෙන් ගත්කල මෙවර තරගාවලියේදී දේශීය මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ උපරිම දක්ෂතා ඉස්මතු නොවීම මෙහිදී කැපී පෙණුනි. විශේෂයෙන් ජාතික තලයේ තරගකාරී තරග රටාවක් ප්‍රදර්ශනය කළද ජාත්‍යන්තර වශයෙන් පවතින අභියෝගයන් ජයගැනීමට ප්‍රමාණවත් දක්ෂතා දැක්වූයේද යන්න මෙම තරගාවලියෙන් අනතුරුව ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරනු ලැබිණි. දහතුන් වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා සහභාගිකරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ අවසන් තේරීම් තරගාවලියට අමතරව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තේරීම් තරගාවලියක් වශයෙන්ද මෙම තරගාවලිය සැලකිණි. මෙම තරගාවලියේ දැක්වූ දක්ෂතා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීමට කිසිවෙකු සමත් නොවිණි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා