ස්මිත්ට හූ හඬින් සංග්‍රහ කිරීමට හිටපු ක්‍රීඩකයෝ එරෙහි වෙති

 ඡායාරූපය:

ස්මිත්ට හූ හඬින් සංග්‍රහ කිරීමට හිටපු ක්‍රීඩකයෝ එරෙහි වෙති

පන්දුවක් ගෙලේ වැදීමෙන් බිම ඇද වැටුණු ඔස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ට හූ හඬින් සංග්‍රහකිරීමට ලෝර්ඩ්ස් ක්‍රීඩා ලෝලීන් ක්‍රියාකිරීම හෙළාදකින බව හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයෝ රැසක් පවසති. පසුගිය සෙනසුරාදා ජොෆ්රා ආචර්ගේ පන්දුවක් ගෙලේ වැදීම හේතුවෙන් පිටියේ ඇද වැටුණු ස්ටීවන් ස්මිත්ට මෙලෙස ක්‍රීඩා ලෝලීන් විසින් හූ හඬ දමමින් අවඥා සහගතව හැසිරී තිබිණි. මේ පිළිබඳ අදහස් දක්වා ඇති හිටපු ක්‍රීඩකයකු වන ඉයන් හීලි ප්‍රකාශ කර ඇත්තේ එය පිළිකුල් සහගත සිදුවීමක් බවයි. ‘එවැනි දෙයක් ලෝර්ඩ්ස් පිටියේ සිදුවිය යුතු නැහැ’ හීලි පවසා ඇත.

තරග විස්තර විචාරය අතරතුර අදහස් දැක්වූ ෂේන් වෝන් ප්‍රකාශ කර තිබුණේ, ‘අපි නැගී සිටිමින් ඔහුගේ ධෛර්යයට, නිර්භීත භාවයට අත්පොලසන් දෙමු’ යැයි කියාය. හිටපු එංගලන්ත නායකයකු වන මයිකල් වෝන් මෙම කතිකාවට සම්බන්ධ වෙමින් ‘ස්මිත් කඩුල්ලට එනවිට හූ කිව්වත් ඔහු විශිෂ්ට ලෙස ක්‍රීඩා කරද්දී එසේ හූ කියන්න එපා. මොකද ඔහුගේ ධෛර්යය, විස්මිත ශික්ෂණයකින් යුක්ත භාවය එවැනි ඉනිමකින් ප්‍රදර්ශනය වන නිසා‘ යැයි ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර ඇත. මෙලෙස හූ හඬ නැගීම පිළිබඳ කිසිවක් සිදුකළ නොහැකි බව පවසන ඔස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පවසන්නේ ‘මොනවද මම මේ ගැන කියන්නෙ? මම මේ හූ කීම ගැන ඇතිතරම් කතාකරලා තිබෙනවා. ඇත්තටම මෙහෙම හූ කියනවාට අපිට වෙන කරන්න දෙයකුත් නෑ. ඒත් විශාල පිරිසක් අසුන් වලින් නැගිටලා ඔහුව දිරිගන්වා අත්පොලසන් දෙනවා අපි දුටුවා’ යනුවෙනි.

අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා පළමු ඉනිමේදී ස්ටීවන් ස්මිත් ලකුණු 92ක් රැස්කළ අතර පිට පිට රැස්කිරීමට නියමිතව තිබූ තෙවැනි ශතකය ඔහු අතින් ගිලිහී ගියේය.

මාතෘකා