හැන්ඩ්‍රේ පොලාර්ඩ් සමග දකුණු අප්‍රිකාව ඉදිරියට

 ඡායාරූපය:

හැන්ඩ්‍රේ පොලාර්ඩ් සමග දකුණු අප්‍රිකාව ඉදිරියට

ලෝක රග්බි ක්‍රීඩාවටද අනෙක් ක්‍රීඩාවන්ට මෙන්ම නව තරු පායා එන සමය උදාවන්නේ ලෝක කුසලාන රග්බි තරගාවලිය පැවැත්වෙන කාලයේදීය. නව වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියට සති හයක කාලයක් තිබියදී ලෝක කුසලානයට පෙර පැවැත්වෙන සුහද තරග මෙන්ම විවිධ ජාත්‍යන්තර තරගාවලීන්හි අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති මේ අවස්ථාවේදී ද ලෝක රග්බි ලෝලීන්ගේ අවධානයට පාත්‍ර වීමට සමත්කම් දක්වන නව ජාත්‍යන්තර රග්බි තරු පායා එමින් තිබේ.

25 හැවිරිදි දකුණු අප්‍රිකානු ෆ්ලයි හාෆ් ක්‍රීඩක හැන්ඩ්‍රේ පොලාර්ඩ් මේ දිනවල ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකු වන්නේ ඒ ආකාරයෙනි. ඒ පසුගියදා අවසන් වු සිව්කොන් රග්බි තරගාවලියේ ශූරතාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිකර ගැනීමට ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන්නේද පොලාර්ඩ්ය. තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව අතර පැවැති තරගයේ දකුණු අප්‍රිකාව ලකුණු 46-13ක ජයක් වාර්තා කිරිමට සමත්වු අතර ඉන් ලකුණු 31ක හිමිකාරයා වූයේ පොලාර්ඩ්ය.

2014 වසරේදී පළමු වරට දකුණු අප්‍රිකානු ජාතික් රග්බි කණ්ඩායම නියෝජනය කළ හැන්ඩ්‍රේ පොලාර්ඩ් මේ වන විට ජාත්‍යන්තර තරග 41කදී ලකුණු 381ක් රැස් කරගෙන තිබේ.

2012 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු විස්සෙන් පහළ රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකානුවන්ට දිනා දීමටද එවක 18 හැවිරිදි පොලාර්ඩ් සුවිශාල සේවයක් කරනු ලැබිණි. තම අවුරුදු 20න් පහළ රග්බි දිවියේදී තරග 14කදී ලකුණු 141ක් රැස් කිරීමට පොලාර්ඩ්ට හැකි විය. ඒ සමඟම 2014 වසරේදී දකුණු අප්‍රිකානු පිලට කැඳවීම් ලැබූ පොලාර්ඩ් මෙවර ජපානය බලා එන්නේ දකුණු අප්‍රිකානු ස්ප්‍රින් බොක්ස් කණ්ඩායමේ සිටින ප්‍රබලම ක්‍රීඩකයෙකු ලෙසිනි.

පසුගිය සතියේ අවසන් වු සිව්කොන් රග්බි තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වු අතර ඒ සමඟම නවතම ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්හි තියුණු තරගකාරීත්වයක් ඇතිවී ඇත. විශේෂයෙන්ම පළමු ස්ථාන පහ අතර අත්තේ ලකුණු 2.21ක ඉතාමත්ම සුළු පරතරයකි. පළමු ස්ථානයේ පසුවන නවසීලන්තය සහ දෙවැනි ස්ථානයේ සිටින වේල්සය අතර ලකුණු 0.15ක පරතරයක් පවතින අතර තෙවැනි ස්ථානයේ සිටින අයර්ලන්තය පසු වන්නේ වේල්සයට වඩා ලකුණු 0.20ක් පසු පසිනි.

තෙවැනි ස්ථානයේ සිටින අයර්ලන්තයට වඩා සිව්වෙනි ස්ථානයේ සිටින එංගලන්තය ලකුණු 1.35ක් පසු පසින් සිටියදී පස්වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව පසුපසින් සිටින්නේ එංගලන්තයට වඩා ලකුණු 0.51ක සුළු පරතරයක් සහිතවය.

නවතම රග්බි ශ්‍රේණිගත කිරීම්හි

පළමු කණ්ඩායම් 10

රට ලකුණු

නවසීලන්තය 89.04

වේල්ස් 88.89

අයර්ලන්තය 88.69

එංගලන්තය 87.34

දකුණු අප්‍රිකාව 86.83

ඔස්ට්‍රේලියාව 84.41

ස්කොට්ලන්තය 80.17

ප්‍රංශය 79.42

ජපානය 77.21

ෆීජි 76.98

[ඩබ්ලිව්. ආර්. කුමාර]

 

මාතෘකා