බ්‍රැඩ්මන්ට ළං වෙන්න ස්මිත්ට පුලුවන්ද?

 ඡායාරූපය:

බ්‍රැඩ්මන්ට ළං වෙන්න ස්මිත්ට පුලුවන්ද?

එතෙක් මෙතෙක් ක්‍රිකට් ලෝකයේ බිහිවු අද්විතීයම පිතිකරුවා ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට ළංවීමට යම් පිතිකරුවෙකුට හැකි නම්, දැනට එම අවස්ථාව ඇත්තේ වත්මන් ටෙස්ට් පිටියේ සිටින තවත් අති දක්ෂ පිතිකරුවෙක් වන ඔස්ට්‍රේලියාවේම ස්ටීව් ස්මිත්ට බැව් විදෙස් මාධ්‍ය පවසයි.

එවැනි සංසන්දනයක් කිරීමට ප්‍රධානම කාරණය වී ඇත්තේ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක ඉහළම සාමාන්‍ය වාර්තාකර ඇති ශ්‍රීමත් බ්‍රැඩ්මන්ට පසුව ඉහළම සාමාන්‍ය වාර්තා කිරීමට ස්මිත් සමත් වීමයි. බ්‍රැඩ්මන්ගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 99.94ක් වන විට ස්මිත්ගේ ඉනිමක දැනට සාමාන්‍ය ලෙස සටහන් වන්නේ ලකුණු 62.96ක් ලෙසිනි. එසේම දෙදෙනාම අඩු තරග සංඛ්‍යාවකින් වැඩි ශතක සංඛ්‍යාවක් වාර්තා කිරීමටද සමත්ව සිටී. බ්‍රැඩ්මන් තරග 52කදී ශතක 29ක් ලබාගන්නා විට ස්මිත් ශතක 25ක් ලබාගෙන ඇත්තේ තරග 65කිනි.

විශේෂයෙන්ම බ්‍රැඩ්මන්ගේ කාලයේදී ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතලොස්සක් පැවැති බැවින් වැඩි වශයෙන් සහභාගී වූයේ එංගලන්තය සමග තරගවලටය. ඒ නිසාම බ්‍රැඩ්මන් ශතක වැඩි වශයෙන් වාර්තාකර ඇත්තේද එංගලන්තයටය. ස්මිත්ද සිය ටෙස්ට් ශතක 25න් 10ක්ම වාර්තාකර ඇත්තේ එංගලන්තයට එරෙහිවය. එසේම ස්මිත් ලබාගෙන ඇති ටෙස්ට් ද්විත්ව ශතක දෙකම එංගලන්තයට එරෙහිව වාර්ථාකර ගෙන ඇත.

දිගු ඉනිම් ක්‍රීඩා කිරීම අතින්ද ස්මිත් ගේ හැකියාව ඉහළය. පසුගියදා අවසන් වූ එංගලන්ත - ඔස්ට්‍රේලියා අළු බඳුන පළමු තරගයේදී ඉතා විශිෂ්ට ශතක දෙකක් වාර්තා කරමින් ස්මිත් සිය හැකියාව මනාව ප්‍රදර්ශනය කළේය.

තිස් හැවිරිදි ස්මිත් ටෙස්ට් තරගවලදී ක්‍රීඩා කරන ආකාරය අනුව තවත් වසර ගණනාවක් ක්‍රීඩාකළ හැකි බැවින් ඒ කාලය තුළදීද ඔහුගේ පිතිකරණ රටාව මේ ආකාරයෙන් පවත්වාගෙන ගියහොත් බ්‍රැඩ්මන්ට සමවීමට නොහැකි වුවත් පිතිහරඹයෙන් බ්‍රැඩ්මන් ආසන්නයට පැමිණි පිතිකරුවා බවට පත්වීමට ස්මිත්ට හැකි වනු ඇත.

ඩොන් බ්‍රැඩ්මන්

තරග ඉනිම නොදැවීම් ලකුණු සාමාන්‍ය ශතක

52 70 10 6996 99.94 29

ස්ටීව් ස්මිත්

තරග ඉනිම නොදැවීම් ලකුණු සාමාන්‍ය ශතක

65 119 16 6485 62.96 25

මාතෘකා