හෂාන්ගේ තොප්පි ප්‍රශ්නයක් කරළියට

 ඡායාරූපය:

හෂාන්ගේ තොප්පි ප්‍රශ්නයක් කරළියට

වෙන්දේසි කරන හිස්වැසුම මගේ නොවේ - හෂාන් තිලකරත්න

එය හෂාන්ගේමයි - වෙන්දේසිකරු කියයි

‘ඒ මගේ හිස්වැසුම නොවෙයි. මම 1995න් පස්සේ ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරලා නෑ. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ ගැහුවේ එක්දින තරග විතරයි. ටෙස්ට් හිස්වැසුමක් අරගෙන යන්න කිසිම උවමනාවක් මට නැහැ. ඉතින් මගේ හිස්වැස්මක් වෙන්දේසි කරනවා කියලා කියන්නේ කොහොමද?’ යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු හා සුපිරි පිතිකරුවකු වන හෂාන් තිලකරත්න පැවසීය. ඔහුගේ හිස්වැස්මක් වෙන්දේසිකරුවකු විසින් වෙන්දේසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු වශයෙන් ඔහු මේ බව රැසට පැවසීය.

ඔස්ට්‍රේලියානු වෙන්දේසිකරුවකු වන චාර්ල්ස් ලෙස්කි විසින් පසුගිය ඉරිදා හෂාන් තිලකරත්නගේ ටෙස්ට් හිස්වැස්මක් මෙලෙස අලෙවියට තබා තිබුණේය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ හිටපු නායකයන්ගේ හිස් වැසුම් ලෙසින් වෙන්දේසියේ දමා තිබූ ක්‍රිකට් හිස් වැසුම් අතර තමන්ගේ හිස්වැස්මක් අලෙවියට තබානොමැති බව ඔහු යළිත් අවධාරණය කළේය. ‘ඕනෑම වෙලාවක මගේ ගේ විවෘතයි. එන්න, ඇවිත් මගේ හිස්වැසුම් බලන්න. මම ජාතික වර්ණ විකුණන්නෙ නෑ. මට හිස්වැස්මක් විකුණන්න තරම් උවමනාවක් ඇත්තෙත් නෑ.’ ඔහු පවසයි.

අදාළ වෙන්දේසියේදී සුනිල් ගවසර්කාරගේ හිස්වැස්මක්ද තබා තිබූ අතර පාකිස්තානයේ හිටපු ක්‍රීඩකයන් වන සහීර් අබ්බාස්, ඉන්ටිකාබ් අලාම් සහ ජාවෙඩ් මියන්ඩාඩ්ගේ හිස්වැසුම්ද මෙහිදී අලෙවිකර තිබේ.

හෂාන් තිලකරත්නගේ යැයි පවසා වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ හිස්වැස්ම තද නිල් පැහැයෙන් යුතු අතර ඉදිරියේ සිංහයකු එම්බ්‍රොයිඩර් කර ඇතැයි කියැවේ.

ඇල්බියන් ලේබලයෙන් සහ හෂාන් තිලකරත්නගේ අත්සන යොදා එය ආකර්ශනීය ලෙස රාමුකර වෙන්දේසියට යොමුකර තිබූ බවද ප්‍රකාශිතය. මේ අතර හෂාන් තිලකරත්නගේ අදහස් දැක්වීමට පිළිතුරු සපය වෙන්දේසිකරු පවසන්නේ මෙම හිස් වැසුම තමන් මිලදී ගත්තේ 2003 වසරේ පැවැති වෙන්දේසියකින් බවයි. එහෙත් එවැන්නක් සිදුවිය නොහැකි බව හෂාන් තිලකරත්න පවසයි.

එහෙත් වෙන්දේසිකරුවා පවසන්නේ මෙම හිස්වැස්ම සැබෑ එකක් බවයි. ‘මේ තොප්පිය ඇතුළතින් හෂාන් තිලකරත්න අත්සන් කරලා තිබෙනවා. තමන්ට අයිති නැති තොප්පියකට ඔහු එහෙම අත්සන් යොදන්න විධිහක් නෑ කියන එක මට විශ්වාසයි’ලෙස්කි පවසා ඇත.

2003 වසරේ මැයි 22 වැනිදා පැවැති ප්‍රසිද්ධ වෙන්දිසියකදී ඔහු මෙය මිලට ගෙන තිබිණි. එම වෙන්දේසිය සිදුවන අවස්ථාවේ අදාළ හිස්වැස්ම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් මතුවී තිබුණේ නැත. ‘හෂාන් තිලකරත්නගේ තවත් හිස් වැස්මක් එලෙස වෙන්දේසි වුණා. එහි අලියකුගේ රූපයක් තමයි එම්බ්‍රොයිඩර් කරලා තිබුණේ. මේවා විකිණීම පිණිස ඉදිරිපත් කර තිබුණේ බටහිර ඔස්ට්‍රේලියාවේ කීත් ඇට්ට්‍රීයි. ඇට්ට්‍රී කියන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. ඔහු වැකා ක්‍රීඩාංගණයේ සංචාරක කණ්ඩායම් වෙනුවෙන් බොහෝකාලයක් ස්වේච්ඡා සේවකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.’ යැයි වෙන්දේසි කරුවා වැඩිදුරටත් පවසා ඇත.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි