සිව්කොන් රග්බි ශූරතාව දකුණු අප්‍රිකාවට

 ඡායාරූපය:

සිව්කොන් රග්බි ශූරතාව දකුණු අප්‍රිකාවට

හැන්ඩ්‍රේ පොලාර්ඩ් ඇතුලු දකුණු අප්‍රිකානු ස්ප්‍රින් බොක්ස් ක්‍රීඩකයන්ගේ විශිෂ්ට ආක්‍රමණය හමුවේ ආර්ජන්ටිනාව පරාජය කරමින් සිව්කොන් කුසලාන රග්බි තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය ලකුණු 46-13ක් ලෙස දැක්විණි.

සිව්කොන් රග්බි තරගාවලිය යටතේ ඩර්බන්හි කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ෆ්ලයි හාෆ් ක්‍රීඩක හැන්ඩ්‍රේ පොලාර්ඩ් සිය කණ්ඩායම ලබාගත් උත්සාහක දිනුම් පහෙන් දෙකකම හිමිකරුවා විය. ඒ සමගම එම උත්සාහක දිනුම් පහෙන් තුනක් සාර්ථක ලෙස ප්‍රවර්ථනය කළ පොලාර්ඩ් දඬුවම් පහර පහක්ද සාර්ථක කර ගත්තේ දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 31ක් එක් කරමිනි. 25 හැවිරිදි පොලාර්ඩ් එක් තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

පොලාර්ඩ්ගේ දස්කම් නිසාම වසර දහයකට පසුව මෙම කුසලානය දිනා ගැනීමට ස්ප්‍රින් බොක්ස් කණ්ඩායමට හැකි විය. එසේම වසර දහයකට පසුව ඔවුන් විසින් දිනාගත් පළමු රග්බි ශූරතාවද මෙයයි.

තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූ දකුණු අප්‍රිකාව ආර්ජන්ටිනාව සමග තරගයට පෙර ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ලකුණු 35-17ක් ලෙස පරාජය කළ අතර ලෝක ශූර නවසීලන්තය සමග තරගය ලකුණු 16-16ක් ලෙස ජයපරාජයකින් තොරව අවසන් කිරීමට සමත් විය. ආර්ජන්ටිනාව තරගාවලියේ තරග තුනම පරාජයට පත් විය.

මාතෘකා

ජනප්‍රිය ලිපි