ලංකාවම ගාලු අහස දෙස බලා සිටින ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි

 ඡායාරූපය:

ලංකාවම ගාලු අහස දෙස බලා සිටින ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි

වසර විසි එකකට පෙර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් වසර 21කට පසුව නැවතත් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයට මුහුණ දෙයි. වර්ෂාව ඇදහැලීමෙන් තෙත බරිත වූ ගාල්ල අද සිට දින පහක් නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අයි.සී.සී. ටෙස්ට් ශූරතා තරගයක් වෙනුවෙන් වියළි කාලගුණ තත්ත්වයක් ප්‍රදර්ශනය කරනු ඇතැයි විශ්වාස කෙරේ.

දෙරට අතර වසර විසි එකකට පෙර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 16කින් ජය ලැබීය. තරගය 1998 ජුනි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්විනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 32ට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 18ක් ජයගෙන ඇති අතර තරග 8ක් පමණක් පරාජයට පත් වී තිබේ. තරග 6ක් ජය පරාජයකින් තොරව අවසන් කරගැනීමට ඔවුන් සමත්ව ඇත. නවසීලන්තය ගාල්ලේ සහභාගී වු තරග 3ම ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී තිබේ. අවසන් වශයෙන් මෙම කණ්ඩායම් දෙක ගාල්ලේදි තරග වැදුණේ 2012 වසරේදීය. එම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තේ කඩුලු 10කිනි.

මෙවර වසර 7කට පසුව නවසීලන්තය ගාල්ලේදී තරග වදින්නේ පිට පිට ලෝක කුසලාන තරගාවලි දෙකක අනුශූරයන් ලෙසය. 2012ට වඩා ප්‍රබල කණ්ඩායමක් ඔවුන් සතුව සිටී. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිටින්නේ තරමක් දුර්වල අඩියකය. 2012 ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබූ ස්ථාවරත්වය මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්නට නොමැත. එහෙත් පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ ජයග්‍රහණත් සමග නායක දිමුත් කරුණාරත්න සිටින්නේ ටෙස්ට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු සහගතවය. ශ්‍රී ලංකාවේදී විශේෂයෙන්ම ගාල්ලේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක් වීම ඊට හේතුවයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි හයවැනි තැන සිටින ශ්‍රී ලකාව මුහුණ දෙන්නේ දෙවැනි ස්ථානයේ සිටින ප්‍රබල කණ්ඩායමකටය. සුපුරුදු පරිදි අද ඇරඹෙන තරගයේදී දඟ පන්දු යවන්නන් තිදෙනෙක් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තිබෙන අවකාශ වැඩි අතර දකුණු අප්‍රිකාවේදී නැගි එන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ලසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා වීමට ඇති අවකාශයද ඉහළය. සංචාරක කණ්ඩායමද දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසය තබනු නොඅනුමානය. පැවැති එකම පුහුණු තරගයේදී දස්කම් දැක්වූ අජාස් පටෙල් ඔවුන් සතු ප්‍රධානතම තුරුම්පුවයි.

කණ්ඩායම් දෙකේම පිතිකරුවන්ට ඇති අභියෝගය වන්නේ තරගය දින පහම පවත්වාගෙන යන්නේද යන අභියෝගයයි. වර්ෂාව ඇද නොවැටුණහොත් දඟ පන්දු යවන්නන් තරගය විසඳුමකට තල්ලු කිරීමට ඇති සම්භාවිතාවයද ඉහළය.

ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා,අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, ඔසඳ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ළහිරු තිරිමාන්න

නවසීලන්ත සංචිතය - කෙන් විලියම්සන් (නායක), ටොඩ් ඇස්ලේ, ටොම් බ්ලුන්ඩෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ටොම් ලේතම්, හෙන්රි නිකොල්ස්, අජාස් පටෙල්, ජීට් රාවල්, මිචෙල් සැන්ට්නර්, විලියම් සොමර්විල්, ටිම් සවුති, රොස් ටේලර්, නේල් වැන්ග්නර් සහ බී. ජේ. වොට්ලිං

මාතෘකා