ඕල් බ්ලැක්ස් පැරදූ වොලබීස්ට 47-26ක ජයක්

 ඡායාරූපය:

ඕල් බ්ලැක්ස් පැරදූ වොලබීස්ට 47-26ක ජයක්

නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පර්ත් හිදී ලකුණු 47-26ක් ලෙස පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු වොලබීස් කණ්ඩායම පසුගිය සෙනසුරාදා (10) සමත් විය.

දෙරට අතර පැවැත්වෙන බ්ලෙඩිස්ලේ කුසලාන රග්බි තරගාවලිය යටතේ පැවැති මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 47 ඔවුන් රග්බි ටෙස්ට් තරගයකදී නවසීලන්තයට එරෙහිව රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

තරගයේ දෙවැනි අර්ධයේදී නවසීලන්ත කණ්ඩායමට ස්කොට් බැරට්ගේ සේවය අහිමි වූයේ ඔස්ට්‍රේලියාවේ මිචෙල් කූපර්ට එරෙහිව සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් රතු කාඩ්පත ලබා පිටියෙන් ඉවත් වීමට සිදු වූ නිසාය. තරගය පුරාම විශිෂ්ට දස්කම් දැක්වූ ඔස්ට්‍රේලියාවේ ජේම්ස් ඕ කොනර් තරගයේ වීරයා විය.

තරගාවලියේ දෙවැනි තරගය ලබන 17 වැනිදා නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී පැවැත්වේ.

ලෝක කුසලාන රග්බි තරගාවලියට හරියටම සති හයක් වැනි කෙටි කාලයක් ඉතිරිව පැවැතියදී ලැබූ මෙම ජයග්‍රහණයත් සමගම ලෝක කුසලාන තරගාවලියේ තරගකාරීත්වය තවදුරටත් තියුණු වනු ඇත.

 

........................................................................................................................................... 

 

දෙවැනි එක්දින තරගයේ ජය ඉන්දියාවට

කෝලිට ශතක 42ක්

 

ලෝක කුසලානයෙන් පසු නැවත වතාවක් ලකුණු අතරට පැමිණෙමින් තම පළමු ශතකය වාර්තා කළ ඉන්දීය නායක විරාට් කෝලි බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ට්‍රිනිඩෑඩ්හි පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 59ක පහසු ජයක් කරා සිය පිල මෙහෙය වීය.

පෝර්ට් ඔෆ් ස්පෙන්හි ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස් කළ ඉන්දියාව වෙනුවෙන් අගනා ශතකයක් රැස් කළ නායක කෝලි සිව්වෙනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් සමඟ එක්ව ලකුණු 125ක සබඳතාවක් ගොඩනැංවීය. පන්දු 125කින් වාර්තා වූ කෝලි ගේ ඉනිමට හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත විණි. ඒ කෝලි විසින් සිය එක්දින ජීවිතයේ රැස් කළ 42 වැනි ශතකයයි. සිය නායකයාට අනගි සහායක් ලබා දුන් අයියර් පන්දු 68කට පමණක් මුහුණ දෙමින් ලකුණු 71ක් ලකුණු පුවරුවට එක්කළේය. අයියර් ගේ ඉනිමට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විණි. ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු පුවරුවට එක්කළ ලකුණු ප්‍රමාණය 279ක් විය.

 

ජයග්‍රහණය සඳහා ලකුණු 280ක් රැස් කිරීමට පිටියට පිවිසි කොදෙව්වන්ට පන්දුවාර 42කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 210ක් පමණි. ඉන්දීය පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 31කට කඩුලු 4ක් බිඳ දැමීය. කොදෙව් පිල වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය එවින් ලුවිස් විසින් වාර්තා කළ අතර ලුවිස් පන්දු 80කින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය. නිකොලස් පූරන්ගේ දායකත්වය ලකුණු 42කිනි.

දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලියද 3-0ක් ලෙස ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණේ පසුවේ.

ලකුණු සාරාංශය

ඉන්දියාව (පන්දුවාර 50දී, කඩුලු 7ක් දැවී) 279

විරාට් කෝලි 120, ශ්‍රෙයාස් අයියර් 71, රිෂාබ් පෑන්ට් 20, කාලෝස් බ්‍රාත්වේයිට් 3/53)

බටහිර ඉන්දීය කොදෙව් (පන්දුවාර 42කදී, සියලු දෙනා දැවී) 210

(එවින් ලුවිස් 65, නිකොලස් පූරන් 42, බුවනේෂ්වර් කුමාර 4/31, මොහොමඩ් ෂමී 2/39)

මාතෘකා

ජනප්‍රිය ලිපි