පළමු රග්බි ලෝක කුසලානය -1987

 ඡායාරූපය:

පළමු රග්බි ලෝක කුසලානය -1987

සත්කාරක නවසීලන්තය ශූරතාව හිමිකර ගනී

වසර හතරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට (FIFA) පමණක් දෙවැනි වන ප්‍රධානම ජාත්‍යන්තර ක්‍රීඩා සැණකෙළිය වන්නේ ලෝක කුසලාන රග්බි තරගාවලියයි. ඔලිම්පික් තරගාවලිය 1896 ආරම්භ වූ අතර FIFA තරගාවලිය 1930දී ඇරඹිනි. එහෙත් මෙම රග්බි සැණකෙළිය පැවැත්වීම ආරම්භ වූයේ 1987 වසරේ සිටය.

ඒ අනුව පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය 1987 මැයි මස 22 වැනිදා සිට ජුනි 20 වැනිදා දක්වා පැවැතියේ රග්බි ලෝකයේ පතාක යෝධයන් දෙදෙනෙකු වන නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වය මධ්‍යයේය. තරගාවලිය සඳහා නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 11ක් වෙන් වූයේ පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය හැකි ඉහළම ආකාරයෙන් පැවැත්වීම සඳහාය.

තරගාවලිය සඳහා ජාත්‍යන්තර රග්බි පාපන්දු සංගමයේ (International Rugby Football Board – IRFB) සාමාජිකත්වය ලබා සිටි රටවල් 7ක් සහ ආරාධිත රටවල් 9ක් ලෙස පළමු රග්බි ලෝක කුසලානය සඳහා රටවල් 16ක් තරඟ වැදුණි.

ඒ අනුව එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය IRFB සාමාජික රටවල් ලෙස තරගාවලියට එක්වූ අතර සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඉතාලිය, රුමේනියාව, ෆිජි සහ ටොංගා යන කණ්ඩායම් ආරාධිත රටවල් ලෙසද පළමු රග්බි ලෝක කුසලාන තරගාවලිය සමග එක් විය.

තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැති අතර පළමු කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ජපානය සහ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළත් විය. දෙවැනි කාණ්ඩයට ඇතුලත් වූයේ කැනඩාව, අයර්ලන්තය, ටොංගා සහ වේල්සයයි. ආර්ජන්ටිනාව, ෆිජි, ඉතාලිය සහ නවසීලන්තය තෙවැනි කොටසට අයත් විය. සිව්වෙනි කොටසට අයත් වූයේ ප්‍රංශය, රුමේනියාව, ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්ය.

පළමු වටය

පළමු වටය අවසන් වන විට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, නවසීලන්තය, ෆිජි, ප්‍රංශය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. ඒ අතරින් ඔස්ට්‍රේලියාව, වේල්ස් සහ නවසීලන්තය යන රටවල් අපරාජිතවම අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත්ව සිටියහ.

මූලික වටයේදී නවසීලන්තය විසින් ෆිජි කණ්ඩායම ලකුණු 74-13ක් ලෙසද, නවසීලන්තය විසින් ලකුණු 70-6කට ඉතාලියද, ප්‍රංශය විසින් සිම්බාබ්වේ කණ්ඩායම 70-12ක් ලෙසද පරාජය කරමින් තරගාවලියේ කැපී නෙණෙන ජයග්‍රහණ ලැබීමට සමත් වූහ. වේල්සය හා කැනඩාව අතර තරගයේදී වේල්ස් කණ්ඩායමේ වින්ගර් ලියුන් එවන්ස් උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමට සමත් විය. පසුව නවසීලන්තය සහ ෆිජි අතර තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙක් උත්සාහක දිනුම් හතර බැගින් වාර්තා කිරීමට සමත් වූහ. ඒ ෆුල්බැක් ක්‍රීඩක ජෝන් ගැල්ලගර් සහ වින්ගර් ක්‍රෙග් ග්‍රීන් ය. මෙම තරගාවලියේ එක් තරගයක ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම උත්සාහ දිනුම් වාර්තා කිරීමට සමත් වූයේ ඔවුන් තිදෙනා විසිනි.

අර්ධ අවසන් තරග

අර්ධ අවසන් පූර්ව තරගවලදී නවසීලන්තය විසින් ලකුණු 30-3ක් ලෙස ස්කොට්ලන්තයද, ඔස්ට්‍රේලියාව විසින් ලකුණු 33-15ක් ලෙස අයර්ලන්තයද පරාජය කිරීමට සමත් වූහ. තුන්වැනි අර්ධ අවසන් තරගයෙන් ෆිජි කණ්ඩායම පරාජය කරමින් ලකුණු 31-16ක ජයක් ලැබීමට ප්‍රංශය සමත් විය. අවසන් අර්ධ අවසන් තරගයෙන් ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 16-3ක් ලෙස පරාජය කළ වේල්සය අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

අවසන් පූර්ව තරග

අවසන් පූර්ව තරග සඳහා සත්කාරක රටවල් දෙක වන නවසීලන්තය සහ ඔස්ට්‍රේලියව සුදුසුකම් ලබා සිටි බැවින් එම කණ්ඩායම් දෙක අතර අවසන් තරගයක් රටවල් දෙකේ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වී සිටියහ. එහෙත් එම බලාපොරොත්තු සුන්කර දමමින් ජුනි 13 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 30-24ක ජයක් වාර්තා කිරීමට ප්‍රංශය සමත් විය.

දෙවැනි අවසන් පූර්ව තරගය පැවැතියේද ඔස්ට්‍රේලියාවේදීමය. ඒ බ්‍රිස්බේන්හිදී ය. එම තරගයෙන් නවසීලන්තය විසින් පහසුවෙන්ම වේල්ස කණ්ඩායම පරාජය කළේ ලකුණු 49-6ක් ලෙසිනි.

තෙවැනි ස්ථානය සඳහා තරගය පැවැතියේ නවසීලන්තයේ රොටෝරුවාහිදී ය. ඒ ඔස්ට්‍රේලියාව සහ වේල්සය අතරයි. තරගාවලියේ තියුණුම සහ උද්වේගකරම තරගය වූයේ මෙයයි. එය කොතරම් තියුණු තරගයක්ද කිවහොත් අවසානයේ වේල්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු පිල පරාජය කළේ ලකුණු 22-21ක් ලෙස එක් ලකුණකිනි.

අවසන් මහා තරගය

නවසීලන්තයේ ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයට හතලිස් අට දහසකට අධික රග්බි ලෝලීන් පිරිසක් පැමිණ සිටියේ පළමු රග්බි ලෝක කුසලානයේ හිමිකරත්වය සත්කාරක නවසීලනතයටද නැතිනම් යුරෝපයෙන් තරග වදින ප්‍රංශයට හිමිවේදැයි යන දැඩි කුතුහලය සමගිනි.

ඔස්ට්‍රේලියානු ජාතික විනිසුරු කෙරී ෆිට්ස්ජෙරල්ඩ්ගේ සංඥාවෙන් ආරම්භ වූ තරගයේ මුල් භාගයේ සිටම ඉදිරියෙන් සිටියේ නවසීලන්තයයි. තරගයේ දෙවැනි අර්ධයේදීද පහසුවෙන්ම තරගය තම ග්‍රහණයට ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ ඉතා පහසුවෙන්ම පළමු ලෝක කුසලානය තමන් සතු කරගැනීමට සමත් වූහ. ඒ ලකුණු 27-9ක් ලෙසින් තරගය ජය ගනිමිනි.

මාතෘකා