ජර්මනියට ක්‍රිකට් උණ බෝ කරන ශ්‍රී ලාංකිකයා පාසල් ක්‍රීඩකයන්ටත් ක්‍රිකට් දැනුම බෙදයි

 ඡායාරූපය:

ජර්මනියට ක්‍රිකට් උණ බෝ කරන ශ්‍රී ලාංකිකයා පාසල් ක්‍රීඩකයන්ටත් ක්‍රිකට් දැනුම බෙදයි

දේශීය තරගාවලි රැසක් හඳුන්වා දෙයි

ආයුබෝවන්?

ආයුබෝවන්.

ඔබට තවමත් සිංහල අමතක නෑ?

කවදාවත්ම. මම අමතක කරන්නෙත් නෑ. අමතක වෙන්නෙත් නෑ.

ඒත් ඔබ ලංකාවෙන් ගියේ පටු අන්තවාදී කණ්ඩායමක් නිසා?

අසූ තුනේ කලබල වලින් තමයි මම ජර්මනියට ආවෙ. ඒත් මට එහෙම එන්න පුලුවන් වුණේ අපේ පවුල ඒ කලබලවලදී බේරාගත්ත ආදරණීය සිංහල සහෝදරයො නිසයි.

 ඒ කියන්නෙ කළු ජූලියට මැදිවුණත් ඔබ තුළ කිසිදු වෛරයක් නෑ?

ඇත්තෙන්ම මගේ වෛරයක් නෑ. ඕනෑම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. ඒක තමයි මිනිස් ස්වභාවය වෙන්නෙ. නමුත් පහුවෙලා හරි අපිට එය අවබෝධ කරගන්න හැකිනම් රටක්, ලෝකයක් විධිහට ඉස්සරහට යන්න පිළිවන්.

යුරෝපා අත්දැකීම් ඔබේ දැක්ම වෙනස් කරන්න ඇති?

මනුෂ්‍යයෙක් වශයෙන් හිතද්දී මට දැනෙන යතාර්ථය ඒක. අපිට යුද්ධයකින් නැතිවෙන්නේ මානව, ආර්ථික, පාරිසරික සම්පත්. මේ විධිහට නොහිතා කටයුතු කරනවිට අපි සමාජයක් වශයෙන් එකතැන පල්වෙනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම අපිට විවෘත මනසකින් ප්‍රශ්න දිහා බලන්න ඕනෑ. අපේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව තුළත් මේ මානසික තත්ත්වය තිබෙනවා. සුනාමියක් ඇවිල්ලා අපි කෙටිකලකින් නැගිට්ටේ ඒ නිසයි. අපේ සංස්කෘතිය ශක්තිමත්. එතැනට බලය සහ අන්තවාදය එන්නත් නොවෙනවා නම් අපි තරම් දියුණු ජාතියක් ලෝකයේ නැතිවෙයි.

 

ඒ සිද්ධියේදී ඔබව ආරක්ෂා කළේ සිංහල පවුලක් බව කියැවුණා?

ඔව්. ඒ කාලය වෙද්දී අපි ජීවත් වුණේ දෙහිවල. අල්ලපු ගෙදර හිටියේ ප්‍රනාන්දු අංකල්ලාගේ පවුලයි. එයාට අපි වගේ දරුවෝ ගැන කිසිම වෙනසක් තිබුණේ නෑ. එයාගේ දරුවන්ට වගේම අපිටත් එයා ආදරෙන් සැකුලවා. අසූ තුනේ ජූලි කෝලාහල වෙනකොට අපිව ආරක්ෂා කළේ ඒ පවුලේ අය තමයි.

 

දැන් ප්‍රනාන්දු අංකල් සමඟ පැවැති ඇසුර ඒ වගේම තියෙනවද?

අවාසනාවකට දැන් නෑ. මම ජර්මනියට ආවට පස්සේ ඒ සම්බන්ධය ගිලිහුණා. ඒත් මම ප්‍රනාන්දු අංකල්ගේ ගෙදර අයව හොයනවා.

 ඔබයි ක්‍රිකට් ක්‍රීඩාවයි අතර සම්බන්ධය ගැන කතාකරමුද?

ඔව්. මම ක්‍රිකට් පිස්සෙක්. ඒ ක්‍රීඩාවෙන් මම ක්‍රිකට් වලින් උන්මාද වෙලා ඉන්නෙ. එදත්, අදත්, හෙටත් ඒකෙ වෙනසක් නැතිවේවි.

දැන් ඔබ ජර්මනියට ක්‍රිකට් ක්‍රීඩාව උගන්වනවා?

ඔව්. මම ඉන්නෙ ජර්මනියෙ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාව ඒ රට තුළ ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා.

 කොහොමද ඒ වැඩේ. සාර්ථකද?

තරමක් විතර සාර්ථකයි. තවම ඒ වැඩ කටයුත්ක සිද්ධ වෙනවා. මගේ උත්සහ මම අතහරින්නේ නෑ. මම මේ වැඩේ කරනවා.

 අයි.සී.සී. පිළිගැනීම කොහොමද?

අපි ස්වාධීන ව්‍යූහයක්. අපට අයි.සී.සී. ය හා සෘජු සම්බන්ධයක් නැහැ.

 ඔබ එය අපේක්ෂා කරන්නෙ නැද්ද?

අපේ ව්‍යූහය පරික්ෂා කර බලනවනම් අපි ඒකට කැමතියි.

 ක්‍රිකට් ක්‍රීඩාවට ජර්මානුවන්ගෙ ආකර්ශනය මොනවගේද?

ඒකට හුඟාක් වෙහෙස වෙන්න අවශ්‍යයි. ඔවුන් තව ක්‍රිකට් සංස්කෘතිය මොකක්ද කියලා ඉගෙන ගන්නවා. නමුත් ජර්මනියේ ක්‍රිකට් දියුණු කරන කාරණය බැරි දෙයක් නොවෙයි. ලෝකය තුළ බැරිදෙයක් කියලා යමක් ඇත්තෙත් නෑ.

 මේ වැඩවලට මුදල් හදල් එන්නෙ කොහොමද?

මේක සල්ලි ගොඩක් උඩ ඉඳලා කරන දෙයක් නම් නොවෙයි. අපි අපේ පෞද්ගලික මුදල් දමාගෙන සිද්ධ කරන දෙයක්.

 ඔබ දින පහක් ඉන්නෙ එංගලන්තයෙ නේද?

ඔව්. මගෙ වෘත්තීය කටයුතු තිබෙන්නේ එංගලන්තය තුළයි. නමුත් මම සති අන්තය ඉන්නේ මම ජීවත්වන ජර්මනියෙ.

 දැන් ඒ ක්‍රිකට් ව්‍යාප්ත කිරීමේ වැඩකටයුතු කොහොමද?

අපි ක්‍රිකට් සමාජ මට්ටමින් ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න පටන් අරගෙන කෙටි කාලයක් ගතවනවිට ජර්මනියේ ක්‍රීඩා සමාජ හතළිහක් ගොඩනැගිලා තියෙනවා.

 ඒ අනුබද්ධ සංගම් ක්‍රියාත්මක වන්නේ කොහොමද?

ඒවා ස්වාධීනව කටයුතු කරන්න අපි ඉඩදීලා තිබෙනවා. පළමුව අවශ්‍ය වන්නේ ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් ඉහළ නංවා ගැනීමයි. දෙවනුව අපි එක් ධජයක් යටතට ක්‍රීඩාව අරගෙන එනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාපිතව, අනුබද්ධ සංගම් හා මව් සංගමය අතර බන්ධනය ගොඩනංවනවා.

 ඔබේ සංගමය සිදුකරන ක්‍රියාවලියක් තමයි අනුබද්ධ සංගම්වල යටිතල පහසුකම් දියුණු කරන එක?

ඔව්. අපි ඒ දේ කරනවා. හැබැයි අපිට ඒ වැඩේ තවම සර්ව සම්පූර්ණ කරන්න හැකියාවක් ලැබිලා නෑ. දැඩි ප්‍රයත්නයක යෙදෙනවා.

 ඔය සිහිනය සැබෑවෙනවා කියලා විශ්වාසද?

නැත්නම්. සිහින තියෙන්නේ සැබෑ කරගන්න. අනික මම ශ්‍රී ලාංකිකයෙක්. අරමුණු අතහරින්න අපිට අපේ මව්බිම උගන්වලා නෑ. මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් ගෙන දෙමින් මම මේ වැඩේ කරනවා.

 ඔබ එම ක්‍රිකට් සමාජයේ දරන තත්ත්වය ගැන කතාකළහොත්?

මම සභාපති.

 දැන් ජර්මනිය ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩාවට වීමේ අභියෝගය කොහොමද?

හුඟාක් ප්‍රබලයි. නමුත් මම මුලින්ම කළේ එහේ ජීවත්වන ආසියාතික ක්‍රිකට් කණ්ඩායම් සොයා ගන්න උත්සහ කරන එකයි.

 දැන් ක්‍රිකට ක්‍රීඩාවේ තිඹිරි ගෙය තමයි පාසල. ඔබ කොහොමද ඒ අරමුණ ජයගන්නෙ?

මම ජර්මානු ජාතික දරුවන්ට පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව උගන්වනවා. ඊට පසුව තමයි මම ක්‍රිකට් සමාජයක් පිහිටුවා ගත්තෙ.

 දැන් ඔය වැඩසටහනින් ඔබ සාක්ෂාත් කරගන්න හදන්නේ මොකක්ද?

පාසල් මට්ටමින් ළමුන් පුහුණු කිරීම, පුහුණු වැඩ මුළු සංවිධානය කිරීම, ක්‍රිකට් තරගාවලි පැවැත්වීම, ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් කැඳවා ඔවුන් දිරි ගැන්වීම, ඔවුනට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සැපයීම දැනට සිදුකරනවා.

 ඔබට මේ වැඩේදි උපකාර කරන අය ඇති?

ඔව්. මගේ පිටිිපස්සේ ඉන්න කෙනෙක් තමයි රේමන්ඩ් කුරේ මහත්මයා. ඔහු මට සෑහෙන්න උදව් කරනවා. ටැවනර්ස් සාමිගෙන් අපේ ක්‍රිකට් ව්‍යාප්තිය වෙනුවෙන් ලැබෙන්නෙත් විශාල සහයෝගයක්. ඔහු අපට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් නිපදවන ක්‍රිකට් ඇඳුම් ලබාදෙනවා. තව ක්‍රිකට් භාණ්ඩත් ප්‍රදානය කරලා ශක්තියක් සපයනවා. ඒ හැමදෙයක්ම අපට ක්‍රිකට් දියුණු කරන්න, ජර්මනිය තුළ ක්‍රිකට් ව්‍යාප්ත කරන්න ඉවහල් වෙනවා. අපේ අපේක්ෂාව තිබෙන්නේ ස්වාධීන ක්‍රිකට් ව්‍යාපෘතියක් වශයෙන් මේ ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමයි. විශේෂයෙන් වානිජ්‍ය අරමුණු වලින් ඈත් වෙන්න අපි කැමතියි

 අවසන් වශයෙන් ලංකාවේ ක්‍රිකට් ගැන ඔබේ දැක්ම මොනවගේද?

අපේ ක්‍රිකට් සුවිශේෂීයි. හැම ප්‍රශ්නයක්ම විසඳිලා අපි නැවත ලෝකයේ පළමු තැනටම එන බව මම දන්නවා. මම ලංකාවෙන් ජර්මනියට ආවේ පුංචි කාළේ වුණත් තවමත් මම ශ්‍රී ලාංකිකයෙක්. ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන කියවෙන කොට ඒක මගේ කණ්ඩායම තමයි. මම ඒකට තමයි ජය පතන්නෙ. ජර්මනියෙ පදිංචි වුණත් ශ්‍රී ලංකාව තමයි මගේ මව් රට. අම්මාව අමතක කරන්න කාටවත් පුලුවන්කමක් නෑ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

මාතෘකා