හයිසින්ත්ගේ කාලයේ ආසියානු ශූරතාව ගිලිහුණේ ඇයි?

 ඡායාරූපය:

හයිසින්ත්ගේ කාලයේ ආසියානු ශූරතාව ගිලිහුණේ ඇයි?

මාස තුනක් ඔස්ට්‍රේලියාවේ පුහුණුවක් ලබලා දැල් පන්දුවේ කෙහෙවළු අන්දරය

ජූලි මස 12-21 වැනිදා දක්වා එංගලන්තයේ ලිවර්පූල්හි පැවැති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා පිලට 2018 වසරේ ආසියානු ශූරියන් වුවද හිමිවූයේ 15 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකා කණ්ඩායමට හැරුණු කල මෙම තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කළේ සිංගප්පූරුව පමණි. ඔවුනට එහිදී 16 වැනි ස්ථානය හෙවත් අවසන් ස්ථානය හිමිවිණි. එය අතීත සංසිද්ධියකි. කෙසේ නමුත් පසුගිය දිනවල එය යළිත් අලුත් කෙරුණේය. ඒ පුවත්පත් කිහිපයක වාර්තාව තිබූ ආකාරයට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවන් මෙන්ම පුහුණුකාරිණියන් කිහිප දෙනෙකු ලෝක කුසලාන පරාජය ගැන ක්‍රීඩා අමාත්‍යංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් හේතුවෙනි. මෙම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පසුබෑම පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඔවුහු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා තිබිණි. එලෙස ''හිටපු නායිකාවන් මෙන් ම පුහුණුකාරිණියන්" ලෙස පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ හයිසින්ත් විජේසිංහ , දීප්ති අල්විස් සහ වජිරා පුෂ්පකුමාරි බව සඳහන් කෙරුණේය. එහෙත් මාධ්‍ය හමුවේ මේ පිළිබඳ අදහස් දැක් වූ එක ම පාර්ශ්වය වූයේ හයසින්ත් විජේසිංහ ය. 2011 වසරේ ලෝක කුසලානයේ දී තම පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව 14 වැනි තැන දිනා ගත් බවත් මෙවර ලංකාවට හිමි වූයේ 15 වැනි ස්ථානය බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබිණ. මෙවර කණ්ඩායම පෙරපුහුණුව වෙනුවෙන් විදේශ සංචාර තුනකට සහභාගී වූ නමුත් 2011 වසරේ දී තමා පුහුණු කළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූයේ එක් විදෙස් පුහුණු සංචාරයකට පමණක් බව ද ඈ පවසා තිබුණාය. එසේම ආසියානු කුසලානය දිනාගත්තේ පුහුණුකරුවන්ගෙන් පන්නරය ලබා තිබූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායමට ඇතුළත් වීමේ ප්‍රතිඵලයක් මත බවද ඇය අවධාරණය කර තිබිණි. මේ එම ප්‍රකාශ සම්බන්ධව සිදුකරන මධ්‍යස්ථ විමසා බැලීමකි.

කතාවේ ඇත්ත නැත්ත

වත්මන් පුහුණුකාරිණී තිලකා ජිනදාසට දසක ගණනාවක් තිස්සේ දේශීය දැල්පන්දු පිටියට පිවිසෙන්නට නොදුන් ප්‍රබල කුමන්ත්‍රණයක් දියත් වූ නමුත් අවසානයේ ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස තෝරා ගැනුණු බවත් මේ වන විට රටම දන්නා රහසකි. තිලකාට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස අයැදුම් කරන්නට නොහැකි වන ආකාරයට වරින් වර නීති රීති වෙනස් කරමින් හැංගි මුත්තං සෙල්ලම් කරමින් සිටි පිරිසට නිසි පිළිතුරු වූයේ ඇය දිනා දුන් ආසියානු ශූරතාවය ය. 2009 වසරෙන් පසු තරගාවලි තුනක් පිට පිට ම පරාජය වී සිටි ශ්‍රී ලංකාව මෙවර සිංගප්පූරුවට එරෙහිව විශාල ලකුණු පරතරයකින් ජය ලැබීය. මීට ප්‍රථම 2009 වසරේ ජයගත් කණ්ඩායමේ පුහුණුකාරිණිය තිලකාම වීම අනෙක් විශේෂත්වයය. නමුත් ඇයට 2011 වසරේ ලෝක කුසලාන කණ්ඩායමේ පුහුණුකාරිත්වය හිමිනොවිණි. එවර බලධාරීන් විශ්වාසය තැබූයේ හයිසින්ත් විජේසිංහ කෙරේය. දිගින් දිගටම එල්ල වන සැලසුම්සහගත කෙණෙහිලිකම් මැද අවසානයේ තිලකාගේ තීරණය වූයේ ලංකාව අතැර යාමය. ලංකාවේ බලධාරීන්ට තිලකා ජිනදාස යන නම යළි සිහිපත් වන්නට ගත්තේ ආසියානු තරගාවලි තුනක් පිට පිට ම පරාජය වූ පසු ය.

කෙසේ නමුත් ආසියානු කිරුළ ජයගැනීම හමුවේ මුළුගැන්වී සිටි කල්ලි-කණ්ඩායම් ලෝක කුසලානයට පසුව යළිත් තම සුපුරුදු චර්යාව විදහා පාමින් ඇතිබවක් පෙනෙන්නට තිබේ. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක භාවය පිළිබඳ පැමිණිලි කළා යැයි පැවසෙන සාර්ථක පුහුණුකාරිණියන්ගේ අති සාර්ථක ඉතිහාස විමසා බැලීම දැන් අප මෙම ලිපියෙන් සිදුකරමු.

 

වජිරා පුෂ්පකුමාරි

ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි කළ කණ්ඩායමේ හිටපු නායිකාවන් සහ පුහුණුකාරිණියන් තිදෙනා යැයි පුවත්පත් වල සඳහන් වූ නම් අතර වජිරා පුෂ්පකුමාරිගේ නමද විය. වජිරා යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩිකාවක් නම් නොවේ. අඩුම තරමින් ඈ මතකයේ රැඳෙන තරම් කාලයක්වත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක ද නොවීම විශේෂිතය. ඇය 1997 වසරේ සිංගප්පූරුවේ පැවති සිව්වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය නියෝජනය කළේ නිත්‍ය ක්‍රීඩිකා ගයාත්‍රි ලංකාතිලක මුහුණ දී සිටි ආබාධ තත්ත්වයක් මත 13 වැනි ක්‍රීඩිකාව ලෙසය. ඒ හැරෙන්නට වජිරා පුෂ්පකුමාරි හිටපු නායිකාවක්ද නොවේ.

දීප්ති අල්විස්

දීප්ති අල්විස් යනු මෑත ඉතිහාසයේ දැල්පන්දු ක්‍රීඩාවේ පරිහානියට වගකිවයුතු පුහුණුකාරිණියන් දෙදෙනා අතරින් එක් අයෙකි. දීප්ති 2012 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවති අට වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සහාය පුහුණුකාරිණිය වූ අතර දැල්පන්දු ක්‍රීඩාවේ වත්මන් ඉරණමට වගකිව යුතු අනෙක් පුහුණුකාරිණිය වන හයිසින්ත් විජේසිංහ එවර ප්‍රධාන පුහුණුකාරිණිය වූවා ය. සිංගප්පූරුව සමග පැවති අවසාන මහා තරගය දේශීය නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද ආරම්භ වූ අතර පළමු කාර්තුව අවසානයේ විවේකයේ දී ශ්‍රී ලංකාවේ නිත්‍ය ගෝල් ආක්‍රමණ ක්‍රීඩිකාව වූ ශෂිකා සමරසිංහ ව පිටියෙන් ඉවතට ගෙන සහාය පුහුණුකාරිණිය ගේ දියණිය වූ සේමිණි අල්විස්ව ආදේශ කිරීමට පුහුණුකාරිණිය කටයුතු කළා ය. ශෂිකා යනු එවකට කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙකු වූ අතර හිටපු ශ්‍රී ලංකා නායිකාවක ද විය. ඇයව ඉවතට ගෙන ආදේශ කළ දීප්ති අල්විස් ගේ දියණිය, සේමිණි ආබාධයක් හේතුවෙන් තරගාවලිය පුරා විවේක ගනිමින් සිටි ක්‍රීඩිකාවකි. අවසානයේ දී අහසින් පාත් වූ සේමිණි ගෝල විදින්නිය සමඟ නිසි සබඳතාව ගොඩනගාගැනීමට අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකාවට 47-48 ක් ලෙස එක ලකුණක පරාජයක් උරුම විය.

2014 වර්ෂයේ දී හොංකොං හි පැවති "ට්‍රයි නේෂන්ස්" තුන්කොන් දැල්පන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය වූයේ ද දීප්ති අල්විස් ය. 2012 වසරේ පැවති ආසියානු තරගාවලියට අනුව ආසියාවේ අංක දෙකවූ ශ්‍රී ලංකාවත් අංක තුනවූ මැලේසියාවත් අංක හතරවූ හොංකොං කණ්ඩායමත් අතර පැවති එම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමිවූයේ අවසන් ස්ථානයයි. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට ද බලපානු ලබන තරගාවලියක දී තමා ප්‍රකට කළ අසාර්ථකත්වය සහ ලැබූ නින්දාසහගත පරාජය සාධාරණය කරනු පිණිස දීප්ති අල්විස් විදෙස් ක්‍රීඩිකාවන්ගේ නීති විරෝධී ක්‍රීඩා විලාසය නිසා මෙරට ක්‍රීඩිකාවන් ආබාධ වලට මුහුණ දුන් බව පැවසූවාය. කණ්ඩායම ආපසු ලංකාවට ගොඩ බසින විට තම දියණිය වූ සේමිණි අල්විස් රෝද පුටුවක රැගෙන එමින් ජුගුප්සාජනක මාධ්‍ය සංදර්ශනයක්ද ක්‍රියාත්මක කළා ය. 2015 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති දැල්පන්දු ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුවට පවා පසුපසින් 16 වැනි තැන හෙවත් අවසාන තැන දිනා ගත් අතර එම සංචාරයේ පුහුණුකාරිණිය වන දීප්ති අල්විස් ට නැවතත් 2016 වසරේ දී මැලේසියාවේ පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාර දීමට තරම් බලධාරීන් නිර්ලෝභී විය. එහි දී අවසාන මහා තරගය මැලේසියාවට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු ලෙස අනු ශූරියන් විය.

හයිසින්ත් විජේසිංහ

1989 වසරේ ඉන්දියාවේ පැවති දෙවැනි ආසියානු දැල්පන්දු තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වූ හයිසින්ත් විජේසිංහ 2001 වසරේ ශ්‍රී ලංකාවේ පැවති පස්වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ජය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණියයි. හයිසින්ත් විජේසිංහ පුවත්පත් වලට පවසා ඇති කරුණු වල සමහර වැදගත් කොටස් පුදුම සහගත ලෙස මග හැරී තිබූ අතර ඒවා සිහිපත් කිරීම ඇයට මෙන් ම ක්‍රීඩා ලෝලීන්ට ද දැල්පන්දු අන්දරය තේරුම් ගැනීමට පහසුවක් වනු ඇතැයි කිවයුතුය.

2009 වසරේ තිලකා ජිනදාසගේ පුහුණුව යටතේ ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකාව ඒ හරහා ආසියානු කලාපයෙන් ලෝක කුසලානය ට සුදුසුකම් ලැබූ නමුත් 2011 වසරේ දී සිංගප්පූරුවේ පැවති එම ලෝක කුසලාන තරගාවලියේ පුහුණුකාරිණිය වන්නේ හයිසින්ත් විජේසිංහ ය. තමා පුහුණු කළ එම කණ්ඩායම 2011 වසරේ දී රටවල් 16 ක් අතරින් 14 වැනි තැන හිමි කරගත් බවත් මෙවර කණ්ඩායමට හිමි වූයේ 15 වැනි තැන බවත් පවසන හයිසින්ත් මාධ්‍ය හමුවේ වසං කළ පරිච්ඡේදයක් ඇත. එනම් 2011 වසරේ ලෝක කුසලානයට ආසියාවෙන් රටවල් 3 ක් සහභාගී වූ බවය. 2007 වසරේ ලෝක කුසලානයේ සිට තරගාවලි ආකෘතිය වෙනස් වූ අතර සහභාගීත්වය කණ්ඩායම් 16 ට පමණක් සීමා කෙරිණි. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් වෙනුවෙන් බර තැබූ පසු ව එක් භූ ගෝලීය කලාපයකින් රටවල් දෙකක් බැගින් තෝරා ගන්නා අතර 2005 සිංගප්පූරුවේ පැවති 06 වැනි ආසියානු තරගාවලියේ තෙවැනි තැනට ඇද වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ට 2007 වසරේ නවසීලන්තයේ ලෝක කුසලානයට අවස්ථාව අහිමි වන්නේ එම කණ්ඩායම් දෙකේ නීතිය මත ය. හයිසින්ත් 14 වැනි තැන හිමි කර ගත්තා යැ‍යි පවසන 2011 වසරේ ලෝක කුසලානය සිංගප්පූරුවේ දී පැවැත්වුණු බැවින් සිංගප්පූරුව එයට සුදුසුකම් ලැබුවේ සත්කාරක රාජ්‍යය පදනම මත ය. එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු නියෝජනය වශයෙන් 2009 වසරේ ආසියානු ශූරියන් වූ ශ්‍රී ලංකාව ට අමතරව තෙවැනි තැන දිනූ මැලේසියාව ට ද අවස්ථාව හිමි විය. 15 ට වඩා 14 අගනේයැයි පවසන හයිසින්ත් 14 වැනියා වූ ශ්‍රී ලංකාවට පසු පසින් සිටි අනෙක් රටවල් වූයේ ආසියාවේ දී පවා ශ්‍රී ලංකාවට පරාජය වූ සිංගප්පූරුව සහ මැලේසියාව යන කරුණ හිතා මතා සඟවයි. මේ සුවිශේෂී දස්කම දැක්වීම සඳහා හයිසින්ත් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තයේ පුරා මාසයක පුහුණුවක් ලැබූ බව ද ඇයට දැන් අමතකය.

ඉන් අනතුරුව පැවැත්වුණේ 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු තරගාවලිය ය. කොළඹ දී පැවැත්වෙන ආසියානු තරගාවලියට පෙර පුහුණුවක් ලෙස ප්‍රධාන පුහුණුකාරිණිය හයිසින්ත් සහ සහාය පුහුණුකාරිණිය දීප්ති ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ මාස 3 ක පුහුණුවක් ලැබූහ. එවර ශ්‍රී ලංකා කණ්ඩායමට සූ බෝඩියන් නම් ඕස්ට්‍රේලියානු උපදේශක පුහුණුකාරිණියකගේද සහය හිමිවිය. අද වන විට තිලකා ජිනදාස ට චෝදනා කරන හයිසින්ත් - දීප්ති යුවළ ඕස්ට්‍රේලියාවේ සීත සෘතුවේ කළ තුන් මසක පුහුණුවෙන් අඩුම තරමින් ආසියානු තරගාවලියවත් දිනා දීමට අසමත් වූහ. අවසාන තරගාවලියේ දෙවැනි කාර්තුවේ දී සහාය පුහුණුකාරිණිය ගේ දියණිය සේමිණි අල්විස් ව අත්තනෝමතික ලෙස පිටියට යැවීමේ තීරණයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න අදටත් හෙළිදරව් නොකරන අබිරහසකි. ඉන් අනතුරුව වසර කිහිපයක් දැල්පන්දු පුහුණු ක්ෂේත්‍රයෙන් කැපී සිටි හයිසින්ත් විජේසිංහ 2014 වසරේ 09 වැනි ආසියානු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යමුනා සඳමාලි වෙත භාර දුන් පසුව කෙසේ හෝ උපදේශක පුහුණුකරු තනතුරක් එල්ලාගෙන සිංගප්පූරු සංචාරයට ද සහභාගී විය. නමුත් ලංකාවට එවර ද ආසියාව ජය ගැනීමට නම් නොහැකි විය.

හයිසින්ත් විජේසිංහ නැවතත් කරළියට පිවිසෙන්නේ නීතිවිරෝධී කණ්ඩායමක පුහුණුකාරිණිය ලෙසිනි. 2018 වසරේ ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලියේ "යුද හමුදා" කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙසය. "සෙලාන් බැංකු" කණ්ඩායම සහ "ගුවන් හමුදා" කණ්ඩායම විරෝධතාවක් ගොනු කරමින් පවසා සිටියේ "යුද හමුදා" කණ්ඩායමට එප්පාවල මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ සිසුවියන් තිදෙනෙක් ක්‍රීඩා කරන බව ය. අවසානයේ දී එම ක්‍රීඩිකාවන් තිදෙනා සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණයට පසුව වංචනික "යුද හමුදා" කණ්ඩායම තරගාවලියෙන් නෙරපනු ලැබිණි. පුහුණු සංචිතවලට පවා තේරුණු පිටපළාත් පාසල් ක්‍රීඩිකාවන් යොදවා වංචනිකව ක්‍රීඩා කිරීම සම්බන්ධව "යුද හමුදා"කණ්ඩායමේ පුහුණුකාරිණිය වූ හයිසින්ත් විජේසිංහ නිදහසට පවසන්නේ කුමක්දැයි දන්නේ ඇයගේ හෘද සාක්ෂ්‍ය පමණ ය.

2019 වසරේ ලෝක කුසලානය අවසන් වූ වහාම වත්මන් කණ්ඩායමේ දක්ෂතා සහ වත්මන් පුහුණුකාරිණියගේ යෝග්‍යතා පිළිබඳ අසම්පූර්ණ දත්ත මෙන්ම තම වාසිය පිණිස සංක්ෂිප්ත කළ තොරතුරු සමඟ ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි කරන්නේ මෙවැනි පුහුණුකාරිණියන් ය. මේ කල්ලියට මෙවර සංචාරය වෙනුවෙන් වැය කළ මහජන මුදල් පිළිබඳ එකවර සිත උණු වී වෙඬරු සේ වැගිරෙන්නේ දැල්පන්දු ක්‍රීඩාවට ඇති සැබෑ ආදරය නිසාදැයි තේරුම් ගැනීමට උක්ත සිදුවීම් මාලාව සහ අතීත කතා පුවත ප්‍රමාණවත් ය. අවසාන වශයෙන් අවධාරණය කළ යුතු වන්නේ මේ කිසිවක් හුදෙකලා සිදුවීම් ලෙස ලඝු කළ යුතු නැති බවයි. දැල්පන්දුවේ පිරිහීමට ප්‍රධානම හේතුව තනතුරු, වරප්‍රසාද සහ විදෙස් සංචාර වලට කෑදර කමින් බලය අත නොහරින ප්‍රවීණයින් ද ඊට වග කිවයුතු බව ය.

[සහන් කසීර වික්‍රමසිංහ]

ඡායා [The Papare වෙබ් අඩවියෙනි]

 

මාතෘකා