ඉන්න නොහිතෙන තැනකින් කලින්ම යන්න හදන ස්ලින්ගා

 ඡායාරූපය:

ඉන්න නොහිතෙන තැනකින් කලින්ම යන්න හදන ස්ලින්ගා

ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් පමණක් ම නොවේ. එය අවිනිශ්චිත බවත් - වර්ණවත් හැකියාවන්ගේත් සම්මිශ්‍රණයෙන් සුසැදි චමත්කාරජනක එකකි. ආගම තම එකම ඉන්ද්‍රජාලික ගැලවුම්කරු යැයි ප්‍රත්‍යක්ෂකරගත් දකුණු ආසියානු සමාජයට ආගමක් හා සම, අසමසම ඇබ්බැහිය කැන්දූ ක්‍රීඩාව ක්‍රිකට්ය.

සුවහසක් ඉන්දියානු රසික දන මන පිනවූ සචින් මිහිබට දෙවියෙක් විලස ඔවුනගේ සාධු ජන වරම ලබන්නේ මේ වෙහෙසකර ක්‍රීඩාවේ පවත්නා රිද්මය ඔහු මනාව පිරිසිඳ දත් බැවිණි. ක්‍රිකට් ආගම වූ භාරතයට සචින් දේවත්වයෙහිලා සැලකීම තවත් අරුමැසි අභිචාරයක් නොවන්නේය.

ක්‍රිකට් අපේ ජාතික ක්‍රීඩාව නොවන බව සැබවි. එහෙත් එය නිසැකවම තවත් දශකයක් ඉක්ම ගියද ශ්‍රී ලාංකීයකරණයේ ජාත්‍යන්තර සන්නාමය වනු ඇත්තේය. අප පාරාදීසයේ ක්‍රිකට් තානාපතිවර සංගක්කාරයන් වසර 2011 පැවැත්වූ අනගිභවනීය එම්. සී.සී. දේශනයේදී නිවැරදිව දැක්වූ පරිදි ම මුරලිදරන් තම ඉන්ද්‍රජාලික දඟ පන්දුකරණයෙන් අප සමස්ත ජාතියම ප්‍රෞඪත්වයට එසැවූ මොහොතේ පටන් ක්‍රිකට් සංචිතයට ආගිය සියලු ක්‍රීඩකයෝ රටවැසියන්ට ''අපේ කොල්ලෝ'' වූවෝය.

එලෙස අධිනිශ්චයට බඳුන් වූ ''අපේ කොල්ලන්'' අතර අසහාය බාහු බල ශක්තියෙන් හා නොපිරිහුණු වාග් ශක්තියෙන් ශ්‍රී ලාංකීය කොදෙව්වට යසසත්, කීර්තියත් කැන්දූ ෆීනික්ස් පක්ෂියා සෙපරමාදු ලසිත් මාලිංගය. ඇරඹුමේදී ඔහු 'රත්ගම එක්ස්ප්‍රස්' ය. තවත් වරෙක 'කඟවේනාය'. පසුකලෙක ආදරණිය මාලී වූ ඔහු, ජාත්‍යන්තර විචාරක කැලතේ සම්භාවනාවට ලක් වූ අපේ සදාදර 'ද ස්ලින්ගාය'.

මාලී යනු ගුරු සිත් නොරිදවමින් හා වේලාව නොඉක්මවමින් ශිල්ප දැක්වූ සුපේශල ශික්ෂාකාමී කොලු ගැටයෙක් නොවේ. ගාල්ලේ බලපිටියට ආවේණික කර්කශ ලීලාවෙන් සභා මස්තකප්‍රාප්ත වූ කෙලින් කතා කොට මරිමෝඩ ශ්‍රී ලාංකීය ක්‍රිකට් පරිපාලකයන්ගේ වෛරයටද තවත් වරෙක අක්‍රෝශ පරිභයටද ලක්වූ හිතුවක්කාරයෙකි.

මළකුනකට වැසීමට තටු නඟා එන නිලමැස්සන් වන් අතලොස්සක් වූ ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ ඊගෝව සුනුවිසුණු කළ බලවතා ඔහුය. තම ප්‍රාණසම සගයා වූ චිරප්‍රසිද්ධ බුකීකාර සභාපති හා එක්ව මාලිගේ ආමාශයේ දිග පළල මනින්නට ආ ශෝබනකාර ඇමැත්තාට 'රිලවා බෙනේ සිටින විට ගිරවා සිටින්නේ ගහේ' යැයි සිහි කරන්නට තරම් කශේරුකාවක් තිබූ කිසිවෙකුට ආණ්ඩු මට්ටු කළ නොහැකි වූ දඩබ්බරයා ද ඔහුමය.

තවත් සියවසක් ගියද ලොව නේක තණතිලි මත ස්ලින්ගා පෑ පෙළහර යළිදු ප්‍රතිනිර්මාණය කළහැකි එකදු ක්‍රීඩකයෙකු හෝ මෙබිමේ පහළවේදැයි යන්න නම් සැකසහිතය. ඒ ඔහු එක් පන්දු වාරයක් තුළ දවාගත් ප්‍රතිහාර්යාත්මක කඩුලු හතර හෝ ලෝක ක්‍රිකට් කරළියේ තෙවරක් ගත් කඩුලු ත්‍රිත්වය නිසාම නොවේ. මෙරටට ටී 20 ලෝක කුසලානය එසවීමට දුන් විශ්මිත සහය නිසාද නොවේ. කොළපැහැ ක්‍රීඩාංගනය සිසාරා ජවාධික අශ්වයකුගේ නොසන්සුන් විලාසයෙන් එහෙත් ඉලක්කගත මනසින් දුවගොස් පිතිකරු ඉදිරිපස වේගයත් ඔහු පතිත කරනා යෝකර් පන්දුවේ මාරාන්තික ස්වරූපය එලෙස ම කැටි කළ හැකි වෙනත් තරුණයෙකුගේ ආගමනයක් පෙනෙන මානයේ නැති බැවිනි.

ජොයෙල් ගානර්ගේ හෝ මයිකල් හොල්ඩින්ගේ දන මන තිගස්සන මස් ගොබ ඔහුට නොපිහිටියේය. අක්‍රම්ගේ හෝ වකාර්ගේ ජවාධික රිද්මය ද ඔහුගේ වසඟය නොවූයේය. යටත් පිරිසෙන් අප කොදෙවුවේ උපන් කෙහෙල්ගමුවගේ තියුණු බව හෝ ඔහු සතුව නොපිටිහියේය. එනමුදු පිතිකරුගේ ඉනි සීසී කඩකොට ඉනික්බිති පිතිකරුවා දෙස බැලුම්හෙළමින් ඔසවන දකුණු බාහුවේ විශ්වසනීය මුද්‍රාව දැකිය හැකි එකම වේග පන්දු බලවතා වූයේ ඔහුය. තවත් නම් එවන් මාරාන්තික යෝකර් පන්දුවක විස්මිත දෝලනය අප ඇස නොගැටෙනු ඇත.

තම ඉලක්කයම තම එකම ජීවන පරමාදර්ශය යැයි සලකා දුනුහී කෙලියේ පරප්‍රාප්ත මහා භාරතයේ අර්ජුන සේම මාලිංගයන්ද වැටි වැටී නැගිට්ටේය. ඛෙත්තාරමයෙන් පසුබැසි කල ඔහු කලඑළි බැස්සේ අම්බානිගේ මුම්බායි ඉන්දියන් හරහාය. රටම උගසට තබා දේශප්‍රේමයම යදින දේශපාලකයන් ඔහුගේ ධනෝපායන මාර්ග පිළිබඳ පටබැඳි කතා අනන්තය. එනමුත් එවන් කිසිදු විටෙක සැලුනේ ස්ලින්ගා නොවේ. මේට්ලන්ඩ් පෙදෙස්බද රැස් කකා සිටින ක්‍රිකට් භූතාත්ම දවා හැලුකිරීමේ ජවය රැඳී සුපිරි ආත්මයක් ඔහු සතු විය.

පරසිදු ඩර්බි ශුරතාවයද සමන්විතව තුරග තරග පිටියේ සුරුවිරුකම් පෑ විස්මිත ක්‍රීඩකයා වූයේ සර් ලෙස්ටර් පිගොට්ය. මාලි ද පිගොට් හා සමය. ඔහු හැමවිටම දින්නේ අවසන් මොහොතේය. ඔහුගේ ඇදවැටීම ම අපේක්ෂා කළ සනුහරය දීප්තියෙන් බැබලී පිගොට්ට ම ආශිර්වාදය පෑ එදවස් අදට ගලපනු මැනව. පිගොට් සේම ස්ලින්ගා ද වරෙක අපට දේශද්‍රෝහියෙකි. තවත් වරෙක මුදලම පැතූ කච්ච්ජපුටයෙකි. එනමුදු අවසන රටම මෙදින ඔහුට බුහුමන් දක්වන්නේය.

නිර්ව්‍යාජ හුදී ජන ශ්‍රී ලාංකීය සොයුරනි, තම බාහු බලයම, තම එකම ගැලවීම යැයි සිතා ක්‍රීඩාවේ නියැලෙමින් සොඳුරු ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් මාරාන්තික යෝකරයෙන් තිගැස්සු මේ සුපිරි වීරයාට සමුදෙන්නට ඛෙත්තාරාමයට ආ සුමිතුරනි, ඉන්න නොහිතෙන තැනකින් - කලින්ම යන්න හදන ස්ලින්ගාට සමුදෙන්න !!

[මංජුල ගජනායක]

මාතෘකා