IPL තරගාවලිය 2019 මුම්බායි යළි දෙවැනි ස්ථානයට

 ඡායාරූපය:

IPL තරගාවලිය 2019 මුම්බායි යළි දෙවැනි ස්ථානයට

පන්දු 11ක් තුළ ලකුණු 10 ක් ලබාගනිද්දී චෙන්නායි කණ්ඩායමේ අවසන් කඩුලු 4 දවා ගත් ලසිත් මාලිංග ඇතුළු මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ ලකුණු 46ක පහසු ජයක් තම කණ්ඩායමට ලබා දීමට පසුගිය සිකුරාදා සමත් වූහ.

චෙන්නායි චෙපොක් හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ලකුණු 156ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 37කට දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. ඒ අතර ප්‍රවේගකාරී පිත්කරුවන් වන ෂේන් වොට්සන් සහ ඩ්වෙන් බ්‍රාවෝද වූහ. කුරුනල් පාණ්ඩ්‍යා සහ ජස්ප්‍රිට් බුම්රා ද චෙන්නායි පිතිකරුවන්ට පීඩනයක් ලබා දෙමින් පන්දු යවන්නට සමත්ව සිටියහ. චෙන්නායි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වයේ ලකුණු 38ක් ලබාගත් ආරම්භක පිතිකරු මුරලි විජේය.

කාසියේ වාසිය අහිමිව පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණඩායමේ නායක රෝහිත් ෂර්මා පන්දු 48කින් ලකුණු 67ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3කින් තම ඉනිම වර්ණවත් කරමිනි. ඒ නිසාම ෂර්මා තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි. මුම්බායි කණ්ඩායම ලකුණු 150 සීමාව දක්වා ගෙන ගිය හර්දික් පාණ්ඩ්‍යා පන්දු 18කින් නොදැවී ලකුණු 23ක් රැස්කළේය.

ලකුණු සාරාංශය

මුම්බායි ඉන්දියන්ස් (පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී) 155

(රෝහිත් ෂර්මා 67, එවින් ලෙවිස් 32, හර්දික් පාණ්ඩ්‍යා නොදැවී 23, මිචෙල් සැන්ට්නර් 2/13)

චෙන්නායි සුපර් කිංග්ස් පන්දුවාර (17.4කදී සියලු දෙනා දැවී) 109

(මුරලි විජේ 38, මිචෙල් සැන්ට්නර් 22, ඩ්වෙන් බ්‍රාවෝ 20, ලසිත් මාලිංග 4/37, කුර්නල් පාණ්ඩ්‍යා 2/7, ජස්ප්‍රිට් බුම්රා 2/10)

මාතෘකා