වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙවැනි කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය : අහන් වික්‍රමසිංහගේ ශතකය රාජකීයන්ට ශූරතාව ගෙනෙයි

 ඡායාරූපය:

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන දෙවැනි කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය : අහන් වික්‍රමසිංහගේ ශතකය රාජකීයන්ට ශූරතාව ගෙනෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කවිඳු මදාරසිංහගේ නායකත්වයෙන් යුත් කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය.

කොළඹ කෝල්ට්ස් පිටියේදී පසුගියදා පැවැති එම අවසන් තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය අහන් වික්‍රමසිංහගේ ශතකය හේතුවෙන් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමි කර ගත්තේය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි විද්‍යාලයට පන්දුවාර 88.5කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 266ක් පමණි.

එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ වමත් පිතිකරු කල්හාර සේනාරත්න පන්දු 172කදී හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් ශාන්ත අන්තෝනී ඉනිම ගොඩනැගීමට සුවිශේෂී දායකත්වයක් දැක්වීය. කල්හාර සේනාරත්න නිම්නක ජයතිලක සමගින් එක්ව අවසන් කඩුල්ලට ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීය.

රාජකීය පිල වෙනුවෙන් මනුල පෙරේරා සහ කමිල් මිෂාර කඩුලු 3ක් බැගින් දවාලූ අතර, කවිඳු පතිරත්න කඩුලු 2ක් දවාලමින් ප්‍රබල ශාන්ත අන්තෝනි පිල ලකුණු 266කට සීමා කිරීමට දායක් වූහ.

ශාන්ත අන්තෝනී විද්‍යාලය අභිබවමින් ශූරතාව දිනා ගැනීමට රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේදී ලැබුණු අභියෝගය භාරගත් රාජකීය විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 84.3කදී සියලුදෙනා දැවී ලකුණු 314 ක් රැස්කිරීමට සමත්විය.

එහිදී දක්ෂ පිතිහරඹයක් දියත් කළ දකුණත් පිතිකරු අහන් වික්‍රමසිංහ පන්දු 148කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 116 ක් රැස්කරමින් රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම දැමූ අතර, අහන් වික්‍රමසිංහට අගනා සහායක් ලබාදුන් භාග්‍ය දිසානායක පන්දු 153කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 91ක් රැස්කළේය.

ශාන්ත අන්තෝනි පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ නිම්නක ජයතිලක ලකුණු 119කට කඩුලු 5 ක් දවගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද එය රාජකීයයන්ගේ ජයග්‍රහණය වළක්වාලීමට ප්‍රමාණවත් නොවිණි.

ශාන්ත අන්තෝනි විද්‍යාලය: පළමු ඉනිම - 266 (පන්දුවාර 88.5) කල්හාර සේනාරත්න නොදැවී 102, අසිත වන්නිනායක 32, තමාෂණ අබේකෝන් 31, මොහොමඩ් කමීල් 27, මනුල පෙරේරා 3/50, කමිල් මිෂාර 3/73, කවිඳු පතිරත්න 2/33

රාජකීය විද්‍යාලය: පළමු ඉනිම - 314 (පන්දුවාර 84.3) අහන් වික්‍රමසිංහ 116, භාග්‍ය දිසානායක 91, පසිඳු සූරියබණ්ඩාර 52, ඉෂිවර දිසානායක 13, කවිඳු පතිරත්න 10, නිම්නක ජයතිලක 119/5, තමාෂණ අබේකෝන් 2/20

[ඉෂානි යද්දෙහි ]

මාතෘකා