දිල්හාර ලොකුහෙට්ටිගේට යළිත් අයි.සී.සී.යෙන් චෝදනාවක්

 ඡායාරූපය:

දිල්හාර ලොකුහෙට්ටිගේට යළිත් අයි.සී.සී.යෙන් චෝදනාවක්

උත්තර බඳින්න දින14ක කාලයක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට යළිත් වරක් දූෂණ මර්දන නීති උල්ලංඝණය කළ බවට චෝදනාවක් එල්ල කිරීමට අයි.සී.සී. ය කටයුතු කර තිබේ. අදාළ චෝදනා සඳහා දින 14ක කාලසීමාවක් තුළ පිළිතුරු ගොනුකරන ලෙස ඔහුට කාලය ලබාදීමටද අයි.සී.සී.ය කටයුතු කර ඇත. එම කාලය අප්‍රේල් 3 වැනිදා සිට ආරම්භ වන බව ඔවුන් දන්වා සිටී. මාස හයක කාල සීමාවක් තුළ දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව ඉදිරිපත්වූ දෙවැනි චෝදනාව මෙය ලෙස සැලකේ. දිල්හාර ලොකුහෙට්ටිගේ තිස් අට හැවිරිදි වියේ පසුවන අතර කලක් තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඔහුට මුල් වරට චෝදනා ගොනු වුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් දූෂණ මර්දන නීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල කරමිනි.

අයි.සී.සී. දූෂණ මර්දන නීතිවලට අනුව 2.1.1, 2.1.4 සහ 2.4.4 යන වගන්ති බිඳ දැමීමට කටයුතු කිරීම හෝ සෘජුව අනුබල දීම යටතේ අයි.සී.සී. චෝදනා ඉදිරිපත්ව ඇත. ඒ අනුව තරග පාවාදීම හෝ තොරතුරු ලබාදීම හෝ තරග ඔට්ටු ඇල්ලීම වෙනුවෙන් වෙනත් පාර්ශ්වයක් සමඟ එකඟතාවක් ඇතිකරගැනීම, තරගයක ප්‍රතිඵලයට බලපෑම් කළ හැකි ආකාරයෙන් ජාත්‍යන්තර තරගයකදී කටයුතු කිරීම, සෘජු හෝ වක්‍රකාරයෙන් අනුබල දෙන ආකාරයෙන් කටයුතු කිරීම, තරග පාවාදීම් සහ ඔට්ටු ඇල්ලීම පිළිබඳ සිදුකරන පරීක්ෂණ සඳහා තොරතුරු ලබාදෙමින් සහය නොදැක්වීම ඇතුළු චෝදනා ඊට ඇතුළත්ය. දිල්හාර ලොකුහෙට්ටිගේට මීට පෙර 2017 වසරේ පැවැති පන්දුවාර 10 ලීග් තරගාවලියක් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ල විණි.

මාතෘකා