ශ්‍රී ලංකා එක්දින නායකත්වය චන්දිමාල්ට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා එක්දින නායකත්වය චන්දිමාල්ට

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත. මෙම පත් කිරීම සිදුකර ඇත්තේ එළඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙනි.

ඒ පසුගිය 23වැනිදා තම නායකත්වයෙන් ඉල්ලා අස්වූ හිටපු එක්දින සහ විස්සයි 20 නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවටය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයට මෙන්ම ටෙස්ට් කෝඩුකාරයින්වන ඇෆ්ගනිස්ථානය හමුවේද අන්ත පරාජයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගී වූ කාණ්ඩයෙන් අවසන් ස්ථානය ලබා තරගාවලිය අවසන් වීමට පෙරම ශ්‍රී ලංකාවට පැමිණි අතර 23වැනිදා එක්දින සහ විස්සයි 20 නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. ඉල්ලා අස්වීමට පෙර මැතිව්ස් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි සහ පුහුනුකරු චන්දික හතුරුසිංහ සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. මේ සම්බන්ධව 'රැස' තේරීම් කම්ටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි මහතාගෙන් කළ විමසීමකදි තේරීම් කමිටු සභාපතිවරයා ඒ් බව සනාථ කළේය.

මෙයට පෙරද ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වූ අතර එම අවස්ථාවේදීද එක්දින කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට පැවරිණි. නමුත් නැවත වතාවක් නායකත්වය මැතිව්ස්ට හිමිවූ අතර අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද එක්දින පරාජයට වඩා දරුණු පරාජයක් මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී වැළඳ ගැනීමට මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිලට සිදු විය.

අර්ජුන රණතුංග, සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධනට පසු එක්දින තරග සියයකට නායකත්වය දී ඇති එකම නායකයා වන මැතිව්ස් නායකත්වය ආරම්භ කරන විට ජයග්‍රාහී නායකයෙක් වූ අතර අවසන් කාලයේදී පරාජයන් රාශියක් තුරුළු කරගත් නායකයෙක් විය.

නායකත්වයෙන් ඉවත්වන විට මැතිව්ස් එක්දින තරග 104කට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දි ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද 49 බැගින් ලබා ගැනීමට සමත්ව ඇත.

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකයාවන අතර මෙයට පෙරද එක්දින කණ්ඩායමේ නායකත්වය දරා තිබුණි. දැන් නැවත වරක් එක්දින කණ්ඩායමේ නායකත්වය චන්දිමාල් කරා පැමිණ ඇත. චන්දිමාල් එක්දින තරග 7කට පමණක් නායකත්වය ලබාදී අති අතර ඉන් තරග 5ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්ව සිටී. තරග 2ක් පරාජය ලබා ඇත.

නිත්‍ය ටෙස්ට් නායකයා ලෙස චන්දිමාල් යම් ස්ථාවරත්වයක් ගොඩනාග ගනිමින් සිටින අතර එක්දින කණ්ඩායමේ නායකත්වයද ඔහුට හිමිවීම අවධානය යොමු කළ යුතු කරුණකි.

මේවන විට පිතිකරුෙවකු ෙලස එක්දින තරග 137ක ඉනිම් 126කදී ලකුණු 3433ක් රැස් කරගෙන ඇති චන්දිමාල් ශතක 4ක් ද ලබා ගැනීමට සමත්ව සිටී. එක්දින තරගවල චන්දිමාල්ගේ පිතිකරණ සාමාන්‍ය 32.69කි.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා