නවතම අයි. සී. සී. එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 8වැනි තැනට

 ඡායාරූපය:

නවතම අයි. සී. සී. එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 8වැනි තැනට

සැප්තැම්බර් 21වැනිදා නිකුත්වූ නවතම අයි. සී. සී. ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ශ්‍රේණිගත කිරීම්හි 8වැනි ස්ථානයට පත්ව සිටින අතර බංග්ලාදේශය 7වැනි ස්ථානයට පත්ව සිටී.

ලකුණු 77ක් ලබා ඇති ශ්‍රී ලංකාව ලකුණු 90 ක් ලබා 7වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශයට වඩා ලකුණු 13 ක් පසුප සින් සිටින අතර මේ වන විට එක්දින පිටියේ සුපිරි දක්ෂතා අතර සිටින ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 11 ක් පසුපසින් සිටින්නේ ලකුණු 66ක් ලබමින් 10වැනි ස්ථානය ලබා ගනිමිනි. ලකුණු 69ක් ලබමින් 9වැනි ස්ථානයට පත්ව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලයි.

දැනට වසර ගණනාවක සිටම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලංකාව මේවන විට මුහුණදී සිටින්නේ තමන් සිටින ස්ථානයෙන් තවදුරටත් පහළ වැටීමේ අවදානමකටය. විශේෂයෙන්ම මෙයට මාස කීපයකට පෙර 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට මුහුණ පෑමේ අවදානමකටද ශ්‍රී ලංකාව පත්ව සිටි අතර අවසානයේදී යන්තම් එම අවධානමෙන් මිදුණු ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාවට පහළින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට මුහුණදීමට සිදුවිය. එම අවස්ථාවේදී බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමින් ලෝක කුසලානය සඳහා තරගවැදීමේ අවස්ථාව උදාකර ගත්තේ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමයි. කණ්ඩායම් 10ක් තරගවදින බැවින්ද කොදෙව්වන්දටද තරගාවලියට එක්වීමට හැකි විය.

පසුගිය අගෝස්තු මාසයේ නිකුත්වූ විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයටද පහළින් පසුවන අතර එහිදී ශ්‍රී ලංකාව 9වැනි ස්ථානයට පත්ව ඇති අතර ඇෆ්ගනිස්ථානය 8වැනි ස්ථානයට පත්ව සිටී.

විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 88ක් ලබා සිටින අතර ඇෆ්ගනිස්ථානය ලකුණු 92ක් ලබා ශ්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් ඉහළින් පසුවේ. බංග්ලා දේශය ප්‍රසාද ලකුණු 77ක් ලබමින් මෙම ශ්‍රේණිගත කිරීම්හි 10වැනි ස්ථානයේ පසුවේ.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 127ක් ලබා ගනිමින් ඉදිරියෙන්ම පසුවන්නේ එංගලන්තයයි. ලකුණු 122ක් ලබමින් ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවේ.

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන්නේ ලකුණු 132ක් ලබා සිටින පාකිස්ථානයයි. ලකුණු 124ක් ලබා ගනිමින් ඉන්දියාව එහි දෙවැනි ස්ථානයේ පසුවේ.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි

පළමු රටවල් 10

ස්ථානය රට ලකුණු

1 එංගලන්තය 127

2 ඉන්දියාව 122

3 නවසීලන්තය 112

4 දකුණු අප්‍රිකාව 110

5 පාකිස්ථානය 103

6 ඔස්ට්‍රේලියාව 100

7 බංග්ලාදේශය 90

8 ශ්‍රී ලංකාව 77

9 බටහිර ඉන්දීය කොදෙව් 69

10 ඇෆ්ගනිස්ථානය 66

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි