ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්

 ඡායාරූපය:

ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්

තරග පහකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 13ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය.

කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා පිල කඩුලු අටක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේ රැස්කළේ ලකුණු 168ක් පමණි. ඉන්දීය පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ටානියා භාතියා ලකුණු 46ක් රැස්කළ අතර ජෙමිමා රොඩ්රිගස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 36ක් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් උදේශිකා ප්‍ර බෝධනී ලකුණු 18ක් ලබාදෙමින් කඩුලු දෙකක් දවාලීය.

මේ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.3ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 155ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ඒෂානි ලොකුසූරියගේයි. ඇය ලකුණු 45ක් රැස්කළ අතර ආරම්භක පිතිකාරිණී යශෝධා මෙන්ඩිස් පන්දු 12ක් තුළ වේගවත් ලකුණු 32ක් රැස්කිරීමට සමත්විය. නායිකා චමරි අතපත්තු ලකුණු 22ක් රැස්කිරීමට සමත්වූවාය. පූනම් යාදෙව් ලකුණු 26ක් තුළ කඩුලු 4ක් දවාලීය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට (21) කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ලකුණු සාරාංශය

ඉන්දියාව 168/8 (ටානියා භාතියා 46, ජෙමීමා රොඩ්‍රිගස් 36,

උදේශිකා ප්‍ර බෝධනී 2/18)

ශ්‍රී ලංකාව (පන්දුවාර 19.3ක් තුළ සියලු දෙනා දැවී) 155

( ඒෂානි ලොකුසූරිය 45, යශෝධා මෙන්ඩිස් 32, පූනම් යාදෙව් 4/26)

මාතෘකා