ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූරතාව 19 වැනිදා : මෙවරත් රිට්ස්බරි අනුග්‍රාහකත්වයට එක්වෙයි

 ඡායාරූපය:

ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූරතාව 19 වැනිදා : මෙවරත් රිට්ස්බරි අනුග්‍රාහකත්වයට එක්වෙයි

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර පැවැත්වෙන තරගාවලිය සඳහාද අනුග්‍රාහකත්වය දැක්වීමට රිට්ස්බරි සමාගම ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මෙම තරගාවලිය සඳහා එම සමාගම අඛණ්ඩව අනුග්‍රාහකත්වය දක්වන 8 වැනි වතාව මෙයයි.

වයස අවුරුදු 16, 18 සහ 20න් පහළ දක්වා වයස් කාණ්ඩ තුනක් යටතේ මෙම තරගාවලිය සංවිධානය කරන අතර එය පැවැත්වෙන්නේ 89 වැනි වතාවටය.

මේ අතර මෙම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තරගාවලිය වෙනමම තරගාවලියක් වශයෙන් වයස් කාණ්ඩ 4ක් යටතේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අදියර තුනක් යටතේ පළාත් මට්ටමින් පැවැති තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා සහභාගිවනු ඇත. තරගාවලිය ඔක්තෝබර් මස 17 වැනිදා සිට 19 වැනිදා පැවැත්වීමට නියමිතයි. කනිෂ්ඨ තරගාවලිය පැවැත්වෙන්නේ 49 වැනි වතාවටය.

අදාළ තරගාවලියට අනුග්‍රාහක චෙක්පත් ලබාදීමේ අවස්ථාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදුකෙරුණි.

එහිදී අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානයට හිමිකම් කියූයේ 2017 වර්ෂයේ පැවති ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු විසිනි. සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි අනුග්‍රහයෙන් මසකට රු.5000 බැගින් වන ශිෂ්‍යත්ව ප්‍රදානය ඩී. එම්. එච්. එස්. කරුණාරත්න (වලල ඒ. රත්නායක විදුහල), එච්. එම්. බිමාෂි අස්මිකා (කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය), එච්. එස්. සඳනි කවීෂා (දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය), ඩිලාන් මදුසංක බෝගොඩ (ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල), සඳමිනි බණ්ඩාර (කෑගල්ල සාන්ත ජෝසප් විද්‍යාලය) සහ ටී. එම්. එස්. ඩී. එස්. රත්නසිරි (මොරකැටිය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය) යන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට හිමිවිණි.

ඡායාරූපය [අසංක රංජිත්]

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා