තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක්

 ඡායාරූපය:

තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක්

ආසියානු ශූරතා දැල්පන්දු කිරුළ ජයගැනීමට විශිෂ්ට සේවයක් සිදුකළ ජාතික දැල්පන්දු පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවියගේ ධුර කාලය 2019 ඒ අනුව ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවයක් නිර්මාණයවී ඇත. ලබන වසරේ ජනවාරි 15 වැනිදායින් තිලකා ජිනදාස මෙනවියගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතය. ඇයට වසරක කාල සීමාවක් සඳහා මෙම ධුරය ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා මෙම වසර මුලදී සිය නිර්දේශය ලබාදී තිබිණි.

මේ අනුව මෙම වසරේ ජනවාරි 15 වැනිදා ඇරඹි ඇගේ ධුර කාලය අවසන් වීමට නියමිතය. එංගලන්තයේ ලිවර්පූල් නුවරදී ආරම්භවන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට පෙර ඇය සිය වාර්ෂික සේවා කාලය සම්පූර්ණ කිරීමත් සමඟ මෙලෙස පුහුණුකාරිත්වයෙන් ඉවත්වීමට නියමිිතය.

ආසියානු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය වෙනත් පුහුණුකාරිණියකට ලබාදීමද ගැටලුකාරී තත්ත්වයක් වනුයේ එය කණ්ඩායමේ ජයග්‍රාහී රිද්මයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති හෙයිනි. සාර්ථකත්වය උදාකරගත් පුුහණුකාරිණියකගේ ක්‍රමවේදයන්ට සපුරා වෙනස් ක්‍රම ශිල්ප අනුගමනය කරමින් ලෝක ශූරතා තරගාවලියට පිටත්ව යාමට සිදුවුවහොත් එය ආරම්භයේදීම කණ්ඩායම ලබාගන්නා පරාජයක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. මේ අනුව නව පුහුණුකාරිත්වය සඳහා තිලකා ජිනදාස මෙනෙවියගේ සේවා දිගුවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා හා දැල්පන්දු සම්මේලනය කටයුතු කළ යුතුව ඇතැයි ඔවුන්ගේ යෝජනාව වී තිබේ.

මේ අතර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම හඳුනාගැනීම වෙනුවෙන් පුහුණු සංචිතයක් කැඳවීමටත් එම සංචිතයට අවශ්‍ය පුහුණුව නිසි පරිදි ලබාදීමටත් අද හෙටම ආරම්භ කළ යුතුව ඇත. ඒ මන්දයත් ලෝක ශූරතා තරගාවලිය සඳහා වැඩිකාලයක් නොමැති හෙයිනි.

ආසියානු දැල්පන්දු කිරුළ දිනූ ශූරියන් පිළිගැනෙයි

මේ අතර ආසියානු දැල්පන්දු කිරුල දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමයම ඊයේ (11දා) ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගනු ලැබුණේය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමත්‍යංශය නියෝජනය කරමින් සෙසු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ. ඊයේ පෙරවරු 1.55ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 349 ගුවන් යානයෙන් ජයග්‍රාහී කණ්ඩායම දිවයිනට ළඟාවිය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා