ජයග්‍රහණයේ සැබෑ රහස විනයයි මලාවි සංචාරයත් පිටිවහලක් වුණා : ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස

 ඡායාරූපය:

ජයග්‍රහණයේ සැබෑ රහස විනයයි මලාවි සංචාරයත් පිටිවහලක් වුණා : ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස

ශ්‍රී ලංකාවට නව වසරකට පසු ආසියානු දැල්පන්දු කිරුළ හිමිවුණේය. අපරාජිතව, අභිමානනීයව දිනාගත් එම ජයග්‍රහණයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වීමේ අවස්ථාව ‘රැස‘ පුවත් පත නියෝජනය කරමින් අපටද හැකිවිය. එකී ජයග්‍රහණයේ උපරිම ගෞරවය තිලකා ජිනදාස මෙනෙවියට නිතැතින් හිමිවිය යුතුය. දී උපරිම වෘත්තීය භාවයක් පෙන්වූ පුහුණුකාරිණියක වූ ඇය සමඟ ආසියානු ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව රැස පැවැත්වූ සුහද සංවාදයකි.

වසර 09කට පසු යළි සිහිනයක් සැබෑ වුණා?

ඇත්ත. අපි ඒ ආසියානු සිහිනය වෙනුවෙන් අවුරුදු 09 ක් බලාගෙන හිටියා.

මෙය අවසන් වරට අපි දිනුවේ 2009 වසරේදීයි. ඒ වෙද්දීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණිය තිලකා ජිනදාස?

ඒකත් ඇත්ත. මට ඒ ගැන සතුටුයි. අනෙක් වසරවල අපි දිනපු නැති එක ගැන කනගාටුවෙන ගමන් මම මගේ සාර්ථකත්වය ගැන අහිංසකව සතුටුවෙනවා. කාලයක් බෘෘනායි වල ඉඳලා නැවතත් ලංකාවට ඇවිල්ලා මාස 07 ක් වගේ කාලයක් තුළ කණ්ඩායම ආසියාව ජයගන්න පුහුණුකරපු එක ගැන සතුටුයි.

ඇත්තටම මේ තරගාවලිය දිනන්න ඔබ සැලසුම් කළේ කොහොමද?

විශ්වාසය. ඒක තමයි මගේ පළමු පියවර. මට ආසියානු ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මගේ ක්‍රීඩිකාවන් මේක ශ්‍රී ලංකාවට දිනලා දේවි කියලා. ඒකට හේතුව තමයි ඔවුන් ප්‍රදර්ශනය කළ විනය. හොඳ ක්‍රීඩිකාවකට විනය හරිම වැදගත්.

මම ලංකාවට එනකොට ගොඩාක් අය කිව්වා ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් ඉන්නෙ, මෙයාලව හසුරුවන්න අමාරුයි, ප්‍රශ්න තියෙනවා කියලා. මම විශ්වාස කළා ළමයින්ව විනයක් ඇතුව අපි හැසිරෙව්වොත් අපිට හොඳ කන්ඩායමක් හදාගන්න පුලුවන් කියලා. ඒකෙ ප්‍රතිඵල තමයි අපි අද මේ නෙළාගෙන තිබෙන්නෙ.

ක්‍රීඩිකාවන්ගේ මනස හදන්නත් ඔබ කටයුතු කළා.

ක්‍රීඩිකාවන්ගේ යහපත් ශාරීරික යෝග්‍යතාවක් තිබුණා. එහෙම තිබුණොත් පමණයි අපිට මානසිකව ශක්තිමත් වෙන්න පුලුවන්. මම මෙතැනදි ස්තුතිවන්ත විය යුතුයි නාලක හේවාමද්දුම මහතාට. ඔහු තමයි ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අභිප්‍රේරන කටයුතු කළේ. ක්‍රීඩිකාවන්ගේ මනස හදන්න ඔහු බොහෝ දේ කළා.

සිංගප්පූරුව ඔවුන්ගේ රටේදීම පරාජය කිරීම ඔබ දකින්නේ කොහොමද?

තරගය ආරම්භ කිරීමට පෙර මටත් පොඩි චකිතයක් තිබුණා.අපි දන්නවා සිංගප්පූරුව කියන්නේ විශ්වාස කරන්න බැරි කණ්ඩායමක්. ඔවුන් කොයි මොහොතේ හෝ ඉතාමත් ඉක්මනින් දක්ෂතා අතරට එන කණ්ඩායමක්. ඔවුනුත් තරග දෙකක් දිනලා තමයි අවසන් මහා තරගයට ආවේ. ඔවුනට ප්‍රේක්ෂක සහයෝගය තිබුණත්, අපිටත් ලාංකික සහය හිමිවුණා.

ආසියාව දිනන්න ඔබ සෑහෙන කැපකිරීමක් කළා?

මම හැමදාම ක්‍රිඩිකාවක් විදිහට සහ පුහුණුකාරිනියක් විදිහට කරන දේ හරියට උපරිම කැපවීමෙන් කළා. මේක පම්පෝරියක් නෙවෙයි. ඒත් ඔබ අහපු නිසා මම කියන්නම්. මම හැමදේම සැලසුමක් ඇතිව කරන්න කැමති කෙනෙක්. මට මම ලංකාවේ නොසිටිය කාලෙදි අපේ ක්‍රීඩිකාවන්ගෙ දක්ෂතාව දැක්කා.

එ්ත් ඔවුනට මගපෙන්වීම සම්බන්ධයෙන් ගැටලු තිබුණා. ඔවුනගේ ශාරීරික යොග්‍යතාව කාර්තු හතරක් ක්‍රීඩා කරන්න තරම් ෆිට් නොමැති බවත් මම දැක්කා. මට ලැබුනේ කුසලතා සහිත ළමයි ටිකක්. ඒ අයගෙන් මට හදන්න තිබුණු වැරදි මම හැදුවා.

අද අපේ පුහුණුකාරිනියෝ ගොඩක් අය හිතනවා අව්වේ හිටියම, සල්ලි හම්බ කලාම, ගොඩාක් කණ්ඩායම් පුහුණු කළාම ඒක තමයි හොඳ පුහුණුකාරිණියක් වෙන්න තියෙන මග කියලා. ඒක වැරදියි. කළයුත්තේ දැනුම යාවත්කාලීන කර ගැනීමයි. අනික ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතාව නිසි විධිහට තේරුම් ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි.

ආසියානු තරගාවලියට පෙර ඔබ ඇතුළු කණ්ඩායම සිදුකළ මලාවි තරගාවලිය ගැනත් බොහෝ දෙනා දැක්වූවේ ඍණාත්මක ආකල්පයක්?

මලාවි කියන්නේ ලෝකේ 06 වැනි ස්ථානයේ ඉන්න කණ්ඩායම. අපි ඔවුන්ට පරාද වුණේ ලකුණු 10 කින් 15 කින්. ඒ තරගාවලියෙන් ලද අත්දැකීම තමයි අපිට මේ තරගාවලිය ජයගන්න ලොකුම පිටිවහලක් වුණේ. අපිව මලාවිවලදී බලාගත්තේ සියලුම පහසුකම් සැපයුවේ ඉරේශා හා තරංග කියන හිතවතුන් දෙදෙනායි.

ඔවුන්ව මේ අවස්තාවේ අනිවාර්යයෙන් මතක් කරනවා. ඒ වගේම මම විශේෂයෙන් දැල්පන්දු සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මියට ස්තුතිවන්ත වෙනවා. ඇය තමයි මාව ලංකාවට ගෙන්වන්න මැදිහත් වුණේ. මාව ගෙනාව කියලා ඇයට ගොඩාක් ප්‍රශ්න ඇති කළා. එසේම කණ්ඩායමේ කළමනාකාරිනී තනූජාටත් ස්තුතිවන්ත වෙනවා. ඇය තමයි මගේ පිටුපස හිටිය පතාක සෙවනැල්ල. එය මට ශක්තියක්.

[කසුන් ඉරුගල් බණ්ඩාර]

මාතෘකා