අපට වැරදුණු තැන් -4

 ඡායාරූපය:

අපට වැරදුණු තැන් -4

ආසියාතික තරග පරාජය

ආසියානු ක්‍රීඩා උළෙලේ පවතින ජාත්‍යන්තර වැදගත්කම ගැන වගකිවයුත්තන්ට නිසි අවබෝධයක් නොමැති බව පෙනේ.

ආසියානු ක්‍රීඩා උළෙල ඇරැඹීමට පසුතලය සැකසුණ් දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. මෙයින් පසු ආසියානු රටවල නියෝජිතයින් 1947 මාර්කු 23 දා නවදිල්ලියේ රැස්වී කළ සාකච්ජා, 1948 ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ වූ සාකච්ජාවකින් තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. 1949 ජනවාරි 29 දින නවදිල්ලියේ පැවති බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහි ආසියානු සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු මේ අදහස රාජ්‍ය මට්ටමින් ඉදිරිපත් කළේය. ඒ අනුව 1949 පෙබරවාරි 12 දා ආසියානු ක්‍රීඩා සමුළුව ඇරඹීමෙන් පසු ප්‍රථම ආසියාතික ක්‍රීඩා උළෙල 1951 දී නවදිල්ලියේ දී පවත්වන ලදී. ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආසියාවේ බලවතෙක් මෙන් වැජඹීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇති අභිප්‍රාය මෙයින් පැහැදිලි විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ ඉන්දීය ආධිපත්‍යය පැවතුනණ් ටික කලක් පමණි. ඉන්දියාව පරදවා දකුණු කොරියාව, චීනය, ජපානය ආදී රටවල් පෙරට එන්නට වූ විට ඉන්දියාව තක්කු මුක්කු විය. 1986 සෝල් ආසියාතික ක්‍රීඩා උළෙලින් ඉන්දියාව සහසුද්දෙන් පරාජයට පත් වන්නට වූ විට ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සෝල් නුවරට ගොස් සිටි ඉන්දියාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට පලු යන්නට සුද්ධ හින්දියෙන් බැණ වැදුණේය. 1982, 1986, 2010, 2018 වසරවල ශ්‍රී ලංකාව බඩවැල් එළියට එන මට්ටමේ පරාජයන් ලැබු විට මෙරට සිටි ජනපතිවරු හා අගමැතිවරු ත්‍රෛයිලෝක සමාපත්තියට වැඩ සිටියහ.

ඔලිම්පික් ඉතිහාසය දෙස බලන විට ජාත්‍යන්තර තරග රටක පැවැත්මට හිතකර වන අන්දම දැකිය හැකිය. ඔලිම්පික් තරගවලදී ඇමෙරිකානුවන් ලබන ජයග්‍රහණ දේශපාලන ජයග්‍රහණ වශයෙන් සලකන ලදී. ඇමෙරිකාවත් රුසියාවත් අතර ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තුෂ්ණි යුද්ධයක් ඇති වූයේ දේශපාලන අරමුණු ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් බැහැර කිරීමට තමන් අකමැති නිසා බවත්, ඔලිම්පික් කරඟය තුෂ්ණි යුද්ධයේ ජය පරාජය ලොවට පෙන්වූ ලකුණු පුවරුවක් වු බවත් ඩේවිඩ්. බී. කනින් සිය Sports in ternational ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභිකයකු වූ laxexehan 84 වන කොන්ග්‍රසයේ දෙවන සැසියේ දී මෙසේ පැවැසීය. 1956 ඔලිම්පික්වල දී රුසියානුවන් ජයගතහොත් එය ඇමෙරිකන් අධිරාජ්‍යයේ පරිහානියක් වනු ඇති බවත්, රෝම අධිරාජ්‍යයේ අන්තිම දවස්වල මෙන් තමන් පිරිහෙමින් සිටින බවත් පැවැසීය. 1960 ජනවාරි 17 ඇමෙරිකන් වීක්ලි පුවත්පත ඇමෙරිකානුවන් ඔලිම්පික් ජය ගත යුත්තේ ඇයි ? යන ලිපියක් පළ කළේය. එහි ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු වන ජෙරල්ඞ් ෆෝඞ් ‘ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ තුළින් ඇමෙරිකාවේ බලය පෙන්විය හැකි බවත්, ක්‍රීඩා පිටියත් යුද පිටියක් මෙන් බවත් ක්‍රීඩා ජයග්‍රහණ තුළින් ඇමෙරිකානුවන් විශිෂ්ට ජාතියක් යන හැඟීම ලොවට පෙන්විය හැකි බවත්‘ කියා සිටියේය.

මෙම නිදසුන්වලින් පෙනී යන්නේ ඔලිම්පික් තරග දිනීමට ඇමෙරිකානු කොන්ග්‍රස් සභිකයිනුත්, ජාතික පුුවත්පත් ඇතුළු විවිධ බලවේගයනුත් ඇමෙරිකන් රජයට බලපෑම් කළ අන්දමයි. මෙවැනි බලපෑම් මෙරට දේශපාලන කණ්ඩායම් හා පුවත්පත් ආසියානු ක්‍රීඩා සම්බන්ධයෙන් ගෙන ගිය බවට සාධක නැත. එහෙත් චීනය ඊට ඉඳුරාම වෙනස් මාර්ගයක ගොස් ජාත්‍යන්තරයේ ජයකෙහෙළි නැංවීය. XSports cqolitics+Idolgy fo LHina නම් ග්‍රන්ථය ලියු konathan Kolatch චීන ක්‍රීඩා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය. ‘චීනයේ අග්‍රාමාත්‍යව සිටි මා ඕ සේතුං ක්‍රීඩාවේ මුඛ්‍ය පරමාර්ථයට රටේ විදේශ ප්‍රතිපත්තිය ඈඳා ගනිමින් ‘මිත්‍රත්වය පළමුව-තරගය දෙවනුව‘ යන්න ප්‍රකාශ කළේය. චීන දෘෂ්ටියට අනුව ක්‍රීඩාව හඳුන්වා දුන්නේ ‘ විවිධ සංස්කෘතීන්ට හා දේශයන්ට අයත් පුද්ගලයන් එකට සම්මිශ්‍රණය කිරීමට ඇති විශ්වයේ පොදු භාෂාව හැටියටය.

ඉන්දියාව දිගින් දිගටම ආසියානු තරගවලින් පරාජය වන්නට වූ විට ආසියාවේ බලවතෙක් මෙන් වැජඹීම සිහිනයක් බවත්, භුමි ප්‍රමාණයෙන් විශාල වූවත් බලයෙන් තොර වූ රාජ්‍යයක් බවට පත්වීමට ඉඩ ඇති බවත් තේරුම් ගැනීමේ ප්‍රතිඵලය වුයේ 1986 දී ඉන්දීය ජාතික ක්‍රීඩා සැලසුම් සංශෝධනය වීමය.

එහෙත් ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධ කිසිම දෙයක් සිදු නොවීය. අවම වශයෙන් ආසියානු පරාජය පිළීබඳ කොමිසම් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටවත් උනන්දුවක් නොදැක්වීය. සෙසු ආසියානු රටවල් ලංකාවේ ඔළුවටම අත හෝදන තත්ත්වයකට පත් වූයේ මේ නිසාය. මේ ක්‍රීඩා ජරාජයට වගකිවයුත්තන් තමන්ගේ ඔළුවලට අත හෝදා ඇති බව තවමත් දන්නේ නැත.

මට්ටකෙළිය නමින් ජන ක්‍රීඩාවක් ලංකාවේ අතීතයේ පැවතී ඇත. මෙම ක්‍රීඩාවේ විශේෂත්වය වන්නේ ජයග්‍රාහකයින් විසින් පරාජිතයින් එක පේළියට දණ ගස්වා ඔවුන්ට විවිධ අපහාස කරමින් පොල්ලකින් ඔළුවට ගැසීමය. ‘මූට නමක් කියන් මලේ-බඩ ගෙඩියයි කියන් මලේ ආදී වශයෙන් ගායනා කරමින් සෑම ක්‍රීඩකයෙකුටම පොලූ පහර දීමය. උරුලෑවයි කියන් මලේ, කළ වැද්දයි කියන් මලේ, කොට බමුණයි කියන් මලේ, ආදී වශයෙන් සෑම ක්‍රීඩකයෙකුටම පොලු සාත්තුව ලබා දීම මෙහි විශේෂත්වය වෙයි.

ආසියානු තරග ඇතුළු ජාත්‍යන්තර තරග පරාජය වී හිස් අතින් ලංකාවට එන ජාතික ක්‍රීඩා කණ්ඩායම් හා ඔවුන්ගේ ප්‍රධානීන් කටුනායක ගුවන් තොටුපළේ දණගස්වා මේ අයුරු සාත්තු සප්පායම් කළ යුතුය, මෙම නින්දා සහගත පරාජයටන්ට වගකිවයුතු ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික තේරීම් කමිටුව ආදී සියලූම ආයතනවලටත් මේ පොලූ සාත්තුව වලංගු විය යුතුය.

හෙට.. අප ලත් ආසියානු ජයග්‍රහන

[ලලිත් ගුණවර්ධන]

හිටපු ලේකම්, ජාතික ක්‍රීඩා සභාව

මාතෘකා