ශ්‍රී ලංකාවේ රොනාල්ඩීනියෝ නිරාන් කණිෂ්ක

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ රොනාල්ඩීනියෝ නිරාන් කණිෂ්ක

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවෙන් දස්කම් දක්වන ක්‍රීඩකයින් බොහොමයක් සිටියත් පාපන්දුව සුරතලෙක් සේ හීලෑ කරගනිමින් පාපන්දුවෙන් දස්කම් දක්වන ක්‍රීඩකයින් විරලය. එයිනුත් පාපන්දුව තම ශරීරාංගයක් ලෙස තබා ගනිමින් දස්කම් දක්වන්නන් ඇත්තේම නැති තරම්ය. එවැනි වාතාවරණයක් තුල පාපන්දුව හීලෑ කරගත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෙක් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණ‍යේදී හමු විය. මේ පාපන්දුවෙන් ෆ්‍රී ස්ටයිල් (නිදහසේ) දස්කම් දක්වන ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩකයා ලෙස සැලකෙන නිරාන් කණිෂ්ක සමග කළ සංවාදයයි.

නම? හේවා විතාරණගේ නිරාන් කණිෂ්ක

වයස? අවුරදු 28

පාසල? කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සහ සපුගස්කන්ද මහා විද්‍යාලය,

පදිංචිය? මාකොළ, කිරිබත්ගොඩ

ක්‍රීඩා සමාජය? කොළොම්බො එෆ්. සී.

මුලින්ම පාපන්දුවලට යොමු වුණේ?

පාසලින් තමයි. එතකොට මට වයස අවුරුදු 14ක් වගේ ඇති. පාසල් පාපන්දු කණ්ඩායමට මම ක්‍රීඩා කළා.

ඇයි පාපන්දුවලට යොමු වුණේ?

රොනාල්ඩීනිෙයා් නිසා

ඒ කිව්වේ?

බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩීනියෝ නිසා. එයාගේ පාපන්දු රටාවට මම හරිම කැමතියි.

කැමතිම පාපන්දු ක්‍රීඩකයා?

මම පොඩි කාලේ ඉඳලම කැමති රොනාල්ඩීනියෝට තමයි

ඇයි ඒ?

එයා පාපන්දු ක්‍රීඩා කළා විතරක් නෙවෙයි. පාපන්දුවෙල් ගෝල් ලබාගෙන එයා ක්‍රීඩා කරන කණ්ඩායමට හරි රටට හරි ජයග්‍රහණය ගෙන ඒමට අමතරව පාපන්දුවෙන් එයා ගොඩක් දේවල් කළා. රොනාල්ඩීනියෝ ක්‍රීඩා කළ කණ්ඩායම පරාජයවූ තරග පවා ප්‍රේක්ෂකයින්ට හොඳට මතක හිටිනවා. මොකද එයා පාපන්දුවෙන් පෙන්වන දස්කම් ඒ තරම්ම සුන්දරයි. එයාගේ ළඟට පන්දුව ගියහම අනෙක් ක්‍රීඩකයින්ට හිතා ගන්න බැහැ. ඊළඟට රොනාල්ඩීනියෝ මොනව කරයිද කියලා. මොනවා කළත් හැම කෙනෙක්ටම අලුතින් දෙයක් ඉගෙන ගන්න පුලුවන්.

එයා පන්දුව හීලෑකරගෙන හිටියේ පන්දුව එයාගේ ඇඟේම කොටසක් වගෙයි. කාටවත් ලේසියන් රොනාල්ඩීනෝගෙන් පන්දුව ගන්න බැහැ. රොනාල්ඩීනියෝ කියන්නේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩාවේ මකන්න බැරි තරුවක්.

මොකක්ද රොනාල්ඩීනෝගේ ඔයතරම්ම තියෙන විශේෂත්වය?

මෑත කාලයේදී පාපන්දු පිටියට ෆ්‍රී ස්ටයිල් කියන අංගය හඳුන්වා දුන්නේ රොනාල්ඩීනෝයි. එයා බය නැතුව එයාගේ අත් දෙක හැරෙන්න මුළු ශරීරයෙන්ම පන්දුව පාලනය කරන්න ගත්තා. වෙන ක්‍රීඩකයො තරගයක් අතර පන්දුව එහා මෙහා කරන්නේ අවශ්‍යම දේ කරන්න ඒ කියන්නේ ගොල් ගන්න සහ වලක්වන්න.රොනාල්ඩීනෝ තරගයක් අතරතුරත් සමහර විට පන්දුව බිමට ගේන්නෙම නැතුව සෑහෙන වෙලාවක් ගුවනේ තියාගන්නවා. ඒ අතර පන්දුව රැගෙන ඉදිරියටත් යනවා.

ඊට පස්සේ පාපන්දු පුහුණුවුණේ මුලින්ම කාගෙන්ද?

සුනිල් මාස්ටර්, එයා තමයි මගේ පළමු පුහුණුකරු. මට හැම දෙයක්ම කියලා දුන්නා විතරක් නෙමෙයි. මාව ගොඩනගන්නත් මහන්සි වුණා. ඊළඟට සුමිත් මාස්ටර් මාව සොන්ඩර්ස් ඇකඩමි එකේදී පුහුණු කළා. එතකොට මට වයස අවුරුදු 16යි.

පාපන්දු ක්‍රීඩාවට එන්න උදවු කළේ කවුද?

නැන්දා (තාත්තගේ අක්කා)

මුලින්ම ක්‍රීඩාකළ පාපන්දු සමාජය?

2009 සිට කොළොම්බො එෆ්. සී. කණ්ඩයෙමට ක්‍රිඩා කරනවා. මට වයස අවුරුදු 19 ඉඳලම

දැන් පුහුණුකරු කවුද?

රවුමි මොහිදීන්

ශ්‍රී ලංකාවේ කැමතිම ක්‍රීඩකයා?

මොහොමඩ් රූමි

අමතක නොවන තරග?

2017 පාපන්දු ලීග් තරගාවලියේදී අවසන් තරගය අපිට මුහුණ දෙන්න තිබුණේ රිනවුන් කණ්ඩායමට. ඒ තරගය අපි ගෝල් 2-0ක් ලෙස හෝ ඊට වඩා ගොල් පරතරයකින් දිනන්න ඕන ලීග් ශූරයො වෙන්න නම්. ඒක ලොකු අභියෝගයක් වුණා මොකද රිනවුන් කියන්නෙත් ඉතා දක්ෂ කණ්ඩායමක්. අපිට 2-0ට දිනන්න බැරිවුණොත් ශූරයො වෙන්නෙත් රිනවුන්. ඒ නිසා එයාලත් තරගයට ආවේ පරාජය වෙන්න නෙවෙයි. ඒ වුනත් කොහොම හරි අපි හොඳ තරගයක් දීල ගොල් 2-0ට තරගය දිනල පසුගිය වසරේ ශ්‍රී ලංකා පාපන්දු ලීග් ශූරයෝ වුණා.

ඒ වගේම 2016 ලීග් තරගාවලියේදීත් අපිට අවසන් තරගය ගොල් 2-0ට ජයගත යුතුව තිබුණා. එවර අපේ ප්‍රතිවාදීන් වුණේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි. ඒ අවස්ථාවෙත් අපි ගෝල් 2-0ක් වශයෙන් තරගය දිනල ලීග් ශූරයෝ වුණා.

ෆ්‍රී ස්ටයිල් කරල මොනවද ලැබුණේ?

ලැබෙන දේ නෙමෙයි ඒක හරිම තෘප්තිමත්, පුදුම නිදහසක් දැනෙනවා ඒ වෙලාවට. පුරුදුවෙනකොට අමාරු වුනත් දැන් පාපන්දුවත් එක්ක කරන හැම දෙයක්ම ජීවිතේ තමයි.

මම ඇහුවේ මුල්‍යමය පැත්තෙන්?

අර්බන් ලෙජන්ඩ් තරගාවලියේන දිවයිනේම පළමුවැනියා වුණා ශිෂ්‍යත්වයක් ලැබුණා. ටැලන්ට් ෂෝ එකකින් ජයග්‍රහණය කරල රුපියල් ලක්ෂ දෙකක තෑග්ගක් ලැබුණා.

දැන් කරන රැකියාව?

එක්ස්පෝ ලංකා, ජේ්‍යෂ්ධ විධායක

ඉදිරි බලාපොරොත්තු?

මම දැන් කරන රැකියාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

පාපන්දුවලින් මොනවද කරන්නේ?

තව ටිකකාලයක් මේ වගේ පාපන්දුවල ෆ්‍රී ස්ටයිල් කරනවා. අනාගතයේදී පුහුණුකරුවෙක් වීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා.

මාතෘකා