ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමකට රුපියල් කෝටි පහත් මදි වෙයි

 ඡායාරූපය:

ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමකට රුපියල් කෝටි පහත් මදි වෙයි

දහඅටවැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා අවසන් පදක්කම් බලාපොරොත්තුවත් පෙරේදා බිඳ වැටුණේ රග්බි ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 36-14කින් පරාජයට පත්වීමෙනි. ඒ සමග රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ සිවුවැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉන්චියොංහි පැවැති 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදීත් සිවුවැනි ස්ථානයට පත්ව තිබිණි. මේ ඉසව්වේ රන් පදක්කම ජපානය ලකුණු 14-00කින් පරාජය කරමින් හොංකොං පිළ දිනා ගත්තේය.

ශ්‍රී ලංකා පිළ අවසන් පූර්ව වටයේදී ජපානය හමුවේ ලකුණු 12-10ක් ලෙස පරාජයට පත්වීමෙන් ලෝකඩ පදක්කම සඳහා වන තරගයට එක්විය.

ඒ සමගින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සහභාගිවූ සියලු තරග නිමාවට පත්වූ අතර කිසිදු පදක්කමක් දිනා ගැනීමට අසමත් වීම කැපී පෙණේ.

මෙවර ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉසව් 28ක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ. පිහිනුම් සහ මලල ක්‍රීඩා ඉසව්වලින් යම් ප්‍රමාණයක දස්කම් ඉස්මතු වූ අතර අදාළ බලධාරීන් පැවැසූවේ පදක්කම් දිනා ගැනීමට නොහැකි වුවත් මේ ක්‍රීඩා උළෙලින් ලබාගත් අත්දැකීම් අනාගතයට ඉතා ප්‍රයෝජනවත් බවයි.

රග්බි තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී කියා සිටියේ තරගාවලිය නිමා කිරීම ගැන කනගාටුවට පත්වන බවත්, ජපානය සමග පැවැති තරගය අවසන් මොහොතේ ගිලිහියාම පදක්කමකට යෑමේ අවස්ථාව අහිමිකළ බවයි.

‘අපි ඉවර කරපු විදිහ ගැන ඇත්තටම කනගාටුයි. මේ තරගාවලියේ හොඳම තරග තමයි අපි ජපානෙත් එක්ක ක්‍රීඩාකළ මැච් එක. අන්තිම මොහොතේ දිනන්න තිබුණු මැච් එකක් තමයි අපි අතින් අත්හැරුණේ. අපි එනකොට ආවේ ලෝකඩ පදක්කම අපේ කියලා. ඒත් අපි සෙල්ලම් කරද්දී හිතුණේ රිදී පදක්කම තමයි අපට තියෙන්නේ කියලා. රන් පදක්කම ප්‍රසාද දීමනාවක් කියලා අපි හිතුවා. ඒත් ජපානයට පැරදුණාට පස්සේ කොරියා මැච් එකට අපි ඔලුවෙන් සුදානම් වෙලා ආවේ නැහැ’

මුතුතන්ත්‍රී පැවැසීය.

මේ තරගාවලිය පරාජය වුවත් නොවැටී යළිත් ඉදිරියට යායුතු බව ද ඔහු පැවැසීය.

‘අනාගත බලාපොරොත්තුව අපිට ආසියානු ශූරතාව තියෙනවා. ඔලුව පල්ලෙහා දාන්න බැහැ. ඇත්තටම කනගාටුයි. අපිට ඊළග තරගාවලිය ගැන හිතන්නවත් බැහැ, ඒත් අපි අනිවාර්යයෙන් ඉස්සරට යන්න ඕන’

මේ අතර ශ්‍රී ලංකාව පිරිමි වොලිබෝල් පිළ සහභාගිවූ 13 සහ 14 වැනි අතර ස්ථාන තේරීම සඳහා වූ තරගයෙන් වියට්නාමය පරදවා වට 3-0ක ජයක් අත්කර ගත්තේය. පළමු වටය ලකුණු 25-21ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි වටය 25-21ක් සහ තෙවැනි වටය 25-20ක් ලෙස නිමා කළහ.

සමාප්ති උළෙල

ඊයේ විචිත්‍රවත් සමාප්ති උළෙලකින් අනතුරුව දහ අටවැනි ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්වූ අතර ඊට පෙර ඉන්දුනීසියාව විසින් ආසියානු ඔලිම්පික් ධජය 2022 ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන චීනයේ හැන්ග්ෂු නගරය වෙත පිරිනැමුණි.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තා 5ක් බිහිවිණි. ඒ අතර එක් වාර්තාවක් සම විය. දකුණු කොරියාව (දුනු විදීම) වාර්තා 2ක්, චීනය (පිහිනුම්), ඉරානය (බර ඉසිලීම) සහ චීන තායිපේ (වෙඩි තැබීම) නව වාර්තා බිහිකළ අතර චීන තායිපේ ක්‍රීඩකයෝ (වෙඩි තැබීම) එක් වාර්තාවක් සම කළහ.

මෙහිදී ආසියානු වාර්තා 12 ක්, ආසියානු ක්‍රීඩා උළෙල වාර්තා 87ක් බිහි විය.

මෙවර තරගාවලියේදී චීනය අඛණ්ඩව 10 වැනි වරටත් ශූරයන් වූයේ පදක්කම් 289ක් දිනා ගනිමිනි. ඊට රන් පදක්කම් 132ක්, රිදී පදක්කම් 92ක් සහ ලෝකඩ පදක්කම් 65ක් ඇතුළත් විය.

පදක්කම් 205ක් (රන් 75, රිදී 56, ලෝකඩ 74) ලබාගත් ජපානය දෙවැනි ස්ථානයට පත්වූ අතර කොරියානු ජනරජය (පදක්කම් 177 = රන් 49, රිදී 58, ලෝකඩ 70) තෙවැනි ස්ථානයටත් සත්කාරක ඉන්දුනීසියාව සිවුවැනි ස්ථානයටත් පත්විය. ඉන්දියාව පදක්කම් 69ක් සමගින් පත්වුණේ තරගාවලියේ 8 වැනි ස්ථානයටයි.

රටවල් 44ක් එක්වූ තරගාවලියේදී ශ්‍රී ලංකාව සමගින් රටවල් 7කට කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව - කොරියාව ලෝකඩ පදක්කම් සටනේ... ඡායා [තුසිත් විජේදෝරු] ජාතික ඔලිම්පික් කමිටුව

[නිරෝෂාන් ප්‍රියංකර]
ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට...

මාතෘකා