ලෝක කුසලානයට යන්න පාර කපන්න වෙහෙසෙන මහානාම

 ඡායාරූපය:

ලෝක කුසලානයට යන්න පාර කපන්න වෙහෙසෙන මහානාම

සාකච්ඡාවලට අකමැතියි - රහසේ ක්‍රිකට් වෙනුවෙන් වැඩකරයි - පෞද්ගලික ධනයෙන් සමාජ ව්‍යාපෘති

හැටේ දශකයේ අග භාගයේදී රත්මලාන තිබුණේ නිස්කලංක ගම්මානයක ස්වරූපයෙනි. ජනාකීර්ණ භාවය බොහෝ දුරට අඩු රත්මලානේ කොලු ගැටව් තම විවේක කාලය යොදාගත්තේ වීථියේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමටය. වීථි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගම්‍ය වන්නේ මේ කියන සමයේදී වුවද එතරම් ලොකු නිස්කලංක බවක් රත්මලාන ප්‍රදේශයේ දකින්නට නොලැබුණු බව යැයි කියන්නට පුළුවන. එහෙත් දැනට සාපේක්ෂව සලකන කල්හි නම් අල්පෙනෙත්තක් බිම වැටෙන ශබ්දය අසන්නට තරම් සන්සුන් බවක් එකල රත්මලාන ප්‍රදේශය සතුව තිබුණේය.

එකල එම ප්‍රදේශයේ නිරන්තරයෙන් වීථි ක්‍රිකට් ක්‍රීඩා කළ නම් අතර දේවක අමතක කරන්නට බැරිය. දේවක පමණක් නොව දේවකගේ සොහොයුරා වන රොෂාන්ද අසල්වැසි ගැටවුද ඒ වීථි ක්‍රිකට් සටනේ ඉදිරියෙන්ම සිටියහ. බොහෝ විට මෙම වීථි ක්‍රිකට් ගැටුම් කෙළවර වන්නේ අසල්වැසි නිවසක වීදුරු ජනේලයක් බිඳ දමමින් පන්දු පහරක් එල්ල වීමෙනි. එහෙත් එම සිදුවීම් කිසිවිටකත් ඔවුනගේ වීථි ක්‍රිකට් සැණකෙළිය නවත්වන්නට සමත් වූයේ නැත. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ සහායට ආ එකම වැඩිහිටියා වූයේ දේවකගේ හා රොෂාන්ගේ පියාවන උපාලි මහතාය. ඔහු මැදහත්කරුවා නැතහොත් සිද්ධියේ බේරුම්කරුවාම විය. එයට එක් හේතුවක් වූයේ උපාලි මහතාට සමාජමය වශයෙන් තිබූ පිළිගැනීමය. තවත් ආකාරයකින් පවසන්නේ නම් ඔහුද ක්‍රිකට් ක්‍රීඩාවට අසීමිතව ආදරය කරන්නකු වූ හෙයින් මෙවැනි වීථි ක්‍රිකට් සැණකෙළි පිළිකෙව් කරන්නට ඔහුට ඉඩ අවකාශ සලසා නොතිබුණේය. කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් තරුණ කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කර තිබූ හෙයින් ඔහුට මෙම සිදුවීම් සුන්දර ක්‍රිකට් ආදරයේ තවත් එක් පෙළහරක් පමණක් විය. උපාලි මහතා සිය පුතුන් දෙදෙනා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කළේ පිය උරුමය මෙන්ම ක්‍රිකට් උරුමයද තම දරුවන්ට ලබාදීමේ අරමුණින් යුතුවය.

ඒ අනුව දේවක හා රොෂාන් නාලන්දා විදුහලට ක්‍රිකට් ක්‍රීඩා කළහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තම බාල පුත්‍රයා නාලන්දා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය චරිතයක් බවට පත්වීමත් එයින් ඉක්බිතිව ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළට ඇතුළුවීමට සමත් වීමත්ය. එයින් නොනැවතුණු ඔහු ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය ශ්‍රී ලාංකිකයකු ලෙස සටහන් තැබීමටද සමත් වූයේ වීථි ක්‍රිකට් ක්‍රීඩාව නිසායැයි අප නොකීවද එයද යම් තරමකට පන්නරයක් වන්නට ඇතැයි සිතිය හැකි බැවිනි. ඔහු නමින් රොෂාන් මහානාමය. පසුකලෙක ‘රිටයර්ඩ් හර්ට්’යනුවෙන් කෘතියක් ලියා වේදනාවෙන් යුතුව සමුගත් අපූරු ක්‍රිකට් ක්‍රීඩකයා රොෂාන් මහානාමය. රටේ ගෞරවය ඉහළ නංවමින් අන්තර් ජාතික ක්‍රිකට් සමුළුවේ තීරකයකු වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව දිනාගත් දෙවැනියා වූයේ ඒ රොෂාන් මහානාමය. දීර්ඝ කාලයක් තීරකයකු වශයෙන් කටයුතු කර තමන්ගේ වගකීම් මනා ලෙස ඉටුකරමින් ගෞරවණීයව වෘත්තීය කටයුතුවල නිරත වූ මහත්මයින් අතර ඉහළින්ම මහා නාමයක් වූයේ ද රොෂාන් මහානාමය.

රත්මලානේ වීථි ක්‍රිකට් සැණකෙළිය පැවැත්වෙද්දී කිසිදා කිසිවකු නොපැතූ, නොසිතූ ඉලක්කයක් සාධනය කරගනිමින් ජාත්‍යන්තරයට ගිය මේ අපූරු මිනිසා අද වනවිට අන්තර් ජාතික ක්‍රිකට් සමුළුවේ රැකියාවටද සමුදී සිටී. ඔහුට ඇතැයි සිතූ හෙයින් එයින්ද ඉවත්ව යළි මවුබිමට පැමිණ සුපුරුදු නිහඬත්වයෙන් යුතුව කටයුතු කරමින් ඇත. මේ නිහඬ මිනිසා හඬ නඟන බොහෝ මිනිසුනට වඩා අපූරුවන්නේ ඔහු සමාජය වෙනුවෙන් බොහෝ යුතුකම් ඉටුකරන නමුත් ඒ වෙනුවෙන් පෙරළා කිසිවක් අපේක්ෂා නොකරන්නකු වන හෙයිනි. අප මෙතරම් මොහු ගැන වර්ණනාත්මකව කතාකරන්නේ ඇයිදැයි ඔබට සිතෙන්නට පිළිවන. මදක් අතීතයට ගොස් ඔහුගේ ක්‍රිකට් ජීවිතය ගැන නිරීක්ෂණය කරන්නැයි අපි ඔබට කියමු. එය ඔබ තුළ නැෙඟන ප්‍රශ්න වැලට කදිම පිළිතුරකි. රොෂාන් මහානාම යනු නිහඬ සටන් කාමියෙකි. අසාධාරණය ඉදිරියේ මුණිවත නොරකින, එහෙත් ප්‍රසිද්ධියේ වාග් හරඹවලට ගොස් පෞද්ගලික වශයෙන් මඩ ගැසීමට අකමැති පුද්ගලයෙකි.

අප මෙසේ කියන්නේ ඇයි?

පසුගිය දිනෙක ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුමක් දෙමින් අපි ඔහු සම්බන්ධ කරගැනීමට උත්සහ කළෙමු. එහෙත් එය ව්‍යර්ථ වූ හෙයින් අප කළේ කෙටි පණිවුඩයක් මාර්ගයෙන් ඔහු හා සම්බන්ධවීමට අවශ්‍ය බව දැනුම් දීමය. පසුගිය ඉරිදා පස්වරුවේ තැබූ පණිවුඩයට ඔහු සඳුදා උදෑසනම ඇමැතුමත් ලබාදුන්නේය. පෞද්ගලික හිතමිත්‍රකම් නොසලකා සාධාරණය වෙනුවෙන් අදහස් දක්වන රොෂාන් ‘රැස’ අභිමතාර්ථය පිළිබඳව දැක්වූයේ වෙනස්ම අදහසකි. ‘තරහ වෙන්න එපා. මගේ සාකච්ඡාවක් ‘රැසට’දුන්නොත් එ්ක ප්‍රශ්නයක්. මොකද මම තවත් මාධ්‍ය ආයතන ගණනාවක සාකච්ඡා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මගෙත් එක්ක මාධ්‍ය මිතුරුයි. ඔවුන් මගේ පෞද්ගලිකත්වය වගේම මගේ තීරණයත් තේරුම් ගත්තා. මම කැමති නෑ කිසිවක් කතාකරන්න. කතා නොකළත් මේ අර්බුද විසඳාගන්න වැඩකරන්න හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසරය උදාවුණොත් ඕනෑම සහයෝගයක් දක්වන්න මම කැමතියි. ඒ නිසා මේ සාකච්ඡාවෙන් මාව නිදහස් කරන්න’ යැයි ඉල්ලීමක් කළේය. ඔහුගේ ඉල්ලීමේ සාධාරණ පාර්ශ්වයක් ඇති බව හැඟුණෙන් අප ඒ සමඟ එකඟ වූයේ එයට එකඟවීම හෝ නොවීම ඔහුගේ අයිතිවාසිකමක් බව අප පිළිගත් හෙයිනි.

මහානාමට නිහඬව සිටිය හැකිද?

1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වශයෙන් රොෂාන් මහානාම හට නිහඬව සිටින්න හැකියාවක් ඇත්දැයි අපි මේ අතර කල්පනා කළෙමු. එහෙත් ඔහු මාධ්‍යට නිහඬ වූවාට සැබෑ ජීවිතයේ නිහඬ නැත. රත්මලානේ වීථි ක්‍රිකට් සැණකෙළි පවත්වමින් ජාතික තලයටම පිවිසියාසේම ඔහු නිහඬව ස්වකීය සමාජ යුතුකම ඉටුකරමින් සිටී. ‘වහින්නට හැකිනම් ගිගුම් දී ’ යනුවෙන් කියැවෙන නන්දා මාලනියගේ ගීතය මෙන්ම ඔහුද පිළිසරණ අවැසි, සහයෝගය අවශ්‍ය ස්ථානයන් වෙත ගොස් ස්වකීය ධන පරිත්‍යාගයෙන් නොපිරිහෙලා යුතුකම් ඉටු කරමින් සිටී. එහෙත් ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායම ගොඩනැංවීමට පෙරමුණට නොඑන්නේ මන්දැයි යමකු තුළ ප්‍රශ්නයක් මතුවන්නට පිළිවන. ඔහු එසේ සැඟවී හෝ පසුබැස නැතිබව පමණක් මෙහිදී පැවසිය යුතුමය. රොෂාන් මහානාම හැකි ඕනෑම අවස්ථාවක මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකිරීමට, කාලය කැපකිරීමට සූදානමින් සිටී. අප සමඟ දුරකථනයෙන් සිදුකර ඇති නිල නොලත් සාකච්ඡාවලදී ඔහු මේ බව පවසාද තිබේ. ඒ වෙනුවෙන් ඔහු සෙසු සුදීජනතාව සමඟ සූදානමින් සිටින බවද පැවසිය හැකිය. එහෙයින් මහානාම හේෂාවර නොනැඟුවද ඔහු ධාවනයට සූදානම්ය.

සිංහ ධජය ඉහළට ඔසවන්නට සිය ජීවිතයේ තවත් බොහෝ කාලයක් මිඩංගු කරන්නට කැමතිය. ලාභ අපේක්ෂාවෙන් තොරව තමන් ජාත්‍යන්තරයට ගිය ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යන්නට පන්නරය දෙන්නට ඔහු සූදානම්ය. ස්වකීය තීක්ෂණ ඥානය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන්නට එකඟය. හැංගි හොරා නොමැතිව ප්‍රසිද්ධියේ සාධාරණ පරිපාලන ව්‍යූහයක් යටතේ වැඩකරන්නට සූදානම්ය. එසේනම් කළයුත්තේ ලෝක කුසලානයක් සොයා යන ගමනට ඔහුගේ සේවය ක්‍රිකට් ආයතනයට ලබා ගැනීමය. ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු අහුමුළු අතුගා විනිවිදභාවී පරිපාලන ව්‍යූහයක් සකස් කරගැනීමට ඔහු වැනි සුධීමතුන්ගේ සේවය ලබාගැනීමය. එවැනි මහා වැඩකදී නිහඬවන්නට මහානාම නොපැකිළිව ඉදිරිපත්වන බව පසුගිය කාලයේ ඔහු ඇතැම් දේශනවලදී කළ ප්‍රකාශයන්ගෙන් මනාව පිළිබිඹුවන බව ප්‍රකාශ කළ යුතුය. එහෙයින් ලෝක කුසලානයට යන පාර කපන්න ඔහු කිසිවිටකත් පසුනොබසින බව පමණක් අවසන් වශයෙන් පැවසිය හැකිය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා