බාධක මැදින් බාධක දිවූ ‘මුහුදේ තාරකාවිය’

 ඡායාරූපය:

බාධක මැදින් බාධක දිවූ ‘මුහුදේ තාරකාවිය’

''දුව මට කියලා ගියේ අනිවාර්යෙන්ම පදක්කමක් ගන්නවා කියලා. එයා ඒ දේ කළා. දැන් දුවගේ ලොකුම බලාපොරොත්තුව ඔලිම්පික් රන් පදක්කම ලංකාවට ගේන එක. ඒ දේ එයාට කරන්න අපි හිඟා කාලා හරි කටයුතු කරනවා'' තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත් හලාවත පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ මව රීටා මාග්‍රට් පැවසුවාය.

ආජන්ටිනාවේදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පාරමී වසන්ති මාරිස්ටෙලා දිනාගත් මේ පදක්කම යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම වේ.

එම ඉසව්වේ අවසන් තරගය වූ කිලෝමීටර 4 ක රට හරහා දිවීමේ තරගය (15) පස්වරුවේ පැවැති අතර එහිදී පාරමි 17 වැනි ස්ථානයට පත්වූවාය. ඇය එහිදී තරග නිමිකාලය වශයෙන් වාර්තා කළේ විනාඩි 13.47 ක කාලයකි.

පාරමී මෙහි මූලික වටයේ තරගයේදී තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. මෙම ඉසව්ව නිම කිරීම සඳහා පාරමී විනාඩි 6:33.06 කාලයක් වාර්තා කළ අතර එම කාලය ඇයගේ තරග දිවියේ හොඳම කාලය ලෙසද සැලකෙයි.

එම තරග දෙකේ කාලයේ එකතුව අනුව පාරමී සිවුවැනි ස්ථානයට පත්වූ නමුත් තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩිකාව පළමු තරගයේදී අටවැනි ස්ථානයට පත්වීම නිසා පාරමීට ලෝකඩ පදක්කම හිමි විය. පාරමී කුලියාපිටිය මැදි මහ විදුහලේ ක්‍රීඩිකාවකි.

මුහුදේ තාරකාවිය

පාරමී උපන් ගම හලාවත අඹකඳවිලයි. අඹකඳවිල රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය හා ක්‍රීඩාවට "අ " යන්න කියූ පාරමී මේ වන විට කුලියාපිටිය මාධ්‍ය මහා විදුහලේ අකුරු කරයි. දා හත් හැවිරිදි පාරමිගේ වැඩිමහල් සොහොයුරියද රටේ ප්‍රසිද්ධ ක්‍රීඩිකාවක වන නිශාන්ති දිල්හානියි. ඇය මේ වන විට විශ්වවිද්‍යාල සිසුවියකි.

නිවසද උකසට

පාරමිගේ මව ප්‍රකාශ කළේ දියණියන් දෙදෙනා ක්‍රීඩාවට යොමු කිරීම සඳහා තමන් ජිවත් වන නිවසද උකස් තැබූ බවයි . පියා සහ වැඩිමහල් සහෝදරයා ධීවරයන් වන අතර වසරේ මාස හයක් මොවුනට රැකියාව අහිමි වන්නේ වාරකන් බැවිනි.

" දරුවෝ දෙන්නා ක්‍රීඩාවට යොමු කළේ පුලුවන් කමකට නෙමෙයි. මාළුයි බතුයි කාලා ඒ දෙන්නා රටේ විතරක් නෙමෙයි දැන් ලෝකයේත් නම තියලා තියනවා.එ්ක අපිට ආඩම්බරයක්. මේ දෙන්න ක්‍රීඩාවට යොමු කරන්න අපි දස දුක් වින්දා. සමහර විදේශ සංචාර යද්දී ගමේ ජනතාව ගෙවල් ගානේ ගිහින් සල්ලි එකතු කරලා දුන්නා. " පාරමීගේ මව මාග්‍රට් වැඩිදුරටත් පැවසුවාය .

පාරමීට ඇගේ නම හිමිවුණු අයුරු

"පාරමී කියලා නම දැම්මේ මම. පාරමී මට ලැබෙන්න ඉන්න කාලේ මට හොඳටම අමාරු වුණ. පාරමී ලැබිලා මට දින තුනක් සිහිය නැතුවත් ඉඳලා තියනවා. මම කොළ කෑල්ලක පාරමී කියලා ලියලා තිබ්බා . නංගිට මම මුලින් කියලත් තිබ්බා පාරමී කියලා නම දාන්න කියලා . එයා කළේ එයාගේ නමෙන් වසන්ති කියන කෑල්ල දාලා එයා හිටපු මඩමේ සිස්ටර් ට උප්පැන්නේ ලියන්න කියලා කියපු එකයි. සිස්ටර් එයාගේ නමෙනුත් කෑල්ලක් දාලා තමයි උප්පැන්නේ ලියලා තියෙන්නේ. ඒ නම තමයි මාරිස්ටෙලා කියන එක මාරිස්ටෙලා කියන්නේ මුහුදේ තාරකාවිය කියන එකයි’ පාරමීගේ මව ප්‍රකාශ කළාය.

ඇගයීම්

පාරමීගේ දක්ෂතා අගය කරමින් ජනාධිපතිවරයා පාරමීගේ නමින් බැංකුවක තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ පහළොවක මුදලින් ලැබෙන පොළිය වන රුපියල් දොළොස්දහසක මුදල අද පාරමීගේ සියලු අධ්‍යාපන හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වැය කරයි. මිට අමතරව දැන් දැන් පාරමී වෙනුවෙන් ගමේ ජනතාවට අමතරව රටේ ජනතාවද ඔවුනට උපකාර කරති . මීට අමතරව මෙවරද රාජ්‍ය ආයතන කීපයක්ම පාරමී වෙනුවෙන් මුදල් පිරිනමා තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රුපියල් ලක්ෂයක් හා මාසිකව රුපියල් 2500ක ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමටද මීට පෙර කටයුතු කරනු ලැබීය.

ඔලිම්පික් පදක්කම

හලාවත අඹකඳවිල මුහුද ආසන්නයේ පාරමීගේ නිවස පිහිටා ඇති අතර ඇගේ පියා හා වැඩිමහල් සහෝදරයා ධීවර වෘත්තියේ නිරතව පාරමීගේ හා ඇගේ සහෝදරියගේ අධ්‍යාපනයට හා ක්‍රීඩාවට අවශ්‍ය දේ සපුරයි. ඔරු, බෝට්ටු නොමැති අන්තෝනි තියඩෝර් තෙප්පමක නැග මුහුදු යයි. එයත් එක්තරා ආකාරයකින් පාරමීගේ බාධක දිවීම තරමට කම්කටොලුවලින් ගහණය. එහෙත් ඔවුන් දියඹ සමඟ ගැටෙමින් සටන් වදින්නේ දිවි සැරිය සරු කරගැනීමටය. පාරමීලාට සවි බලය ගොඩනැංවීමටය.

අපි මොන දේ කරලා හරි දරුවා ලෝකයේ පළමු තැනට ගේනවා. ඒක තමයි අපි දෙන්නගේ එකම පැතුම. පාරමීගේ පියා අවසන් වශයෙන් ‘රැසට’පැවසීය. පාරමී ඔලිම්පික් පදක්කමක් ලබා ගන්නා තෙක් තමනට හරිහැටි නින්ද නොයන බවද තම සිහිනය සැබෑ වන දිනය සෙමෙන් ළං වන බවද පාරමීගේ පියා එහිදී අවසන් වශයෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

මාතෘකා