ඉන්දීය පැරාලිම්පික් ශූරයා පරාජය කරමින් දිනේෂ් ‍හෙට්ටිආරච්චි නව වාර්තාව රනින් ලියයි

 ඡායාරූපය:

ඉන්දීය පැරාලිම්පික් ශූරයා පරාජය කරමින් දිනේෂ් ‍හෙට්ටිආරච්චි නව වාර්තාව රනින් ලියයි

ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ පැරාලිම්පික් ශූර ඉන්දියාවේ සුන්දර් සිං පරාජය කළ දිනේෂ් ප්‍රියන්ත හෙට්ටිආරච්චි නව ආසියානු පැරා ක්‍රීඩා උළෙල වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගත්තේය. යගුලිය විසි කිරීමෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනාගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙනිණ.

ඉතිහාසයේ පළමු වරට ආසියානු මට්ටමේ පදක්කමක් දිනා ගනිමින් රෝද පුටු ටෙනිස් යුගල තරගයේදී සුරේෂ් රංජන් ධර්මසේන හා ලසන්ත සුරේෂ් රණවීර 6 - 1 හා 6 - 2ක් ලෙස 2-0 කින් තායිලන්තය පරදවා ලෝකඩ පදක්කම දිනා ගැනීමද විශේෂත්වයකි.

ජාකර්තා ගෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ පැවැති එක් අතක් අප්‍රාණික ක්‍රීඩක වර්ගීකරණය යටතේ (F 46) හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත මීටර් 61. 84ක දක්ෂතාවකින් නව වාර්තා පිහිටු වූ අතර එහි පැරණි වාර්තාව ඊයේ සිවුවැනි ස්ථානයට පත්වූ පැරාලිම්පික් ශූර ඉන්දියාවේ දේවින්ද්‍රා මීටර් 58.89කින් කොරියාවේදී 2014 ක්‍රීඩා උළෙලේදී පිහිටුවා තිබිණි. හෙල්ල විසි කිරීමේ ඉසව්වට දිනේෂ් සමග තරග කළ ඉන්දියාවේ සුන්දර් සිං (මී. 61. 33) හා රින්කුයී (මී. 60. 92) රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්හ. මෙම ඉසව්වට එක්වූ ගාමිණී ඒකනායක මීටර් 53.94 කින් හත්වැනි ස්ථානයට පත් විය.

මෙවර ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලට ජකර්තා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත 2016 රියෝ පැරාලිම්පික් ලෝකඩ පදක්කම හා පැරා ලෝක ශූරතාවයේදී රිදී පදක්කම දිනාගත් පළපුරුදු ක්‍රීඩකයෙකි.

ඉපලෝගම, කාගම පදිංචි දිනේෂ් අධ්‍යාපනය ලැබූවේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙනි.

දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලක් අප්‍රාණික තත්ත්වයේ ඇති ක්‍රීඩක වර්ගීකරණය යටතේ ( F42 / 61 / 63) යගුලිය විසි කිරීමෙන් පාලිත බණ්ඩාර මීටර් 13.21කින් රිදී පදක්කම දිනා ගත්තේය. හදිසි අනතුරකදී පාදයක් අහිමි වූ පාලිත ඊයේ වාර්තා කළ දක්ෂතාව ශ්‍රී ලංකා වාර්තාව ඉක්මවා යෑමකි. ඔහු සමග එම තරගයට පිවිසි අජිත් කාරියවසම් මීටර් 7.76 කින් 8 වැනි ස්ථානයට පත් විය.

මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ හයවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් හිමි කරගෙන රටවල් 43 කින් 14 වැනි ස්ථානයේ පසුවේ. චීනය රන් පදක්කම් 129 ක්, රිදී පදක්කම් 64 ක් හා ලෝකඩ පදක්කම් 48 ක් දිනා පෙරමුණේ පසුවන අතර දෙවැනි තැන සිටින කොරියාව රන් පදක්කම් 43 ක්, රිදී පදක්කම් 37 ක් හා ලෝකඩ පදක්කම් 34 ක් දිනා ඇත. ඉරානය රන් පදක්කම් 38 ක්, රිදී පදක්කම් 30 ක් හා ලෝකඩ පදක්කම් 30 ක් දිනා තෙවැනි ස්ථානයේ සිටින අතර අසල්වැසි ඉන්දියාව රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 16 ක් හා ලෝකඩ පදක්කම් 24 ක් දිනා 9 වැනි ස්ථානයේ පසුවේ.

 

[ප්‍රින්ස් ගුණසේකර] ඉන්දුනීසියාවේ ජකාර්තා සිට...

මාතෘකා