ජාතික මහා ක්‍රීඩා උළෙල අභිමානවත්ව ඇරැඹෙයි

 ඡායාරූපය:

ජාතික මහා ක්‍රීඩා උළෙල අභිමානවත්ව ඇරැඹෙයි

හතළිස්හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා, පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය ඇමැතිනි ශ්‍රීයානි විජේවික්‍රම, ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ආරම්භ විය.

ආරාධිතයන් විසින් පළාත් ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගමන්ගත් ආචාර පෙළපාලිය පිළිගැනීමෙන් අනතුරුව ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රීඩා උළෙල විවෘත කිරීම නිල වශයෙන් සිදු කළ අතර සමාරම්භය සනිටුහන් කරමින් ආචාර වෙඩිමුර 7 ක් නිකුත් කෙරිණි.

මෙවර ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම සිදුකෙරුණේ 2013 වසරේ ආසියානු ශූරතාවලියේදී මීටර් 400 සහාය ඉසව්වේ ලෝකඩ පදක්කම දිනු කණ්ඩායමේ සාමාජිකයකු වූ කේ.කසුන් කල්හාර සෙනෙවිරත්න සහ 2001 වසරේ පස්වැනි ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකා ඒ.ජී.එල්.ප්‍රියංගිකා අතිති.

මේ අවස්ථාවට පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් බුවනෙක හේරත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

[නිරෝෂාන් ප්‍රියංකර] පොළොන්නරුවේ සිට... ඡායා [රංජිත් අසංක]


මාධ්‍යවේදීන්ගේ ප්‍රතිපාදන කපයි

හතළිස්තුන් වරක් පැවැති ජාතික ක්‍රීඩා උළෙල ඉතිහාසයේ කිසිඳු දිනක සිදු නොවු අයුරින් මෙවර පොළොන්නරුවේ පැවැත්වෙන 44 වැනි ජාතික ක්‍රීඩා උළෙලේදී මාධ්‍යවේදීන්ට ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීමට කටයුතු යොදා ඇතැයි වර්තා වෙයි.

මෙවර ක්‍රීඩා උළෙලේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාත් පාලන අමාත්‍යාංශයද මැදිහත් කර ගැනීම හේතුවෙන් සංවිධාන කටයුතු සඳහා අධික වියදමක් දැරීමට සිදුව ඇති බැවින් එම වියදම් අඩුකර ගැනීමේ අරමුණින් ක්‍රීඩා උළෙල ආවරණ කටයුතු සඳහා එක්වන මාධ්‍යවේදීන්ට ලබාදෙන ප්‍රතිපාදන අඩුකිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මාතෘකා