ශ්‍රී ලංකා පදක්කම් අපේක්ෂාව පාරමී අද තරග බිමට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා පදක්කම් අපේක්ෂාව පාරමී අද තරග බිමට

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල

ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස්හි පැවැත්වෙන 20 වැනි යොවුන් ඔලිම්පික් තරගාවලියේ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරග ඉසව්ව සඳහා පාරමී මාරිස්ටෙලා අද තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

පසුගිය හයවැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගැනීමේ වැඩිම සම්භාවිතාවක් සහිත ක්‍රීඩිකාව ලෙසට ඇය විශ්වාස කෙරෙන අතර එම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහභාගිවීමට නියමිතය. පසුගියදා ජපානයේ පැවැති ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී හා දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් දිනා ඇති පාරමී මාරිස්ටෙලා ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා උළෙලට සහභාගිවී අත්දැකීම් ලබා ඇති ක්‍රීඩිකාවකි. පාරමී මාරිස්ටෙලා මෙම තරග ඉසව්ව වෙනුවෙන් වාර්තා කර ඇති හොඳම තරග නිමි කාලය මි.6.35.20 කාලයක් වාර්තා කර ඇත.

මේ අනුව අද පැවැත්වෙන තරගයේදී ඇයට වඩා ඉදිරියෙන් සිටිමින් දක්ෂතා දැක්වීමට සමත්ව ඇත්තේ කෙන්යානු ධාවිකාවක වන චෙරනෝ පැන්සි (මි.6.17.68) හා ඉතියෝපියාවේ ඩෙමිවොස් මෙකිඩස් ඇබෙබ් (මි. 6.26.86) පමණි.

ඊයේ පැවැති තවත් පිරිමි මලල ක්‍රීඩා තරග අතරින් මූලික වටයේ තරග දෙකකට සෙනිරු අමරසිංහ (උස පැනීම) සහ සුරේන් බටගොඩ (මී.400) තරග දෙකකට සහභාගිවීමට නියමිතව තිබිණි.

මෙම තරගාවලිය යටතේ පිහිනුම් තරග සඳහා ඉදිරිපත්වූ අකලංක පීරිස් නව තරග වාර්තාවක් පිහිටුවමින් තත්පර 26.33කින් මීටර් 50 පසුපස ආර මූලික වටයේ තරගය ජයගත් අතර අවසන් පූර්ව වටයට එක්වෙමින් තත්පර 26.36කින් එම ඉසව්ව අවසන් කළේය. එහිදී ඔහුට හිමිවුණේ අවසන් පූර්ව වටයේ 10 වැනි ස්ථානයයි.

එමෙන්ම ඔහු මූලික වටයේ තරගය තෙවැන්නා ලෙස නිමකළේය. දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේදී ඔහුට හිමිවුණේ එම ඉසව්වේ පස් වැනි ස්ථානයයි.

මේ අතර මීටර් 100 පසුපස ආර තරගයේදී ඔහු මූලික වටය අවසන් කළ කාලය ලෙස සටහන් වූයේ ත.57.34කි. ඒ අනුව අවසන් පූර්ව තරගයට සමස්ත තරගයේ 16 වැන්නා ලෙස සුදුසුකම් ලැබූ අකලංක එහිදී ත.57.35කින් අවසන් කරමින් එහි 16 වැනියා වශයෙන් තරගය අවසන් කළේය. මීටර් 50 සමනළ ආර තරගයේ මූලික වටයේ දී 25.18 කින් තරගය නිමකරමින් එම ඉසව්වේ මූලික වටය අවසන් කළේ 25 වැනියා වශයෙනි.

වෙඩි තැබීම

බාලක වෙඩිතැබීමේ ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණේ එම්.චනිඳු සේනානායකයි. එහිදී ඒකල මීටර් 10 වායු රයිෆල් ඉසව්වට සහභාගිවෙමින් 610.6ක් ප්‍රසාද ලකුණු ලබාගනිමින් එම ඉසව්වේ මූලික වටයේ 17 වැනියා වශයෙන් තරගය අවසන් කළේය. වායු රයිෆල් මිශ්‍ර යුගල තරගයට ඉදිරිපත් වෙමින් ජර්මානු ජාතික ක්‍රීඩිකා ඇනා ජාන්සෙන් සමඟ එක්ව පළමු වටය 14 වැනි කණ්ඩායම වශයෙන් අවසන් කරගනිමින් දෙවැනි වටයේදී 9-10ක් ලෙස පරාජය විණි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා