ජයග්‍රාහී දැල්පන්දු ක්‍රීඩිකාවෝ අනුරපුර පුදබිමට කළුතරිනුත් පිළිගැනීමක්

 ඡායාරූපය:

ජයග්‍රාහී දැල්පන්දු ක්‍රීඩිකාවෝ අනුරපුර පුදබිමට කළුතරිනුත් පිළිගැනීමක්

ආසියානු ශූරතා කුසලාන ජයගත් දැල්පන්දු කණ්ඩායම ඊයේ (10) අනුරපුර ප්‍රදේශය ආශ්‍රිතව චාරිකාවක නිරතවූහ. ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සඳහන් කළේ ජයග්‍රහණයෙන් අනතුරුව ආගමික වතාවත්හි නියැලීම පිණිස මෙලෙස අනුරාධපුර පූජා භූමියට පැමිණීමට කටයුතු කළ බවයි. ‘අපි තරගාවලියට යන්න ඉස්සර වෙලා සංස්කෘතිකමය වශයෙන් තම තමුන් විශ්වාස කරන ආගම් අනුව යම් යම් පොරොන්දු වීම් සිදුකර තිබුණා. ඒ තරගාවලිය ජයගෙන ශ්‍රී ලංකාවට ආවට පස්සේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිය නමදින්න කටයුතු කරනවා කියලා. ඉතින් අපි දැන් ක්‍රීඩිකාවන් එක්ක අනුරපුර සිද්ධස්ථානයන්හි සංචාරය කළේ ඒ අරමුණ ඇතිවයි’දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මිය රැසට පැවසූවාය.

දැල්පන්දු කමිටු රැස්වීමක් පසුගියදා පැවැති අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ සාමාන්‍ය පරිදි එම රැස්වීම පැවැති බවයි. ‘කමිටු රැස්වීමක් කියන්නේ සාමාන්‍ය යෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වන රැස්වීමක්. ඉතින් විවිධ අයට විවිධ අදහස් ඉදිරිපත් කළ හැකි වේදිකාවක්. එතැන සිදුවුණේ සාමාන්‍ය ක්‍රම වේදයන්ට අනුව ඒ දේ පමණයි. එහි වෙනත් කිසිදු විශේෂත්වයක් නැහැ’ යැයි ඇය පැවසීය.

මේ අතර පසුගිය සතියේ කළුතර දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ කණ්ඩායමක් විසින් ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි. එහිදී සියලු ක්‍රීඩිකාවන්ට හා කළමනාකාරිත්වයට ආහාර වේලක් පිළිගන්වා කණ්ඩායමට සුබ පැතීමට කටයුතු කර තිබිණි. ‘ඇත්තෙන්ම අපිට හරි සතුටුයි. කළුතර දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරිනියන් කීපදෙනෙකු මේ ආකාරයෙන් පිළිගැනීමේ උළෙලක් සංවිධානය කිරීම අගය කළ යුතුයි. හැමදෙයක්ම මුදලින් මනින්න අපි කැමති නැහැ. අපිට මුදල් දෙන්න ඔවුන් උත්සවයක් තිබ්බේ නැති වුණාට ඒ පිළිගැනීම හරිම විශිෂ්ටයි. එය ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ශක්තිමත් කරන සිදුවීමක්’යැයි දැල්පන්දු පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවිය පැවසූවාය.

පසුගියදා කතානායක කරු ජයසූරිය මහතාද ජයග්‍රාහී දැල්පන්දු ක්‍රීඩිකාවන් පාර්ලිමේන්තුවට කැඳවා වස විසෙන් තොර ආහාර වේලක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් පිළිගන්වා තිබුණේය. ඊට අමතරව පාර්ලිමේන්තු පරිශ්‍රය නිරීක්ෂණය කිරීමටද ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබාදී තිබූ අතර එය තමන්ගේ ජීවිතයේ හිමිවන විරල අවස්ථාවක් බව ක්‍රීඩිකාවන්ගේ මතය විය. මෙයට පෙර ආසියානු කිරුළ දිනාගත් අවස්ථාවේදී කොළඹ නගරාධිපතිවරයා වශයෙන් කරු ජයසූරිය මහතා කටයුතු කර තිබූ අතර එහිදී ඒ මහතා විසින් ජයග්‍රාහී දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට පිළිගැනීමක් පවත්වා රන් පවුම බැගින් තිළිණ වශයෙන් ලබාදී තිබිණි.

මීට ප්‍රථම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ජයග්‍රාහී ක්‍රීඩිකාවන් පිළිගැනීමට කටයුතු කර තිබුණේ එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතාවයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකත්වය දක්වන බවටද සඳහන් කරමිනි. වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා විසින් එම අවස්ථාව සංවිධානය කර තිබිණි. ඊට පෙර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් ක්‍රීඩිකාවන්ට දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා එහිදී මුණගැසී සුබපැතුම් එක්කිරීමට කටයුතු කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජයග්‍රාහී දැල්පන්දු කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබුණේ තරගාවලිය ජයගැනීමෙන් අනතුරුව සිංගප්පූරුවට ලබාදුන් දුරකථන ඇමැතුමක් මගිනි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා