තරග පාවාදෙන්නන්ගේ වත්කම් රාජසන්තක කිරීමට අයි.සී.සී. යෝජනාවක්

 ඡායාරූපය:

තරග පාවාදෙන්නන්ගේ වත්කම් රාජසන්තක කිරීමට අයි.සී.සී. යෝජනාවක්

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නීතියට අනුව තරග පාවාදීම අපරාධමය වරදක් කරන ලෙසත් ඉල්ලයි

තරග පාවාදීම යනු අපරාධමය වරදක් බවට පත්කරන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට උපදෙස් ලබාදී තිබේ. දැනට ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කටයුතු වල නියැලෙන අයි.සී.සී. නියෝජිතයින් විසින් මේ බව රජයට යෝජනා කර ඇත.

අයි.සී.සී. දූෂණ විමර්ශන කමිටුවේ සභාපති ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායමක් මෙලෙස මෙරට සංචාරයක නිරතව ඇත්තේ දින කීපයක සිටය. අදාළ නීතිය රැගෙන ඒම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුණගැසීමෙන් අනතුරුව අයි.සී.සී. බලධාරීන් විසින් පෙන්වා දී ඇත.

මේ අතර ජාත්‍යන්තර වශයෙන් සිදුකරන දූෂණ විරෝධී පරීක්ෂණවලට අනුව පසුගිය 2016 වසරේ සිදුකළ තරග පාවාදීම් සම්බන්ධයෙන් හොංකොං කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් තිදෙනෙකුගෙන් නිදහසට කරුණු විමසීමටද අයි.සී.සී. ය කටයුතු කළේ පෙරේදා දිනයේදීය.

තරග පාවාදීම මෙන්ම ක්‍රීඩා තරග අතහැරීමට ක්‍රීඩකයන් කටයුතු කිරීම අපරාධමය වරදක් බවට ශ්‍රී ලංකාව තුළ පත්කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවද අයි.සී.සී. ය අවධාරණය කර ඇත. ඒ අනුව එවැනි සිද්ධියකට වරදකරුවකු වන පුද්ගලයකුට එරෙහිව සිර දඬුවම් පැමිණවීමට හැකි ආකාරයෙන් නීතිය ශක්තිමත් කිරීම දූෂණ ක්‍රියා අකර්මන්‍ය කිරීමට අතිශය වැදගත් බවද ඔවුන් ශ්‍රී ලංකා රජයට යෝජනා කර තිබේ. මේ ආකාරයෙන්ම ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අයි.සී.සී. බලධාරීන් කටයුතු කර ඇති අතර ඒ අනුව තරග පාවාදීම අපරාධමය වරදක් බවට ඉන්දියාව තුළද පත්කරගැනීමට හැකිවෙතැයි අයි.සී.සී. ය විශ්වාසය පළකර ඇත. මේ අනුව ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ගයන්හි ඵලදායීතාව මත ලෝකයේ සෙසු රටවල් මෙම නීතිය ක්‍රියාවට නංවනු ඇතැයිද එම ආයතනය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව තුළ තරග පාවාදීම අපරාධමය වරදක් ලෙස සැකෙන අතර ඒ වෙනුවෙන් විශේෂ නීති සම්පාදනය කිරීමටද එම රාජ්‍යයන් කටයුතු කර ඇත. එංගලන්තය තුළ අල්ලස් පනත යටතේ අධිකරණය මගින් අදාළ චෝදනා සඳහා දඬුවම් පමුණවන නමුත් එය අපරාධමය වරදක් ලෙස නොසැලකෙයි.

තරග ඔට්ටුකරුවන්ගේ බැංකු ගිනුම්, බදු ගෙවීම්, විදේශගත වීම් පරීක්ෂා කර බැලීමට හා වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් ක්‍රිකට් තරග පාවාදීම් සඳහා තිත තැබිය හැකි බවත් අයි.සී.සී. ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මාතෘකා