ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න අභ්‍යවකාශ විද්‍යාව දැනගත යුතු නැහැ

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න අභ්‍යවකාශ විද්‍යාව දැනගත යුතු නැහැ

ආනා පුංචි හේවා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නගා සිටුවන්නට අභ්‍යවකාශ විද්‍යාඥයකු පරිපාලනය බාරගත යුතු නැතැයි ඔහු පවසයි. සාමාන්‍ය පරිපාලන නීතිරීති අනුව යමින් කටයුතු කිරීම ඔස්සේ එය යළි නිවැරදි මගට ගෙන ආ හැකි බව ඔහුගේ මතයයි. ඒ සියල්ල සිදුකළ හැක්කේ සාකච්ඡාවෙනි. සියලු පාර්ශ්ව එක අරමුණක් වෙත රැගෙන ඒමෙනි. ඔහු ඒ සඳහා හඳුන්වා දෙන්නේ ලිච්ඡවී ක්‍රමයයි. පරිපාලනය බාරගත් මොහොතේ සිට ක්‍රිකට් වලට අවංකව සේවය කිරීමෙනි. එහි පළමු පියවර වශයෙන් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කර සිටී. ක්‍රිකට් ගොඩගැනීම සම්බන්ධයෙන් කතාකිරීමේදී කලක් ක්‍රිකට් හරිපාරට ගත් සාර්ථකම පරිපාලකයා ලෙස සැලකිය හැකි ආනා පුංචි හේවා මහතා සමඟ සමකාලීන ක්‍රිකට් අර්බුද පිළිබඳව ‘රැස’ කළ සාකච්ඡාවකි.

අපි මුලින්ම අතීතයට යමු. ඇත්තටම ඔබ ක්‍රිකට් පරිපාලනයට එන්නෙ කොහොමද?

හිටපු ක්‍රිකට් සභාපතිවරයකු වන දිවංගත ගාමිණී දිසානායක මහතා ඒ සඳහා එක්වන ලෙස මට ආරාධනා කරනවා. එතුමාගේ ක්‍රිකට් කමිටුවේ උප සභාපති ධුරයක් බාරගන්න කියලයි මට යෝජනා කරන්නෙ. ඉතින් මම ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ වෙන්නෙ විශිෂ්ට පරිපාලකයකු වන ගාමිණී දිසානායක මහතාගේ යුගයේයි.

ඒ වෙද්දී ඔබ දේශීය ක්‍රිකට් වෙනුවෙන් යම් යම් පරිත්‍යාග සිදුකරලා තිබුණා?

මම කරපු දේවල් කළා. ඒ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතලය නිර්මාණය කරන්න. ඒවා ගැන නැවත කියන්න මගේ ලොකු කැමැත්තක් නැහැ.

හොඳයි. ගාමිණී දිසානායක සභාපතිවරයාගේ හදිසි අභාවයත් සමඟ ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට පත්වෙනවා?

ඔව්. ඒ 1995 වගේ කාලයක. මම තමයි සභාපති වෙන්නේ. නිලවරණයක් තිබුණාම ඒකට සභාපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ මම විතරයි. ඉතින් මම සභාපති ධුරයට පත්වනවා.

ඔබ සභාපතිවුණාට පස්සේ ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් යෝධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා?

මම සභාපති වුණාට පස්සේ ක්‍රිකට්වලට සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ බෙන්තොට සමුළුවක් පැවැත්වුවා. එතැනදී රටේ ක්‍රිකට් දියුණු කරන්න සිදුකළ යුත්තේ මොකක්ද කියන කරුණ ගැන පුළුල්ව සාකච්ඡා කළා. ක්‍රිකට් වලට සම්බන්ධ සියලු පාර්ශ්ව අපි එ් සම්මන්ත්‍රණයට ගෙනාවා. ඒ වගේම මනිලාල් ප්‍රනාන්දු වගේ දැවැන්ත ව්‍යාපාරිකයනුත් ඒ සමුළුවට මම ගෙනාවා.

එම සමුළුවේදී ක්‍රිකට් දියුණු කරන්න කිසියම් නිශ්චිත නිර්නායකයක් සොයාගන්න හැකිවුණා ද?

අපි යම් යම් නිගමන වලට ආවා. ඒ අනුව තමයි අපි ඉදිරියට ක්‍රීඩාව දියුණු කරන්න වැඩකළේ.

ඉන්පස්සෙ පුහුණුකරුවකු වශයෙන් වැඩිදෙනෙක් අහලා තිබුණෙ නැති ඩේව් වට්මෝර් කියන ඕස්ට්‍රේලියානු ජාතිකයා ඒ සඳහා පත් කරගන්නවා?

මම එංගලන්තයෙන්, ඔස්ට්‍රේලියාවෙන් හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලකයන්ගෙන් හොඳ පුහුණුකරුවකු ගැන විමසීමක් කළා. එතැනදී මට ඔවුන් නම් දෙක ගානේ නිර්දේශ ලබාදුන්නා. ඒ අතරින් තමයි අපි මේ පුහුණුකරුවා තෝරාගත්තෙ.

ඒ තෝරාගැනීමට ඉවහල් වුණු රහසක් තිබුණද?

ඔබ හිතලා බලන්න. ඒ කාරණයට ඉවහල් වෙන්න ඇත්තේ මොකක්ද කියලා?

වට්මෝර් කියන්නෙ ලෝකය තුළ පුහුණුකරුවකු වශයෙන් එතරම් ප්‍රසිද්ධ නැතිවීමත්, ඔහුත් සාර්ථකත්වය සොයමින් සිටි නිසාත්, ශ්‍රී ලංකාවේ කුඩා කාලයේ ගත කරලා තිබුණු නිසාත් ඔබ ඔහුව තෝරාගත්තා කිව්වොත්?

ඔබ හිතන කාරණයට මම එකඟයි.

පුහුණුකරු සමඟම අපි භෞතචිකිත්සකයකු සේවයට එක්කර ගන්නවා. ඔහු ඇලෙක්ස් කොන්ටෝරි. ඔහු තෝරාගන්නෙත් ඔබේ ක්‍රිකට් පරිපාලනයමද?

නෑ. එතැනදී අපි පුහුණුකරුට අවශ්‍ය නිදහස ලබාදුන්නා. ඔහුට අවශ්‍ය අඩුවැඩිය ගෙනාවේ ඔහු. සුප් එක රසවත් කරන්න අවශ්‍ය කුළු බඩු ඔහුගෙන්. ඒ අනුව තමයි කොන්ටෝරිගේ සේවය අපට හිමිවන්නෙ.

අපි ආශ්චර්යමත් ලෙස ලෝක කුසලානය ජයගන්නවා. ඒක ඔබේ සැලසුමේ තිබුණු දෙයක්ද?

නැහැ. අපි මේ තරම් ඉක්මනට එක්දින ලෝක ශූරයෝ වෙන්න හිතාගෙන හිටියේ නැහැ. නමුත් අපේ සැලසුම තිබුණේ 2000 වසර වනවිට ලෝකයේ හොඳම ක්‍රිකට් ජාතිය වෙන්න. ඒ වෙද්දී අපි ඔය කියන සියලු අභිප්‍රායන් සපුරාගත් කණ්ඩායමක් වෙන්නයි ගමන් කළේ. නමුත් අපි එය 1996දීම සම්පූර්ණ කරගත්තා.

උපමහාද්වීපික තණතීරු මත තිබුණු තරගාවලිය ජයගන්න වඩා පහසුවක් ලබාදෙන්න ඇති කියලා කිව්වොත්?

උපමහාද්වීපික තණතීරු මත තරග පැවැත්වීමට අපේ පැත්තෙන් ලොකු වාසියක් තමයි. නමුත් පාකිස්තානය, ඉන්දියාව වගේ දක්ෂ කණ්ඩායම්වලටත් හුරුපුරුදු තණතීරු තමයි මේ උපමහාද්වීපික තණතීරු වුණේ. ඉතින් එතැන ලොකු වෙනසක් මම දැක්කෙ නෑ. නමුත් අපි සැලසුම් සහගතව ක්‍රීඩා කිරීමෙන් ජයග්‍රහනය ලබාගත්තා.

ඒ දේ කරපු රහස ගැන මඳක් වැඩිපුර කතාකරමු?

අපි අපේ ක්‍රීඩකයන්ගේ මනස ශක්තිමත් කළා. ඔවුන් තුළ ජයගත හැකියි කියන මතය තහවුරු කළා. ජයග්‍රහණය නිරන්තර විය යුතුයි කියන කාරණය ස්ථාපිත කළා. එහි අවසන් ප්‍රතිඵලය තමයි මේ තත්ත්වය අපිට නෙළාදුන්නෙ.

ඔබ ලෝක කුසලානය දිනූ සැණින් තිබූ ක්‍රිකට් නිලවරණයෙන් සභාපති ධුරයෙන් දොට්ට විසිවෙනවා? ඔව්. දුකක් හිතුණෙ නැද්ද?

ඇයි නැත්තෙ? මට හරි කනගාටුවක් ඇතිවුණා. මම බැලුවා ලෝක කුසලානය දිනාගන්න සභාපති වශයෙන් පරිපාලන වගකීම් දරපු, ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් හදපු පරිපාලකයකු වශයෙන් මට තියෙන ඇගයීම මේකද කියලා? ඉතින් මම ක්‍රිකට් පරිපාලනයෙන් ඈත් වුණා.

ඇයි ඔබට එහෙම දෙයක් වුණේ?

ක්‍රිකට් සභාපති වෙන්න ඡන්ද ගන්න සල්ලි විසිකරන්න මම අකමැතිවුණ නිසා තමයි.

ඒ කියන්නෙ ක්‍රිකට් වලට සල්ලි ගැන බලාපොරොත්තු ආවෙ 1996 ලෝක කුසලානයත් එක්කයි?

ඔබ කැමති දෙයක් සිතාගන්න. නමුත් මාව ඉවත් වුණේ මම ඡන්දයට සල්ලි විසිනොකළ නිසා බව මම දන්නවා.

එකල ඔබ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් අදටත් ජනප්‍රියයි. එම ප්‍රකාශයෙන් ඔබ කිව්වේ ලෝකයේ ඉන්න හොඳම ක්‍රිකට් කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්කරනවා කියලා?

මට අමතක නෑ.

දැන් ඒ ප්‍රකාශයේ වලංගුභාවය කොහොමද?

වෙනසක් නෑ. අදටත් ලෝකයේ ඉන්න හොඳම ක්‍රිකට් කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්කරන්න පුලුවන්.

අපි පසුගිය කාල වකවානුව පුරා පසුබැස්සා. අපේ ක්‍රීඩකයන්ට විවිධ චෝදනා එල්ල වුණා. ඒවගේ තත්ත්වයක මේ දේ කරන්න පහසුයි කියලා හිතනවාද?

ඔව්. මම හිතන්නෙ නෑ අපේ ක්‍රීඩකයෝ නරක දේවල් කරනවා කියලා. ඔවුන්ගේ දක්ෂතාව අරගෙන බලද්දී අනූහයේ කණ්ඩායමටත් වඩා දක්ෂ ක්‍රීඩකයෝ අද ඉන්නවා. අවශ්‍ය වන්නේ එවැනි ක්‍රීඩකයන් පිළිබඳ හොඳ අවධානයකින් කටයුතු කරන එකයි.

හොඳයි. දැන් අපි ක්ෂණික තීරණයක් අරගෙන ඔබ යළි සභාපති කරවනවා කියමු. පළමුවෙන්ම වර්තමාන ක්‍රිකට් අර්බුදයෙන් ගැලවෙන්න මුලින්ම මොකද කරන්නෙ?

ඔය වගකීම දරන්න සිදත් වෙත්තමුණි හොඳයි. එහෙම නැත්නම් මයිකල් තිසේරා වගේ කෙනෙක් දාන්න. මම මෙහෙමත් කියන්නම් අපි පළමුව කළ යුත්තේ අපේ තිබෙන දක්ෂතා, දුර්වලතා වගේම අවස්ථා පිළිබඳ සලකා බැලීමයි. ඊට පසුව ඒ සාර්ථක විය යුතු පැති වැඩිදියුණු කරගන්නත්, සාර්ථක පැති තවදුරටත් දියුණු කරගන්නත් කටයුතු කළ යුතුයි. ඒක කරන්න ‘අභ්‍යවකාශ විද්‍යාඥයෙක්’ වෙන්න උවමනා නැහැ. පරිපාලන සිද්ධාන්ත අනුගමනය කරනවා නම් හරි.

මේ වැඩේට සියලු පාර්ශ්ව එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යද?

ඇත්තෙන්ම. සභාපතිවරයා වශයෙන් පත්වන පුද්ගලයා පරිපාලන වශයෙන් සියලු පාර්ශ්ව සමඟ පුද්ගලිකව සාකච්ඡා පැවැත්වීම වැදගත්. ඒක කරන්න මහ ලොකු කාලයක් කාලයක් ගතවෙන්නෙ නෑ. ඔන්නම් දින දෙකක් ඇති වෙයි.

පවතින ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයද?

ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. එය මත තමයි සියල්ල තීරණය වන්නෙ. එය කළ යුත්තේ අතුරු කමිටුවක් හරහා බව මගේ විශ්වාසය.

අතුරු කමිටු පත්කිරීම ක්‍රීඩාවට අයහපත් කියන එක ඇතැමුන් කියනවා. අනෙක අයි.සී.සී. එක ඊට විරුද්ධයි කියැවෙනවා?

ඒක පිළිගන්න බැරි කාරණයක්. මම කියන්නෙ අවුරුද්දක වගේ කාලයකට අතුරු කමිටුවක් පත්කළ යුතුයි. ඊට පස්සෙ ව්‍යවස්ථාව වෙනස් කරන්න උවමනායි. එය කළ යුත්තේ අනුබද්ධ සංගම්වලට සෘජු සම්බන්ධයක් නොමැති කණ්ඩායමක්. ඊළඟට ක්‍රීඩා පනතේ සංශෝධන සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුව තුළයි. මේ සේරම කරන්න වසරක් පමණ කාලයක් ගතවේවි. ඊට පස්සෙ අපේ ක්‍රිකට් හරි විදිහට දුවයි. දැන් බලන්න ඉන්දියාවේ ක්‍රිකට් පරිපාලනය වන්නේ අතුරු කමිටුවකින්. ඔවුන්ගේ අධිකරණ නියෝගයකට අනුවයි ඒ දේ සිද්ධ වෙන්නෙ. එහෙම කියලා ඉන්දියාවෙ ක්‍රිකට් නවත්වන්න අයි.සී.සී. ය කටයුතු කරලා නැහැ. ඒ නිසා ඒ කතාව බොරුවක්.

යම් විදිහකින් මේ අතුරු කමිටුවක අරමුණ ගැන පහදන්න අයි.සී.සී.යට යන්න කණ්ඩායමක් නම්කළොත් ඊට ඔබ එකඟඳ?

ඔව්. ඒකෙ ගැටලුවක් නැහැ. සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා, අර්ජුණ රණතුංග වගේ අයට මේ වගේ වැඩක් කළ හැකියි. අනෙක අයි.සී.සී. එක මට ලොකු ප්‍රශ්නයකුත් නොවෙයි. එතැන බහුතරයක් ඉන්නෙ මගෙත් එක්ක එංගන්තයේ ක්‍රිකට් ගහපු අය. ඒක රාජකාරියක් වගේම පෞද්ගලික හිතවත්කම් හරහාත් ප්‍රයෝජනයක් ගන්න මට පුලුවන්.

ඔබ කියන්නෙ අනුබද්ධ සංගම්වලට සම්බන්ධයක් නැති පරිපාලනයක් යටතේ මේ දේ සිදුවිය යුතුයි කියලයි?

ඔව්. කාටවත් වගකියන්නෙ නැති ක්‍රීඩාවට, රටේ ජනතාව වෙනුවෙන් බිය නැතිව තීරණ ගන්න පිරිසක් මෙතැනට එන්න අවශ්‍යයි.

ඔබ පරිපලානය බාරගත්තොත් දැන් ඉන්න ජාතික පුහුණුකරුව වෙනස් කරනවද?

මම ඒ ගැන දන්නෙ නෑ. නමුත් හතුරුසිංහ ලංකාව බාරගත්තේ සාර්ථක පුහුණුකරුවකු කියන වාර්තා ඇතිව. අපි ඔහු සමඟ සාකච්ඡා කළ යුතුයි. ඊට පස්සෙ තමයි ඒ ගැන තීරණය කරන්න අවශ්‍ය වන්නෙ. ඔහු ඉතා දක්ෂ පුහුණුකරුවෙක් කියන එක අපි අමතක කළ යුතු නැහැ.

ලබන වසරේ මාර්තු මාසය වනවිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් තිබෙනවා. ඒක ජයගන්න ඔබ කියන සැලසුම් ප්‍රමාණවත්ද?

අපිට ඒ කුසලානයෙදිත් පෙරට එන්න අමාරු නැහැ. තරග පැවැත්වෙන කාලය අනුව ගත්තාම එහි වැඩි වාසි තියෙන්නේ එංගලන්තයටයි. ඒ දෝලනයට පන්දුවට පහරදීමේදී වැඩි වාසි ඇත්තේ ඔවුන්ටයි. ඒ තත්ත්වය යටතේ ඔස්ට්‍රේලියාවට, ඉන්දියාවට, දකුණු අප්‍රිකානුවන්ටත් ක්‍රීඩා කරන්න අසීරුයි. නමුත් අපි ළඟ සැලසුම් තිබේනම් යෝග්‍යතාව, පන්දුරැකීම වගේම සියයට සියයක් ලබාදෙනවානම් ඉදිරියට එන්න අසීරු වන්නෙ නැහැ.

අපේ ක්‍රිකට් පසුබෑමේ වගකීම් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නව කියලා ඔබ හිතනවද?

මම නම් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා මම ඒ වගකීම් බාරගන්නවා. මොකද සාර්ථකත්වය වගේම අසාර්ථකත්වය බාරගතයුත්තේ ප්‍රධානියායි. ඔහුගේ මූලිකත්වයෙන් ගන්න සැලසුම් තමයි එතැනදී සාර්ථක හෝ අසාර්ථක වී ඇත්තේ. අදත් එය එසේ සිදුවිය යුතුයි.

ක්‍රිකට් දැන් හුඟාක් වෙනස්. අනූහයේ ක්‍රිකට් දැන් ලෝකයේ නැහැ. ඒ තත්ත්වය වඩාත් සංකීර්ණ වෙලා. ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ආවා. තරග විකාශ අයිතිය ලොකු මිලකට අලෙවි වෙනවා. ක්‍රීඩකයන්ට කළමනාකරුවෝ කියලා කණ්ඩායමක් ඉන්නවා? මේ සියලු තත්ත්ව ගැටලුව සංකීර්ණ කරනවා?

නැහැ. ක්‍රිකට් වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. ඕනෑම ක්ෂේත්‍රයක් වෙනස් වෙනවා. ගලායෑම කියන කාරණය ස්වාභාවිකයි. අපි ඒ වෙනසට සූදානම් විය යුතුයි. ඊට අනුකූලව විසඳුම් නිමවිය යුතුයි. එවිට ගැටලුවක් ඇතිවන්නෙ නැහැ. කළමනාකරුවොත් එක්කත් කතාකරන්න, ලෝකයේ තිබෙන කෙටිකාලීන ක්‍රිකට් තරගවලින් සිදුවන මුදල් ඉපැයීම් එක්කත් ගැලපෙන්න අවශ්‍යයි. අපේ නීති රීති ශක්තිමත් කරන්නත් කටයුතු කළ යුතුයි.

ඔබ මේ අභියෝගය බාරගන්න සූදානම්ද?

මම කිව්ව වෙනස් කම් කළ හැකිනම් එය කොහෙත්ම අභියෝගයක් නොවෙයි.

සංවාදය - [කසුන් ඉරුගල්බණ්ඩාර]

ඡායා - [රංජිත් අසංක]

මාතෘකා