ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට ප්‍රීතියක් ගෙන ආ ප්‍රීත්වි

 ඡායාරූපය:

ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට ප්‍රීතියක් ගෙන ආ ප්‍රීත්වි

ඉන්දියාවේ පළවැනියා - ලෝකයේ සිව්වැනියා

ලෝක ක්‍රිකට් වංග කතාවට නව පරිච්ඡේදයක් සටහන් කළ අවස්ථාවන් අසන්නට දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. වෙසෙසින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් වංශ කතාවට ටෙස්ට් ක්‍රිකට් සම්බන්ධයෙන් අලුත් පරිච්ඡේදයක් එක්වන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. දැන් දැන් ලෝකය තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් නිද්‍රාශීලි, ප්‍රේක්ෂක ආකර්ශනය අඩුවෙන් හිමිවන ක්‍රීඩාවක් බවට පත්වෙමින් ඇතැයිද ඇතැම්හු පෙන්වා දෙන්නේ එහි අනාගතය පිළිබඳ විවිධ අනියත කරුණු ඉදිරිපත් කරමිනි. සමහරුන් පවසන්නේ එය වඩාත් අර්බුදකාරී ස්වභාවයක් ගැනීම නිසැකවම සිදුවනු ඇති බවයි. කෙසේ නමුත් ලෝකයේ තවමත් නියම ක්‍රිකට් ක්‍රීඩාව ලෙස විචාරකයන් හා එම ක්‍රීඩාවේ මූලාරම්භකයන් සලකනු ලබන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවය. ඇතැම්හු පවසන පරිදි එම ක්‍රීඩාව ලෝකයේ ටෙස්ට් ජාතීන් කීපදෙනෙකුගේ සෙවණේ පමණක් ඉදිරියේදී පවතිනු ඇතැයි දැනටමත් මත පළව ඇත.

ඒ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව වැනි රාජ්‍යයන්ය. ලෝකයේ සෙසු රටවල ක්‍රිකට් ක්‍රීඩාව විවිධාංගීකරණය වී එක්දින හා පන්දුවාර විස්සයි විස්සට සීමාවනු ඇති බව ද විචාරකයෝ මත පළකර ඇත. මේ සියලු සිදුවීම් එලෙසින් ගලනය වද්දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අලුත් පරිච්ඡේදයක් ලියන්නට ඉන්දීය යොවුන් ක්‍රීඩකයකු සමත් වූයේය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ලොව තුළ මියයාම ඇරඹී ඇත්ද යන සැකය මතුව එද්දී ඔහු එය අසත්‍යයක් බව ලෝකය හමුවේ ප්‍රකාශ කළේ තමන්ගේ ආරම්භක තරගයේදී ශතකයක් රැස් කරමිනි. එය නිකම් නිකම් ශතකයක් නොවේ. ඉන්දියාව වෙනුවෙන් තම මංගල ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයකු අඩුම වයසින් රැස්කළ ශතක වාර්තාව අලුත් කරමිනි. මේ ඔහු සම්බන්ධයෙන් ලියැවෙන කෙටි සටහනකි.

ක්‍රිකට් වංශ කතාවෙහි නවතම පරිච්ඡේදයක් සටහන් කළ ඔහු ප්‍රීතිව් පන්කජ් ෂෝය. කුඩා කලම ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ප්‍රීතිව් තියුණු තක්ෂණික රාමුවේ පන්දුවට පහර දීමේ ඉරියව් ප්‍රකාශනය කිරීමට සමත් වූයේය.අලංකාර පිතිකරණය රටාව හෙතුවෙන් ඉතාමත් කෙටි කලක් තුළ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජයක් වන මුම්බායි ක්‍රීඩා සමාජයට (M.G.I) එක්වීමට කුඩා පන්කජ්ට හැකි විය.ඒ හැකියාව ඔහුට උදාවූයේ දූරදර්ශි පුහුණුකරුවන්ගේ මග පෙන්විමෙන් බව පැහැදිලි වෙයි.

එම ක්‍රීඩා සමාජය හරහා ප්‍රිතීව් පිළිබඳ මුළු මහත් ඉන්දියාව මෙන්ම ඉන් පිටත පුද්ගලයන්ද කතාකරන්නට අවකාශ උදාවූයේ ක්‍රමානුකූලවය. එලෙස ඔහු පිළිබඳ කතා කිරීමට අවසරය උදාවූයේ අඛණ්ඩව කතාකළ ප්‍රීතිව්ගේ පිත්ත හේතුවෙනැයි කිවහොත් එය උපකල්පනයක් හෝ අසත්‍යයක් නොවේ.

නැවතීමක් හෝ අනුකම්පාවක් නොමැති මේ පුංචි කසකාරයාගේ පිතිකරණය දෙස් විදෙස් ක්‍රීඩා සමාජ තුළ වැඩි ඉල්ලුමකට ලක්වන වකවානුවක තවත් ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛ පළමු පෙළේ තරගාවලියක් වන රන්ජි කුසලානයේ දොර විවිර කර ගැනිමට හැකියාව උදාවිය.

2016/2017 කාල පරාසයන් තුළ ක්‍රියාත්මක වු මෙම තරගාවලිය තම මංගල පළමු පෙළ තරගය වු බැවින් ඔහුට වඩා පරිණත හා අත්දැකිම් බහුල මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ඉදිරියේ පිතිහරඹයෙන් වැඩි යමක් ඔහුට කළ හැකිවේදැයි සැකයක් මතුවූයේ ස්වාභාවයෙන්මය. ඒ මන්දයත් විශාල කුසලතා සහිත ක්‍රීඩකයන් මේ ආකාරයෙන් රංජි කුසලානයේ දොරටුවට තට්ටුකර කණ්ඩායමේ ස්ථාන හිමිකරගත්තද එතරම් සුවිශේෂී ගමනක් සනිටුහන් කිරීමට අසමත් වූ හෙයිනි. එහෙත් ප්‍රීතිව්ට එය කිරි කජු කන්නාක් වැනි තරගයක් වූයේ තමන් සහභාගිවූ මංගල රංජි කුසලානයේදීම ආරම්භක පිතිකරුවා වශයෙන් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පන්දුයවන්නන් හා පන්දුරකින්නන් අභිබවමින් ශතකයක් රැස්කිරීමත් සමඟය.

එම ඉනිමේ අනෙක් සුවිශේෂත්වය වනුයේ රංජි කුසලාන තරගවලියෙන් පසු ඉතා කෙටි කලක් තුළ දුලිප් කුසලාන තරගාවලියට එක්වෙමින් එහි පළමු තරගය තුළදීම යළි ශතකයක් රැස්කර ගැනීමට සමත්වීමත් ය. මෙම සුවිශේෂ දක්ෂතා හේතුවෙන් මෙම වසරේ දී පැවැති වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දිය කණ්ඩායමේ නායකත්වයේ වගකිමද ප්‍රීතිව් හට ලබා දීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරන තැනකට තල්ලුවූයේ යැයි කිවහොත් වඩාත් නිවැරදිය. එම තිරණය සධාරණීකරණය කරමින් ලෝක යොවුන් ක්‍රිකට් කුසලාන ඉන්දියාවට ලබා දීමේ හැකියාව උදාවිය. තම මංගල තරගයේදීම ශතක ලබා ගන්නා මේ අපූරු ක්‍රීඩකයා තම පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගට තෝරාගනු ලැබුවේ ඔහුගේ අනාගතයේ පෙරමග ලකුණු පැහැදිලිව දැකගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමත් වූ හෙයින් යැයි කිව හැකිය.

ඒ අනුව පළමු ජාත්‍යන්තර තරගයේදීම ශතකයක් වාර්තා කළ ළාබාලතම ඉන්දිය පිතිකරු මෙන්ම 15 වෙනි ඉන්දීය පිතිකරු වීමට ඔහුට හැකියාව උදාවිණි. එමෙන්ම ශතකයක් වාර්තා කර ලොව ළාබාලතම ක්‍රීඩකයින් අතර සිව් වැනියා බවට ද ප්‍රීතිව් පත්වූයේ දුර ගමනක සමාරම්භයක් වශයෙන් එම ඉනිම පත්කරමිනි. මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කිරීමේ වාර්තාව මුලින්ම වාර්තා පොතට එක්ව ඇත්තේ 1877 මාර්තු 15 වැනිදාය. ඒ ඔස්ට්‍රේලියානු ජාතික චාලස් බැනර්මන් නම් වු ක්‍රීඩකයා එංගලන්තයට එරෙහිව නොදැවී ලබා ගත් ශතකයත් සමඟය. එම වාර්තාව ඉන්දියාව වෙනුවෙන් තබා ඇත්තේ ලාලා අමරනාත් විසිනි.

ශ්‍රී ලංකාවේ මෙම වාර්තාව සඳහා දායක වී ඇත්තේ බ්‍රෙන්ඩන් කුරූප්පු,රොමේෂ් කළුවීතරණ සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයෝය.

[සඳරුවන් ප්‍රනාන්දු]

මාතෘකා

ජනප්‍රිය ලිපි