ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලාන ජයගත හැකියි : නාලක හේවාමද්දුම (පුද්ගල කුසලතා සංවර්ධන උපදේශක)

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලාන ජයගත හැකියි : නාලක හේවාමද්දුම (පුද්ගල කුසලතා සංවර්ධන උපදේශක)

දැන් ඇත්තේ පෙරමුණ ගැනීමය. පෙරමුණ ගත යුත්තේ ජයග්‍රහණය දිශාවට කණ්ඩායම රැගෙන යාමටය. රටක සිව්වැනි ආණ්ඩුවේ ක්‍රීඩා විෂයික වගකීම ‘රැස‘ බාරගත්තේ එහෙයිනි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් රටම සීරුවෙන් තැබීමේ පෙරටුගාමී හැසිරීම එහි පුළුල් අරමුණයි. විසිරී ඇති අපේක්ෂා හා විශ්වාසයන් එකමිටට එක්කර කණ්ඩායම වටා ජයග්‍රාහී විශ්වාසයේ හැඟීම් ඒකාරාශී කිරීම මේ අනුව අද පටන් ‘රැස‘ ආරම්භ කරනු ඇත. පැරදුණේ ඇයිද? හා පැරදෙන්නේ කවුරුන් හේතුවෙන්ද යන පසු විපරමට නැතහොත් පශ්චාත් මරණ පරීක්ෂණවලට පමණක් මාධ්‍ය වගකීම ලඝු නොකොට පුළුල් අභිප්‍රේරණයක් කණ්ඩායම හා ප්‍රේක්ෂකයා තුළ ඇතිකරවීමේ වගකීමක් ලෙස එය මෙලෙස ආරම්භ කරමු. මේ එහි පළමු වැන්න ලෙස පුද්ගල සංවර්ධන කුසලතා වැඩිදියුණු කිරීම පිළිබඳ සුප්‍රකට දේශකයකු වන නාලක හේවාමද්දුම මහතා සමඟ ක්‍රිකට් ජයග්‍රහණය සොයා ගැනීම වෙනුවෙන් කරනු ලබන සාකච්ඡාවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කතා කිරීමට පෙර ජාතික දැල්පන්දු කණ්ඩායම පිටුපස තිබූ රහසක් පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. එම ජයග්‍රහණයේ ප්‍රධාන හවුල්කරුවකු ලෙස ඔබව හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ දැල්පන්දු කණ්ඩායම දිරි ගන්වන්න ඔබ ඔන්ලයින් ක්‍රමය යටතේ සහයෝගය දැක්වූ බව අපි දැනගත්තා. මොකක්ද ඒ කතාව?

ඒක අපි කළේ තරගාවලිය පැවැත්වෙද්දී පමණක් නොවෙයි. තිලකා ජිනදාස මෙනෙවිය පුහුණුකාරිත්වය බාරගත්තේ දවස්වලම මට මේකට සහය දෙන්න කියලා ඉල්ලීමක් කළා. එතැනදී ඇය කළ ඉල්ලීමට සහය දක්වන්න මම තීරණය කළා. ඒකට වැඩි වශයෙන් හේතුවුණේ අපි දෙන්නාගේ හිතවත්කම. ඒක ජාතික මලල ක්‍රීඩා පුහුණු සංචිතයේ අපි දෙන්නාම ඉන්න කාලේ සිටම ඇතිවුණු එකක්. ඉතින් පසුගිය ජනවාරි මාසයේ සිට සතියකට දින දෙකක් පමණ අපි මේ විධිහට කණ්ඩායමේ මානසික සංවර්ධන කටයුතු කළා.

ඒ කියන්නේ මේ අගෝස්තු මාසය වන තුරුම ඔබේ සහයෝගය දැල්පන්දු කණ්ඩායමට ලැබුනා කියලද?

ඔව්. කණ්ඩායම සිංගප්පූරුවට ගියාට පස්සේ මම ඔන්ලයින් ක්‍රමය යටතේ කණ්ඩායම සමඟ දිනපතා කතා කළා. ඔවුන්ගේ මානසික සංවර්ධනය ඒ අයුරින්ම තිරසර විධිහට පවත්වා ගත්තා.

මෙහෙම දෙයක් කරද්දි දැල්පන්දු ක්‍රීඩිකාවන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

හුඟාක් වෙලාවට සිද්ධ වෙන ආකාරයට ඔවුන්ගෙන් ආරම්භයේදී ලොකු සහයෝගයක් ලැබුණෙ නැහැ. නමුත් කාලයක් ඒ විධිහට වැඩකරද්දී මට වැටහුණා ක්‍රීඩිකාවන් තුළ මානසික ස්ථාවර භාවයක් ඇතිවුණු බව. ඔවුන් කැමැත්තෙන් ඒ මානසික සංවර්ධන පුහුණුවීම් සමඟ එකතු වුණා. අන්තිමට ඔවුන් ඒ පුහුණුව මානසික වශයෙන් ලැබිය යුතුයි කියන ස්ථාවරයට ඇවිත් තිබුණා. ඒ නිසා මට මගේ වැඩේ තවත් පහසු වුණා.

දැන් අපි මේ රටේ ක්‍රීඩා ප්‍රේමීන් තුළ දැවෙන ප්‍රශ්නයක් පිළිබඳ කතාකරමු. ඒ තමයි එළඹෙන ලෝක ශූරතා තරගාවලිය. ඒ වෙනුවෙන් අපේ කණ්ඩායම යළි ශක්තිමත් කළ හැකිද?

සැබැවින්ම. අපිට ඒ ලෝක කුසලානය දිනන්න හැකියි. ඒ ගැන ගැටලුවක් නැහැ. මම එහෙම කියන්නේ ඔවුන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇතිවයි.

ඒ කියන්නේ 1996 ලෝක කුසලානය දිනුවට පස්සේ අපිට ඒ දේ යළි කළ හැකි කණ්ඩායමක් නිර්මාණය කරගන්න පුළුවනි කියලද?

ඔව්. දැන් බලන්න මේ ඉන්න කණ්ඩායම දිහා. මගේ ක්‍රිකට් දැනුම අනුව මේ ඉන්න ක්‍රීඩකයන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් 96 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා වැඩියි. ඒ අයට ලෝක කුසලානයක් දිනන්න බැහැ කියන්නේ කවුද?

ඇත්තටම ඒ දේ කරන්නෙ කොහොමද කියලා දළ පැහැදිලි කිරීමක් කරමුද?

වර්තමාන ක්‍රීඩකයන් තාක්ෂණික නිපුණතාවය අතින් ඉදිරියෙන්ම ඉන්නවා. හැබැයි ඔවුන් තුළ තරග දිනන්න අවශ්‍ය මානසික ශක්තිය නැහැ. ඒක මේ දිනවල සිදුවුණු සිදුවීම් වලින් තහවුරු වුණා. තරගය දිනන්න අවශ්‍ය මානසික ශක්තිය කණ්ඩායම තුළ වගා කළ යුතු වෙනවා. සාමාන්‍ය යෙන් පුද්ගලයකුගේ උඩු සිත, යටි සිත වගේම ඔහුගේ හෝ ඇයගේ ස්වයං ප්‍රතිරූපය කියන අදියර තුන මෙතැනදී සැලකිය යුතු වෙනවා. උඩු සිත අපි දකින දේවල්, පුහුණුවන දේවල් අත්පත් කරගන්නවා. ඒවා තැන්පත් වන්නේ යටි සිත තුළයි. එතැනින් තමයි ඔහු නිසි පරිදි ඉගෙන ගත්තු දේ ක්‍රියාවට නංවන්නෙ. ස්වයං ප්‍රතිරූපය තමයි පුද්ගලයාගේ හැකියාවන් අවසාන වශයෙන් එළියට දමද්දී සහයෝගය දක්වන්නෙ. ඒ නිසා මේ කියන කරුණු ත්‍රිත්වය ගැනම අවබෝධයෙන් මානසික සංවර්ධනය සිදුකළ යුතුයි. ඒක පුහුණුවක්.

දැන් මේ විධිහට සිත තුළ ශක්තීන් අරෝපණය කරද්දී එය කොතරම් කාලයක් බල පවත්වනවාද? නැත්නම් ඒ කුසලතා වර්ධනය කළාම කොයිතරම් කාලයකින් අවසන් වෙනවාද?

මෙහෙමයි. දැන් ක්‍රීඩා කරද්දී භෞතික වශයෙන් ශරීරයට දෙන පුහුණුව බලන්න. ඒ පුහුණුව නැවැත්තුවොත් කෙනෙකුගේ දක්ෂතා හීන වෙනවා. ඒ වගේමයි මානසික පුහුණුවත් නිරතුරුව ලබාගත යුතුයි. එවිට අපට හැකියි මනස ශක්තිමත් කරගෙන ජයග්‍රහණය නිරන්තරයෙන් පවත්වාගෙන යන්න.

කොපමණ කාලයක් මේ වෙනුවෙන් වැඩ කළ යුතුද?

අඩුම වශයෙන් සතියට දින දෙකක් වත් කැප කළ යුතුයි.

 දැන් මේ කියන අභිප්‍රේරණ කටයුත්ත.........

ඒක වැරදි ප්‍රකාශයක්. අභිප්‍රේරණයක් නැත්නම් පුද්ගලයකු ක්‍රීඩකයකු වන්නේ නෑ. අභිප්‍රේරණයක් ඔවුන් තුළ නිසඟව පවතිනවා. ඒක ප්‍රශ්නයක් නොවෙයි. අවශ්‍ය වන්නේ ඊට අවශ්‍ය ආකාරයට මනස තුළ ශක්තීන් සකස් කරගැනීමට උපකාර කිරීමයි.

තරගයකට යන්න ඉස්සෙල්ලා ‘යර්ස් අයි කැන්‘ කියලා යන බොහෝදෙනෙක් අපි දැකලා තියෙනවා. නමුත් ප්‍රතිඵලය දුර්වලයි?

යර්ස් අයි කැන් කියලා කෑගහලා ගියාට ඒක ප්‍රමාණවත් නැහැ. ඒකට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි.

දැන් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායම බාරගනිද්දී විශාල මුදලක් ගෙවලා ඔස්ට්‍රේලියානු මනෝ උපදේශකයකුගෙ සේවය ගත්තා. ඔහු පුහුණු සැසි දෙකක් තිබ්බා?

ඔව්. ඒක හොඳ වැඩක්. නමුත් ඒ දැනුවත් කිරීමේ වැඩසටහනක්. මමත් ඒ වගේ වැඩසටහනක් පටන් ගන්න ඉස්සර දැනුවත් කිරීමේ වැඩසටහනක් කරනවා. ඔයවගේ දේශන දෙකක්. ඊළඟට ඒ මානසික දක්ෂතා වර්ධන පාඨමාලාව කළ යුතුයි. නිශ්චිත කාල සීමාවක් තුළ එය සිදුකිරීම වැදගත්.

ඒ කියන්නේ කාල නිර්ණයක් තිබිය යුතුයි කියලා ඔබ හිතනවද?

මම කැමතියි කිසියම් ඉලක්කයක් වෙනුවෙන් පුහුණු කරන්න. ඒක ඉතා සාර්ථකයි.

දැන් ඔබට මේ දේ කරන්න කියලා ක්‍රිකට් කණ්ඩායම බාරදුන්නොත් එය කළ හැකිද?

බය නැතිව මම හැකියි කියනවා. පුද්ගල දක්ෂතා සංවර්ධනය මගේ රැකියාව. එය බාරගැනීම මගේ වෘත්තීය අයිතිය. හැබැයි එක දෙයක් කියන්න අවශ්‍යයි. ඒ තමයි මම සොයාගෙන ගිහින් වැඩ කරන්නෙ නෑ. මාව සොයාගෙන ඇවිත් මගෙන් උදව් ඉල්ලුවොත් මම ඒ දේ කරනවා.

දැන් සුසන්තිකා ජයසිංහ වගේ ක්‍රීඩිකාවන්ට ඔය කියන මානසික සංවර්ධ වැඩසටහන් ලැබුණේ නෑ නේද? එහෙත් ඇය ක්‍රීඩාව පාර්ශ්වයෙන් සාර්ථක වුණා?

ඔව්. ඇය එක්තරා ව්‍යතිරේකයක්. ඇයට සමාජමය වශයෙන් මේ කියන සවිමත් මානසික පසුබිම ඇතිකරගන්න හැකිවුණා. ඇය හොඳ පුහුණුවක් ලබාගත්තා. ඊට සමගාමීව හිත දැඩි කරගත්තු පුහුණුවක් ඇති කරගන්න සමත් වුණා. ඉතින් ඇය සාර්ථක වුණා. නමුත් 1974 ආසියාව දිනපු මලල ක්‍රීඩා කණ්ඩායම අපට දැන් නැත්තෙ ඇයි?

ඇත්තටම එහෙම නැත්තෙ ඇයි?

ඒකට එක හේතුවක් තමයි අපි දක්ෂතා සොයාගැනීමේදී දක්වන අසමත් භාවය. අපි කළ යුත්තේ ඒ ඒ ඉසව්වලට දක්ෂයන් කුඩා කාලයේදීම තෝරාගෙන ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීමයි. ඔබ සුනිල් ගුණවර්ධන මහතාගේ කකුලේ කෙණ්ඩ මාංශ පේශිය දැකලා තියෙනවද? ඔහු මලල ක්‍රීඩාවට ඇවිත් තිබෙන්නෙ මේ කියන කෙණ්ඩ දෙකේ මාංශ පේශි දැකපු පාසල් පුහුණුකරුවකු නිසයි. දැන් ඒ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවද? මම උදාහරණයක් කියන්නම්. දැල්පන්දු කිරුළ දිනාගෙන කණ්ඩායමට ලංකාවට ආවට පස්සෙ අපේ රටේ නම ගිය ධාවන ශූරයෙක් මට කතාකළා. එයා කිව්වා තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න උපදෙස් දෙන්න කියලා. මම කිව්වා ක්‍රීඩා අමාත්‍යංශය හරහා ලියුමක් යොමුකරලා ඉල්ලීමක් කරන්න කියලා. මොකද මගේ සේවය මම නොමිලයේ ඔබට දෙන්නම්. නමුත් ආයතනයක ඉල්ලීම මට ඒක කරන්න වගකීමක් වෙනවා කියලා. අර ක්‍රීඩකයා හා කියලා බොහොම කැමැත්තෙන් ගිහින් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඒකට ලියුමක් ගන්න හදලා. පස්සේ ඔහු මට කියනවා ඒ ලියුම දෙන්න සති තුනක්වත් යනවා කිව්වලු? බලන්න අපේ කාර්යක්ෂමතාව. ඔන්න ඕකයි ඇත්ත තත්ත්වය.

දැන් අපේ යටිතල පහසුකම් දියුණු විය යුතුයි කියලා නැගෙන තර්කය ගැන මොකද කියන්නෙ?

මම ඇමරිකාව, කැනඩාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල පුද්ගල සංවර්ධන පුහුණු කටයුතු කරනවා. එතැනදී ඇමරිකාවෙ, කැනඩාවේ ප්‍රධාන නගරවලින් පරිබාහිරව ලොකු ක්‍රීඩාංගණ පහසුකම්, යටිතල පහසුකම් නැහැ. නමුත් ඔවුන්ගේ අර අපි ඉස්සෙල්ලා කියපු ආකාරයේ දක්ෂයින් සොයායන ක්‍රමවේදයක් තිබෙනවා. අපේ ඒක නෑ. අපි යටිතල පහසුකම් ගැන තර්ක කරනවා?

ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකරුවන් කියා කණ්ඩායමක් සිටිනවා. ඔවුන් තමයි ජාත්‍යන්තර තරගාවලි සම්බන්ධීකරණ කරන්නෙ? උදාහරණයකට ඔය ලෝකය පුරා විවිධ රටවල තියෙන ප්‍රමුඛ පෙළ, ප්‍රාන්ත තරගාවලි වගේ ඒවා? දැන් එවැනි කළමනාකරුවන් ඔබ වැනි පුද්ගල සංවර්ධන උපදේශකයන්ගෙන් තමන් යටතේ ඉන්න ක්‍රීඩකයන්ට පුහුණුවක් ලබාදෙනවා නම් එයින් ප්‍රයෝජන ලබාගන්න හැකියි නේද?

මම ඇමරිකාවේ, කැනඩාවේ පුද්ගල සංවර්ධන පුහුණු වැඩමුළු තියන්නෙ මේ කියන කළමනාකරුවන්ගේ ආරාධනාවන්ට අනුවයි. නැතුව ක්‍රීඩකයෝ මට එන්න කියන්නෙ නෑ. ඒ ඒ ක්‍රීඩාවල කළමනාකරුවෝ තමයි කතාකරන්නෙ? ඔබ කරන යෝජනාව නිවැරදියි. එය ඔවුන්ට කළ හැකියි.

දැන් භාෂා අර්බුදය ගැන කතාකරන්න සිද්ධ වෙනවා. පුද්ගල මානසිකත්වය සංවර්ධනය කිරීම සිදුවන්නෙ තමන්ට සමීප භාෂාවෙන් නම් එය වඩා ඵලදායී නේද?

සත්තකින්ම. දැන් මම ඉංග්‍රීසි හා සිංහල කියන භාෂා දෙකෙන්ම මේ කියන දේ කරනවා. පිටරටදී ඉංග්‍රීසියෙන් කරන පුද්ගල සංවර්ධනය අපේ රට ඇතුළෙ කරන්නෙ සිංහලෙන්. එ්ක තමයි සාර්ථක. ඔබ නිවැරදියි. දැන් ප්‍රංශ විතරක් කතාකරන කෙනෙකුට මම ඉංග්‍රීසියෙන් ගිහින් මේ පුද්ගල සංවර්ධනය කරලා වැඩක් නෑ. මම කරන්නෙත් නෑ.

ඔබ මේ විෂය ඉගෙන ගත්තෙ කොහොමද?

ඒක මම බටහිරෙන් ඉගෙන ගත්තු දෙයක් නොවෙයි. හැමදේම අපේ පුරාණ දැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඒවා කාටත් වැටහෙන බටහිර ආකෘතියට දමලා මම මේ දේ ක්‍රියාවට නංවනවා. ඒ නිසයි මගේ සේවය බටහිර ලබාගන්නෙ. නැත්නම් තවමත් සංවර්ධනයවී නැති රටකින් පුද්ගල සංවර්ධකයකුගේ සේවය බටහිරින් ලබාගන්නෙ නෑ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි