ශ්‍රී ලංකාව දිනූ පළමු කුසලානයට නායකත්වය දී අකාලයේ නිවී ගිය සුපිරි ක්‍රිකට් තරුව : අනුර රණසිංහ

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව දිනූ පළමු කුසලානයට නායකත්වය දී අකාලයේ නිවී ගිය සුපිරි ක්‍රිකට් තරුව : අනුර රණසිංහ

“අනුර රණසිංහ කිව්වම කවුද නොදන්නේ?" එහෙම බය නැතිව කියන්න ඕනෑම කෙනෙකුට හැකිවුණේ මීට දශක කීපයකට ඉස්සරයි. ඒත් ඒ ප්‍රකාශය දැන් කාලෙ කියන්න කාටවත් බැහැ කිව්වොත් වරදක් නැහැ. ඒක කියන්න වෙන්නේ කනගාටුවෙන් වුණත් යතාර්ථය තමයි ඒක. කාලයේ වැලිතලාවෙන් වසා දැමූ බලධාරීන්ගේ අමනෝඥකම් සමඟ මකා දැමූ අපූර්ව ක්‍රීඩකයකුගෙ නමක් වශයෙන් අපිට අනුර රණසිංහව හඳුන්වන්න පුලුවන්. ජපානයේ පෙළ පොතකට තමන් ගැන පරිච්ඡේදයක් ඇතුළත් කරගත්ත ආර්. කරුණානන්ද වගේම අකාලයේ ජීවිතයෙන් සමුගත් ක්‍රීඩකයෙක් වශයෙන් අපිට අනුර රණසිංහව හඳුන්වන්න පුළුවන්. මෙම කතාව අන්තර් ජාලය ඔස්සේ අපි කියවද්දී එහි කර්තෘත්වය දැරුවෙ හේලිත හෙට්ටිආරච්චි. හේලිතගෙ මෙම ලිපිය කියවපු ගමන් අපි ඔහුගෙන් ඇහුවෙ සුවහසක් පාඨකයන් වෙනුවෙන් ‘රැස’ ක්‍රීඩා සංග්‍රහයේ මේ ලිපිය පළකරමුද කියලයි. ඔහු ඊට එකඟ වුණා පමණක් නොවෙයි, හැකි සෑම අවස්ථාවකම ලිපියක් ලියන්නත් එකඟ වුණා. මේ ඔහු අනුර රණසිංහ කියන අමතක කළ නොහැකි වීරයා ගැන ලියූ සටහනක්.

අනුර රණසිංහ දන්නෙ කවුද කියලා දැන් කාලේ නම් අපිට අහන්න බැහැ. මොකද මේ ලිපිය බලන අයගෙන් අඩුම 90% ක් දන්නේ නෑ කවුද අනුර රණසිංහ කියන්නේ කියලා. ඒක කිරි ගහට ඇන්නා වගේ විශ්වාසයි. කොටින්ම මේ ලිපිය ලියන මම උනත් අනුර රණසිංහ ඉගෙනගත්ත පාසලේම ඉගෙනගන්න පිංවන්ත වෙලා තිබ්බත් ඒ චරිතය ගැන එහෙම ලොකුවට දැනගෙන හිටියේ නැහැ.

හැබැයි අනුර රණසිංහ කියන්නේ,

• ක්‍රිකට් ලෝක කුසලානයක් ක්‍රීඩා කරපු පළමු පාසල් ක්‍රීඩකයා.

• ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ලබාගත් පළමු කුසලානයට නායකත්වය දුන් ක්‍රීඩකයා.

• 1974/75 අවුරුදු දෙකේදිම වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා.

• දකුණතින් පන්දුවට පහර දුන්න වමතින් මද වේග,දඟ පන්දු යවපු ඒ වගේම අති දක්ෂ පන්දු රකින්නෙක්.

• තහනම් දකුණු අප්‍රිකානු සංචාර‍ය නිසා ක්‍රිකට් ජීවිතය අවාසනාවන්ත ලෙස හමාර කල ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටි ක්‍රීඩකයෙක්.

එහෙම බැලුවම අනුර රණසිංහ කියන ක්‍රීඩකයා පිළිබඳ නොදන්නවනම් ඒක ලැජ්ජාවක්. කනගාටුවට කරුණක්. මම උසස්පෙළ කරන කාලේ ඒ කියන්නේ 2007/08 කාලේ පන්නිපිටියේ නැවතිලා හිටපු බෝඩිමේ අයිතිකාර ආරි අංකල් ක්‍රිකට් උන්මාදයෙන් පෙළුණු කෙනෙක්. අවාසනාවට ඔහු දැන් ජීවතුන් අතර නැති උනත් බලන්නන් වාලේ මැච් නොබලා ක්‍රිකට් ගැන අවබෝධයක් ඇතුව බලන්න මාව පෙළඹවපු එක ගැන නම් හැමදාම මම ඔහුට ණයගැතියි. එහෙම මට ක්‍රිකට් රස විඳින්න ඉගැන්වූ ආරි අංකල්ගේ මුවග තිබුණු නමක් තිබුණා. ඒ අනුර රණසිංහ.

“හේලිත 82 දි අනුර ගැහුවා ගැහිල්ලක් ඉන්දියාවට උණ ගැනෙන්නම. ආය ඉතින් කපිල් දේව්ට එහෙම කට උත්තර නැතිවෙලා හිටියේ”

ඔය වගේ කතා කීපයක්ම ආරි අංකල් මට අනුර රණසිංහ ගැන කියලා තියෙනවා. ඉතින් ආරි අංකල්ගෙන් අනුර රණසිංහ ගැන විවිධ කතා නිතර නිතර අහනකොට මට හිතුනා අපේ ඉස්කෝලේම මෙච්චර වැඩ්ඩෙක් ඉඳලා තියෙද්දිත් මම ඒ ගැන නොදන්න එක ලැජ්ජාවක්, මදිපුංචිකමක්ය කියලා. මේ සිද්ධිය සිද්ධ වුණු 2007 වසරෙදි වුණත් ඔය ගූගල්,ඉන්ටර්නෙට් ලොකුවට පාවිච්චි කරපු කාලයක් නොවෙයි. කොළඹ කියලා ඒකෙ ලොකු වෙනසක් තිබුණේ නෑ. ඒ කාලේ ඉන්ටර්නෙට් ගියේ ඉතින් පැයට රුපියල් 50 ක් දීලා. ඒත් කොහේ හරි ටවුමක තියෙන කැෆේ එකකට රිංගලා. ෆෝන්වල හරි ලැප්ටොප් හරි හුඟාක් දෙනෙකුට තිබුණෙ නෑ. අනෙක අතේ පිච්චිය නැති ඒ කාලේ කැෆේ රිංගලා ක්‍රිකට් විස්තර බලන්න අපිට කියලා ආයෙ පිස්සුවක් ඇතෑ! අතේ තිබ්බෙත් සෝනි එරික්සන් ෆෝන් කට්ටක් ඒකේ ඉන්ටර්නල් මෙමරිය 4mb.එකෙන් මොනවත් සෙල්ලම් දාන්ඩ බෑ. ඔය හේතු නිසා අනුර රණසිංහ ගැන දැනගන්න ඔහු ගැන ලියැවුණු පරණ පත්තර වල පිහිට පතන්න මට සිද්ධ වුණා.

ආරි අංකල්ගෙම පරණ ඩේලි නිව්ස් පත්තර තොගයක් පෙරළලා ඒවයේ තිබ්බ ක්‍රීඩා අතිරේක අස්සේ හොයලා හොයලා අනුර රණසිංහ කවුද කියලා ටිකක් විතර විස්තර හොයා ගත්තා. ඒ වැඩේට පින්සිද්ධ වෙන්න මේ සුපිරි චරිතය මොනවගේ කෙනෙක්ද කියලා යාන්තමින් අවබෝධ කරගන්න මට හැකිවුණා. හැබැයි ඒ දැනගත්ත ටික මගේ හිතට මදි. ඊට ටික කාලෙකට පස්සේ දවසක් ඉස්කෝලේ පුස්තකාලේ අයිස් පාරක් ගහන්න සෙට් වෙලා ඉන්නකොට පරණ බිග් මැච් ගැන විස්‍තර ලියපු දඩාර් සයිස් පොතක් මට හම්බවුණා. මේං බොලේ මේ පොත අස්සෙ අනුර රණසිංහගේ ඉඳන් මහේල ජයවර්ධන වෙනකල්ම මුළු ඉතිහාසෙම තියෙනවා.

ඉහේ මල් පිපුණා වගේ සංතෝසයි!

ඉතින් ඊට පස්සෙ මම කළේ පුළු පුළුවන් වෙලාවට පුස්තකාලෙට රිංගලා ඕක කියවන එකයි. ඒ කියෝපුවයි පසුව සොයාගත්ත තොරතුරුයි ඇසුරෙන් තමයි මම මේ ලිිපිය ලියන්නෙ.

අනුර ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබයි

අනුර නන්දසේන රණසිංහ උපත ලබන්නේ 1956 ඔක්තෝබර් 13වනදා කලුතරදි. කලුතර උපත ලැබුවා උනත් අනුර තමන්ගේ මුළු ජීවිත කාලෙම වගේ හිටියේ කොළඹ කිරුළපන ප්‍රදේශයේ. අනුර ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නේ අවුරුදු 10කටත් වඩා අඩු වයසකින්. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අනුර යොමුවෙන්නෙත් හරි අහඹු විදියකට. ඒ ප්‍රේමසර ඈපාසිංහ නිසයි. ඈපාසිංහ කිව්වමනම් ඉතින් ඕන ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් දන්නවා. හැබැයි හැමෝම ඈපාසිංහ මහත්මයව දන්නේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට. ඒ උනත් ගොඩක් අය එතුමා ගුරුවරයෙක් කියලා දන්නෙ නෑ. ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා කාලයක් ඉගැන්වීම් කටයුතු වලට අමතරව කොළඹ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා භාර ගුරුවරයා විදියටත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම එතුමා ජීවත් වුණෙත් අනුර ජීවත් වුණු කිරුළපන ප්‍රදේශයේමයි. ඉරිදා දවසක උදෑසන එතුමා තමන්ගේ බිරින්දෑ ස්වර්ණා මහත්මිය එක්ක පොළේ යනකොට දකිනවා කිරුළපන මහජන ක්‍රීඩාංගනයේ ටෙනිස් බෝලෙන් ක්‍රිකට් ගහන ගැටව් ටිකක්. ඒ ගැටවුන්ට වයස අවුරු 16 ක් 17 විතර ඇති බව ඔහු දකිනවා. මේ ක්‍රිකට් මැච් එක බලන්නත් සාමාන්‍ය පිරිසක් වටේ එකතු වෙලා ඉන්න හැටිත් දැකපු ඔහුගේ දෙනෙත් පිට්ටනියේ දියත් වෙන තරගයට යොමුවෙනවා. එතකොට එතුමට පේනවා වයස අවුරුදු 10ක විතර පොඩ්ඩෙක් අවුරුදු 16ක් 17ක් වෙච්ච කොල්ලෙක් එවන වේග පන්දුවලට පිට්ටනිය හතර වටේටම එලෝ මෙලෝ නැතුව නෙළනවා. මේක ටිකක් අසාමාන්‍ය දර්ශනයක් බව ප්‍රේමස ඈපාසිංහ මහත්මයාට පේනවා. එතුමා තමන්ගේ බිරින්දෑට කියනවා තනියෙන් පොළට ගිහින් එන්න කියලා. මේ තරගය බලන්න තමන් මෙතන නවතිනවාය කියලත් ඔහු කියනවා.

සෑහෙන වෙලාවක් තිස්සේ මේ පොඩ්ඩා සෙල්ලම් කරන දිහා බලන් හිටපු ඈපාසිංහ මහත්මයට හිතෙනවා මේ පොඩ්ඩාව නාලන්දා විද්‍යාලයට ගත්තොත් දුර ගමනක් යයි කියලා. එහෙම හිතලා මේ පොඩ්ඩගේ විස්තර හොයාගන්න ඕන නිසා එතන හිටපු කෙනෙක්ගෙන් පොඩ්ඩගේ ගේ කොහෙද කියලා අහනවා. ඒ මනුස්සයා පිට්ටනිය කෙලවරේම තිබ්බ ගෙයක් එතුමට පෙන්නලා තියෙනවා. පිට්ටනිය කෙළවරේ තිබ්බ ඒ ගෙදරට ගියපු ඈපාසිංහ මහත්මයා අනුරගේ අම්මව හමුවෙලා තිබුණෙ ඒ විධිහටයි. ඇගෙන් එතුමා විමසනවා අනුර මොන පාසලටද යන්නේ කියලා.

"සර් අනුර යන්නෙත් සර් උගන්නන ඉස්කෝලේ නාලන්දෙටමයි" කියලා අම්මා උත්තර දෙනවා.

මේක අහපු ඈපාසිංහ මහත්මයා එතනින් පිටත් වෙලා තියෙන්නේ අවුරුදු 12න් පහළ ක්‍රිකට් සංචිතයට අනුරව බඳවාගන්න අනුරගේ දෙමාපියන්ගේ කැමැත්තත් අරගෙනමයි. ඊළඟ දවසේ පාසලේ ප්‍රාථමික අංශෙට ගිහින් අනුරවත් මේ ගැන තවත් දැනුවත් කරපු ඈපාසිංහ මහත්මයා අනුරව අවුරුදු 12න් පහළ පාසල් ක්‍රිකට් පුහුණු සංචිතයට බඳවගන්නවා. මේ කාල වකවානුවේ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු තනතුර භාරව හිටියේ ජෙරී ගුණරත්න මහත්මයයි. සිලෝන් ක්‍රිකට් ටීම් එක පවා නියෝජනය කරපු ගොඩක් අත්දැකීම් තිබ්බ ජෙරී ගුණරත්න මහත්මයා ඈපාසිංහ මහත්මයාගෙත් ක්‍රිකට් පුහුණුකරුවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කාලෙදිත් ජෙරී ගුණරත්න මහත්මයා තමයි පුහුණු කටයුතු කරලා තිබුණේ. ඉතින් තමන් සොයාගත්තු අලුත්ම ක්‍රීඩකයා ගැන පොඩ්ඩක් බලන්න කියලා ඈපාසිංහ මහත්මයා ගුණරත්න මහත්මයාගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ගුණරත්න මහත්මයා මේ විධිහට අළුතෙන් ක්‍රිකට් සංචිතයට ආපු අනුර දිහා පිට්ටනියේ හෙවණක් යට ඉඳගෙන බලාගෙන ඉන්නවා.

එහෙම ඉඳලා ඇවිල්ලා එතුමා ඈපාසිංහ මහත්මයට කියනවා,

"මගේ දෙයියනේ ඈපා! උඹ පෙන්නපු පොඩි එකා නම් මහ අමුතුම ජාතියේ එකෙක්.මේ පොඩි එකත් හරියට මගේ යාළුවා සතාසිවම් වගේ බං. මුගේ ඇඟේ ක්‍රිකට් තියෙන්නේ උප්පත්තියේ ඉඳලමයි.බය කියන එක ගෑවිලාවත් නෑ. හැබැයි ඌට ක්‍රිකට් උගන්නන්න යන්න එපා. ඌට විනය කියන දේ විතරක් උගන්නපන්. එ්කට මඟ පෙන්නපන්. මතක තියාගනින් මේ කොල්ලා දිගටම ක්‍රිකට් ගැහුවොත් අනිවාර්යයෙන්ම තව අවුරුදු 8,9 ක් යනකොට සිලෝන් ටීම් එකට ගහනවා"

ගුණරත්න මහත්මයා එදා පළ කළ අනාවැකිය ඒ විදියටම සැබෑවුණා. මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මෑත කාලයක් වනතුරුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙන්න ප්‍රධානම හේතුව පාසල් වල හිටපු විශිෂ්ට පුහුණුකරුවෝ කියන එක. ඒක අදටත් ගැලපෙන සත්‍යයක්. හරි නැවත කතාවට එමු.

 

අනුරගේ පාසල් දිවියේ ස්වර්ණමය යුගය

අවුරුදු 10න් පාසල් ක්‍රිකට් වලට යොමුවුනු අනුර දවසින් දවස වැඩි දියුණු වුණා. ඔහු නාලන්දා විද්‍යාල අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මුලින්ම නියෝජනය කරන විට වයස අවුරුදු 15ක්. වයස අවුරුදු 15න් තමන්ගේ මුල්ම අවුරුදු 19න් පහල ක්‍රිකට් තරගයේ කුරුණෑගල මලියදේවයන්ට එරෙහිව ක්‍රීඩා කරපු අනුර නතර වෙන්නේ නොදැවී ලකුණු 115ක් ලබාගෙන. ඒ වගේම අනුර මේ කාල වකවානුවේදි පාසල් මට්ටමේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා විදියට සලකන්න හේතුවෙන්නේ බොහොම අඩු කාලයකින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් බොහොමයකට එරෙහිව ශතක ලබාගත්තා. ඒ වගේම පන්දුවෙන් කඩුලු ලබාගැනීමටත් සමත් වුණා.

1974/75 වසර දෙකේදිම වසරේ හොඳම පාසල් ක්‍රීඩකයා විදියට පිදුම් ලබන්නත් 1975 ලෝක කුසලාන සංචිතයට තේරී පත්වෙන්නත් මේ අසාමාන්‍ය දක්ෂතා හේතු වුණා කිව්වොත් වඩාත් නිවැරදියි. අනුරගේ මේ නිරන්තර වැඩිදියුණු වීම් පිටුපස හිටියේ ජෙරී ගුණරත්න මහත්මයට පස්සේ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු විදියට කටයුතු කරපු නෙල්සන් මෙන්ඩිස් මහත්මයා. නෙල්සන් මෙන්ඩිස් මහත්මයා සඳහන් කරන විදියට එතුමගේ වසර 53ක පුහුණුකාර ජීවිතයේ කවදාවත් අනුර වගේ ක්‍රීඩකයෙක් දැකලා නැතිලු. ඒකට හේතුව අනුරගේ තිබ්බ සටන්කාමීත්වය. අනුර ක්‍රිකට් සංචිතයට ආපු මුල් දවස්වලම ඒ කියන්නේ අනුරට අවුරුදු 10ක් වගේ වෙද්දි වෙච්ච සිද්ධියක් එතුමා පසුකාලයක මතක් කළේ මේ විධිහටයි. අනුර අවුරුදු 12න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට දවසක් ඔහුගේ ඔලුවේ බෝලේ වැදිලා මැහුම් කීපයක්ම ගහන්න සිද්ධ වුණා. අනුරට තුවාල උන දවසට පස්සෙ දවසේ තමයි අවුරුදු 12න් පහළ සමස්ත ලංකා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය තිබ්බේ. ඉතින් මම ගිහින් අනුරගෙන් ඇහුවා හෙට මැච් එක ගහන්න පුළුවන්ද කියලා.

අනුර ගත් කටටම මගෙන් ආපිට ඇහුවේ,

"ඇයි බැරි සර්?" කියලා.

තවත් දවසක් අනුර මේ වගේම වැඩක් කළා. එතකොට අනුර නාලන්දා විද්‍යාලයේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා. ඔහු පාසල් කණ්ඩායමේ ඉන්න ගමන්ම 1975 ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයේ හිටපු නිසා ලෝක කුසලාන පුහුණුවීම් වල නිරත වුණා. පුහුණුවීම් වලදි ඩෙනිස් චන්මුගම්ගේ බවුන්සර් පන්දුවක් මූණේ වැදිලා රෝහල් ගතවෙලා සැත්කමක් කරන්නත් සිද්ධ වුණා. මේ සිද්ධිය උනේ 1975 වසරේ ආනන්ද - නාලන්ද බිග්මැච් එකට දවස් 4 කට කලින්. වෛද්‍යවරු කියන දේවල් ගණන් ගන්නේ නැතුව අනුර බිග්මැච් එක දවසේ ග්‍රවුන්ඩ් එකට ආවේ මූණේ භාගයක් විතර ප්ලාස්ටර් වලින් වහගෙනයි. එහෙම ආපු අනුර ආනන්ද පළමු ඉනිමේ කඩුලු 8ක් ලකුණු 39කට දවාගෙන අවුරුදු 30ක් තිස්සේ පී.ඩබ්ලිව්. පෙරේරා තියලා තිබ්බ වාර්තාව බිඳලා දානවා.දෙවෙනි ඉනිමෙත් කඩුලු 6ක් දවාගත්ත අනුර මුළු තරගෙදිම කඩුලු 14 ක් දවාගෙන තියපු වාර්තාව අදටත් නොබිඳුනු වාර්තාවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාගත් මුල්ම කුසලානය

1975 වසරේදි ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට ආරාධනයක් ලැබෙනවා පකිස්තානයේ බෙනාසීර් අලි භූතෝ කුසලානය සඳහා ක්‍රීඩා කරන්න. අනුරගේ නායකත්වයෙන් පකිස්තානයට ගියපු කණ්ඩායමේ රන්ජන් මඩුගල්ලේත් ඇතුලත් වෙලා හිටියා.පකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ සුප්‍රසිද්ධ ජාවේඩ් මියන්ඩැඩ්.මේ තරගෙදිත් අර්ධ ශතකයක් වගේම කඩුලු 4ක් බිඳදමන අනුර ක්‍රිකට් ක්‍රීඩාව නිසා අන්තර්ජාතික මට්ටමෙන් ලබාගත්ත පළමු කුසලානය ශ්‍රී ලංකාවට හිමි කර දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීම

1975 පෙබරවාරි මාසයේ නිල නොලත් ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකාවත් කොදෙව් කණ්ඩායමත් අතර පැවැත්වෙනවා. මේ තරගාවලියෙදි ඇන්ඩි රොබට්ස්, කීත් බොයිස්, බර්නාඩ් ජූලියන් වගේ භයානක වේග පන්දු යවන්නන්ට පාසල් සිසුවෙක්ගේ වයසේ ඉඳිද්දිත් අනුර රණසිංහ පහර දීපු ආකාරය ප්‍රශංසනීය බව තමයි විචාරකයෝ සටහන් කරලා තිබෙන්නේ. මේ සංචාරයෙන් පස්සේ එංගලන්තයේ පැවතිච්ච 1975 ලෝක කුසලානයෙදි අපේ පිතිකරුවෝ දෙන්නෙක්ව රෝහල් ගතකරන්න තරම් භයානකව පන්දු යවපු ලිලී,තොම්ප්සන් පන්දු යවන්නෝ දෙපලට අනුර නොබියව පහර දී නොදැවී සිටි ආකාරයද අමතක නොකළ යුතුයි.

1982 වසරේදි ශ්‍රී ලංකාවේ මුල්ම ටෙස්ට් තරගයට

ඇතුළත් නොවීම

1981 වසරේදි කිම් හියුස්ගේ නායකත්වයෙන් ලංකාවට ආපු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී. පිටියේදි ලකුණු 68ක ඉනිමක් දියත් කරපු අනුර නැවතත් 1982 වසරේදි එස්.එස්.සී. පිටියේදි එංගලන්තයට එරෙහිව එක්දින තරගයකදි අර්ධ ශතකයක් ලබාගන්නවා. මේ අර්ධ ශතකය ලබාගන්නා අතරේ එංගලන්තයේ ඉයන් බොතම්ගේ පන්දුවකට අනුර එල්ල කරපු හුක් පහරක් නිසා පන්දුව නතර වෙලා තියෙන්නේ එස්.එස්.සී. පිටියේ ස්කෝර්බෝර්ඩ් එකටත් උඩින් ගිහින් එහාපැත්තට වැටිලා.

හැබැයි මේ තරගෙන් දවස් 4කට පස්සේ තිබුණු ශ්‍රී ලංකාවේ මුල්ම ටෙස්ට් තරගයට අනුර වෙනුවට අර්ජුන රණතුංගව ඇතුළත් කරනවා. අර්ජුන මේ තරගෙදි අර්ධ ශතකයක් ලබාගන්නවා. තමන්ව මුල්ම ටෙස්ට් තරගයට ඇතුළත් නොකරපු එක ගැන අනුර පසුතැවිල්ලට වෙනවා. අනුරගේ කඩාවැටීමට මූලික වෙච්ච හේතුවත් මේකම තමයි.

ටෙස්ට් සංචිතයට ඇතුළත් වීම

අනුර රණසිංහ අන්තර්ජාතික මට්ටමෙන් ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග දෙකක් පමණයි. පළමු ටෙස්ට් තරගය පකිස්තානයට එරෙහිවත් අවසාන ටෙස්ට් තරගය ඉන්දියාවටත් එරෙහිව ක්‍රීඩා කරපු අනුර මුල් ටෙස්ට් තරගයේදි වගේම ඉන්දියාව සමඟ චෙපොක් ක්‍රීඩාංගනයේදි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමෙත් සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවයක් පෙන්වන්නේ නැහැ.

දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදි අනුර පන්දුවට පහරදෙන්න පිටියට පැමිණෙන වෙලාවෙදි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 202 කට කඩුලු 5ක් දැවීගොස් අවසන්. ඒ වගේම ඉනිමක පරාජයෙන් බේරෙන්නත් තව ලකුණු 20 ක් ලබාගන්න අවශ්‍යව තිබුණා. මේ වගේ තත්වයක් තියෙද්දි පිටියට ආපු අනුර එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් නොකරපු Counter attack එකක් දියත් කරනනේ කපිල් දේව් ඇතුළු ඉන්දියානු වේග පන්දු යවන්නන් මව්ත කරමින්. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 394ක් ලබාගෙන ඉනිම අවසන් කරන්නේ ඉන්දියාවට තරඟය ජයගැනීමට ලකුණු 175ක ඉලක්කයක් ලබාදෙමින්. ශ්‍රී ලංකාවේ අවාසනාවකට කාලය හරස් වුණත් තරගය අවසන් කරනවිට ලකුණු 175ක ඉලක්කය හඹාගිය ඉන්දියාව ලකුණු 135කට කඩුලු 7ක් දැවීගිහින් ඉතා අසීරු තත්වයකට පත් වී සිටි අතර එදා තරගයේ තව යම් වේලාවක් ඉතිරිව තිබ්බා නම් ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ජය වාර්තාවෙන්නත් ඉඩකඩ තිබූ බව මුසාවක් නොවේ.

තහනම් දකුණු අප්‍රිකානු තරගාවලිය

තමන්ව පළමු ටෙස්ට් තරගයට ඇතුළත් නොකිරීම නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ යම් කලකිරීමක් පැවති නිසාද, ආර්ථික වාසිය නිසාද අනුර රණසිංහ, බන්දුල වර්ණපුර, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම වැනි ක්‍රීඩකයින් සමඟ තහනම් දකුණු අප්‍රිකානු තරඟාවලියට සහභාගී වෙනවා.මේ නිසා අනුර ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සියළු දෙනාටම වසර 25ක ක්‍රිකට් ක්‍රීඩා තහනමක් පැනවෙනවා.

අකාලයේ මෙලොව හැර යෑම

බොහෝ තරග අවසානයේ ප්‍රේක්ෂක කරමතින් ක්‍රීඩාගාරයට පැමිණි අනුර ක්‍රිකට් ක්‍රීඩාව අහිමිවීමේ වියෝව නිසාම 1998 නොවැම්බර් 9 වනදා වයස අවුරුදු 42දි නින්දෙන්ම මෙලොව හැරයනවා. ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුවක් අකාලයේ ඒ ලෙස මෙලොව හැරගියේ තම දක්ෂතා නිසි ලෙස ලොවට ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීමේ අවාසනාවද දෝතින් දරාගෙනයි!

[හේලිත හෙට්ටිආරච්චි]

මාතෘකා