ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය

ශ්‍රී ලංකාවට මිශ්‍ර තරග අංශයේ අටවැනි ස්ථානය

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර තරගවලදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම අටවැනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ. කැනඩාවේ ටොරෙන්ටෝ හි මාර්ක්හැම් මධ්‍යස්ථානයේදී තරගාවලිය මේ දිනවල පැවැත්වෙයි.

මිශ්‍ර තරග වටයේ මූලික තරගවලදී කෙන්යාව සහ ෆෙරෝ දූපත් ක්‍රීඩකයන් පරාජය කිරීමට මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙන්යාව හා ෆෙරෝ දූපත් ක්‍රීඩකයන් 5-0 ක් ලෙසින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට අවස්ථාව උදාවිය. ඒ අනුව ඊ කාණ්ඩය යටතේ සහභාගිවී සිටි ඔවුන් ඉන් දෙවැනි ස්ථානය දිනාගැනීමට ඔවුහු සමත් වූහ. දමිඳු අබේවික්‍රම විසින් බාලක ඒකල ඉසව්වේ තරග දෙකක් ජයගත් අතර දිල්මි ඩයස් විසින් බාලිකා ඒකල ඉසව්වේ තරගයකින් ෂේන් පටෙල් පරාජය කළාය. බාලිකා යුගල තරගයකදී ජනනුවනී මාස්කෝරාළ සහ හෂිනි අම්බලන්ගොඩ විසින් කෙන්යානු ක්‍රීඩිකාවන් දෙදෙනා පරාජය කරනු ලැබිණි. මේ අතර සෙව්මිණි ගුණතිලක සහ ගැවින් මොරගොඩ විසින් පිරිමි යුගල තරගයකදී ෆෙරෝ දූපත්හි ක්‍රීඩකයන් පරාජය කළහ.

මූලික වටයේ ශූරතාව සඳහා තරග වටයට පිවිසීමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා තරග වටයට පිවිසි අතර එහිදී පළමුවෙන් ස්කොට්ලන්තය සමඟ තරග වැදිණි. එම තරගයේ ජය අහිමිවීමත් සමඟ 5 සිට 8 වැනි ස්ථානය දක්වා තරග වැදුණේ එංගලන්තය සමඟය. එම තරගය පරාජයවීමෙන් අනතුරුව 7 හා 8 ස්ථාන වෙනුවෙන් තරග වැදුණේ ප්‍රංශ කණ්ඩායම සමඟය. එහිදී ප්‍රංශයට පරාජය වෙමින් තරගාවලියේ මිශ්‍ර අංශයේ 8 වැනි ස්ථානය දිනාගත් කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. මෙම තරගාවලිය සඳහා පාසල් බැඩ්මින්ටන් සංගමය නියෝජනය කරමින් දුමිඳු අබේවික්‍රම, චිරාත් ඉලේපෙරුමාරච්චි, චමත් ඩයස්, සෙව්මිනි ගුණතිලක, ගාවින් මොරගොඩ, නඳුන් පුංචිහේවා, දිල්මි ඩයස්, ජනනුවනි අමන්දා, හෂිනි අම්බලන්ගොඩ, අනුරංගි මාස්කෝරාළ, තනුෂි රත්නායක, විශ්මි එදිරිසිංහ, මනුකි චන්ද්‍රසේකර, චමීර කුමාරප්පෙරුම (පුහුණුකරු), සම්පත් වරාගොඩ ( කළමනාකරු), සුජීවා ද සිල්වා (කාන්තා භාර නිලධාරිණී) සංචාරයට එක්ව සිටිති. තරගාවලියේ ඒකල තරග ඉසව් ඊයේ ආරම්භවීමට නියමිත විය. තරගාවලිය වෙනුවෙන් රටවල් 48 ක් තරග වැදී සිටින අතර ආසියානු කාලපයෙන් රටවල් 13 ක් මෙම තරගාවලියට ඉදිරිපත්ව ඇත.

මාතෘකා