එංගලන්ත දඟපන්දුව හමුවේ ශ්‍රී ලංකාව දණ නමයි

 ඡායාරූපය:

එංගලන්ත දඟපන්දුව හමුවේ ශ්‍රී ලංකාව දණ නමයි

ටෙස්ට් තරගයේ පාලනය එංගලන්තය අතට

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ ඊයේ තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38 ක් රැස්කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177 ක වාසියක් සහිතව දෙවැනි දිනයේ තරගය නිම කිරීමට සංචාරකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පෙරේදා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ එංගලන්ත කණ්ඩායම පළමු දිනය අවසන් වනවිට කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් රැස්කර සිටියේය. ඒ අනුව දෙවැනි දිනයේදී ද උදෑසන පන්දුවට පහරදෙමින් තවත් ලකුණු 21 ක් ලකුණු පුවරුවට එක්කරගැනීමට ඔවුහු සමත් වූහ. ඒ සඳහා ඊයේ දිනය තුළ පන්දුවාර හයකට ක්‍රීඩා කළ එංගලන්ත පිල වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ බෙන් ෆොක්ස් ලකුණු 107 ක් රැස්කළේය. ඒ සඳහා පන්දු 202 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් ඔහු සිය ඉනිමට ඇතුළත් කිරීමට සමත්විය. මංගල ටෙස්ට් තරගයේදීම එවැනි දස්කමක් සිදුකළ විසි වැනි එංගලන්ත ක්‍රීඩකයා ෆොක්ස් ලෙස සැලකෙන අතර එවැන්නක් ආසියාවේ දී දැක්වූ සිව්වැනි එංගලන්ත ක්‍රීඩකයා වනුයේද ඔහුමය. මෙහි ඇති අනෙක් විශේෂත්වය වනුයේ ශ්‍රී ලංකාවට එරෙහිව මංගල තරගයේදීම ශතකයක් රැස්කළ පළමු එංගලන්ත කඩුලු රකින ක්‍රීඩකයා ඔහු වීමය. ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දුයවන්නන් අතරින් පෙරමුණ ගත් දිල්රුවන් පෙරේරා කඩුලු පහක් බිඳ හෙළීය. සුරංග ලක්මාල් කඩුලු 3ක් දවාගත් අතර අකිල ධනංජය සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවාලූහ.

සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් යම් පමණකට මානසික අවපීඩනයකට ලක්ව පිටියට පිවිසි බවක් පෙනිණි. ඒ ඔවුන් නොපැතූ තරම් සාර්ථකත්වයක් ජෝ රූට්ගේ එංගලන්ත කණ්ඩායම විසින් වාර්තා කිරීම ලෙස දැක්විය හැකිය. ඒ අනුව පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම ශ්‍රී ලංකාව සතු සුපිරි ආරම්භක පිතිකරු ලෙස සැලකෙන දිමුත් කරුණාරත්නගේ කඩුල්ල ජේම්ස් ඇන්ඩර්සන් විසින් දවාගත්තේ කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆොක්ස් සහභාගිවන මංගල ටෙස්ට් දවාගැනීමට උඩපන්දුවක් වෙමින් දායක කරගනිමිනි. ඉන් අනතුරුව සහය ආරම්භක පිතිකරු වශයෙන් පිටියේ රැඳී සිටි කෞෂාල් සිල්වා යළිත් වරක් අසාර්ථක වෙමින් සැම් කරන්ගේ පන්දුවකට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පන්දුවාරයේදීය.

ඒ අයුරින්ම ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුලු අහිමිවූ අතර ඇන්ජලෝ මැතිව්ස් හා නායක දිනේෂ් චන්දිමාල් පමණක් යම් තරමකට ස්ථාවර වෙමින් ලකුණු 75ක සබඳතාවක් පිහිටුවනු ලැබූහ. එය බිඳ වැටුණේ ඇඩිල් රෂීඩ් ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ෆොක්ස් විසින් කඩුල්ල බිඳදැමීම දැවීයාමක් ලෙස විනිසුරුවා සනිටුහන් කිරීමත් සමඟය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාවූ එකම අර්ධ ශතකය රැස්කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 122 ක් තුළ ලකුණු 52 ක් රැස්කළ අතර ඔහු දැවීගියේ මොයීන් අලීගේ පන්දුවක් හමුවේය. නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට උත්සහ කළද එංගලන්ත පන්දුයවන්නන්ගේ අභියෝග හමුවේ ඒවා බොඳව ගියේය.

ලකුණු පුවරුව

එංගලන්තය පළමු ඉනිම 342/10 (බෙන් ෆොක්ස් 107, දිල්රුවන් පෙරේරා 5/75, සුරංග ලක්මාල් 3/73)

ශ්‍රී ලංකාව පළමු ඉනිම

දිමුත් කරුණාරත්න ඇ. ෆොක්ස් ප. ඇන්ඩර්සන් 04

කෞෂාල් සිල්වා ක.මු.ක. ප. කරන් 01

ධනංජය ද සිල්වා ප. මොයීන් 14

කුසල් මෙන්ඩිස් ඇ. ස්ටෝක්ස් ප. ලීච් 19

ඇන්ජලෝ මැතිව්ස් ඇ. ජෙනින්ග්ස් ප. මොයීන් 52

දිනේෂ් චන්දිමාල් ක.බි.දැ. ෆොක්ස් ප. රෂීඩ් 33

නිරෝෂන් දික්වැල්ල ඇ. බට්ලර් ප. මොයීන් 28

දිල්රුවන් පෙරේරා ඇ. බට්ලර් ප. ලීච් 21

අකිල ධනංජය ඇ. ෆොක්ස් ප. මොයීන් 00

සුරංග ලක්මාල් ඇ. ඇන්ඩර්සන් ප. රෂීඩ් 15

රංගන හේරත් නොදැවී 14

අතිරේක 02

මුළු ලකුණු (සියලු දෙනා දැවී) 203

පන්දුයැවීම

ජේම්ස් ඇන්ඩර්සන් 10-0-26-1, සැම් කරන් 6-1-16-1, ජැක් ලීච් 18-2-41-2, මොයීන් අලී 21-4-66-4, ඇඩිල් රෂීඩ් 9-1-30-2, බෙන් ස්ටෝක්ස් 4-0-22-0

එංගලන්තය දෙවැනි ඉනිම

රොරි බර්න්ස් නොදැවී 11

කීටන් ජෙනින්ග්ස් නොදැවී 26

අතිරේක 01

මුළු ලකුණු 38

පන්දුයැවීම

දිල්රුවන් පෙරේරා 5-0-12-0, සුරංග ලක්මාල් 3-0-14-0, රංගන හේරත් 3-0-10-0, අකිල ධනංජය 1-0-1-0

මාතෘකා