ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තුරුම්පු ආසියා

 ඡායාරූපය:

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තුරුම්පු ආසියා

රංගන හේරත්

කඩදාසි කාඩ් ක්‍රීඩාවේ ලොකුම කොළය ආසියාය. ආසියාට කපන්නට නොහැකි වෙනත් කොළයක් නැති තරම්ය. එහෙත් එයට යම් ව්‍යතිරේකයක් ඇත්නම් ඒ ආසියා අයත්වන්නේ වෙනත් වංශයකට නම් පමණි. එවැනි අවස්ථාවක ආසියා සතු සර්ව සම්පූර්ණ හැකියාව ලැබෙන්නේ ඒ ආසියා තුරුම්පු ආසියා වන්නේ නම්ය. සැබැවින්ම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුරුම්පු ආසියා විය. කාලයක් තිස්සේ නායකයන් රැසක් යටතේ එකී භූමිකාව ඉසිලූ ඔහු ස්වකීය වගකීම හැරපියා නික්ම යාමට සූදානමින් සිටී. ගාල්ල ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ඇරඹි සිය ගමන ගාල්ලේදීම අහවර කිරීමේ නොතිත් ආශාවෙන් කටයුතු කරන ඔහු රංගන හේරත්ය. මේ රංගන හේරත් සම්බන්ධයෙන් තබන සංක්ෂිප්ත සටහනකි.

‘පුතාගෙ වැඩේම බෝලයක් අරගෙන සෙල්ලම් කරන එක. කන්න ගියත් බෝලය අතහරින් නැති තරමට එයා පුංචි කාලෙදී බෝලෙට ආදරය කළා. පුංචි කාලෙ අයියා ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පුංචි පුතත් ක්‍රිකට් ගැන නොදැන වුණත් පන්දුවෙන් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මම කිසිම වෙලාවක එයාගෙ කැමැත්තට බාධා කළේ නෑ. අන්තිමට නාරම්මල මයුරපාද විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් එයා පටන් ගත්තා. මුලදී පොඩි පුතා යැව්වෙ වේග පන්දුයි. පසුව පුහුණුකරුගේ උපදෙස් පිට දඟ පන්දු යවන්න හුරුවුණා’ මේ කලකට ඉහත රංගන හේරත් සම්බන්ධයෙන් ඔහුගේ මව අප සමඟ පැවසූ අදහසක සංක්ෂිප්තයකි.

පියා අහිමිවූ පවුලක් රැක බලාගත් මෙම දිරිය මාතාව නාරම්මල මයුරපාද විදුහලෙන් තම පුතුට කුරුණෑගල මලියදේව විදුහලට පිවිසීමට ලැබුණු අවස්ථාව ඉතසිතින් බාරගත්තාය. එතැන් සිට ඔහු මයුරපාදය වෙනුවට ක්‍රීඩා කළේ මලියදේවයටය. ඔහු එතැනින් නොනැවතුණු අතර පාසලේදී අධ්‍යාපනයට වඩා හපන් කම් දැක්වූයේ ක්‍රිකට් ක්‍රීඩාවටමය. තම දරුවාගේ කුසලතා හොඳින් තේරුම් ගත් මව පොතේ පතේ අධ්‍යාපනය වෙනුවට ක්‍රීඩා අධ්‍යාපනය සඳහා ස්වාභවයෙන්ම එළැඹෙන රංගනට කිසිවිටකත් බලපෑම් කළේ නැත. මේ හේතුවෙන් ඔහු මලියදේවයේ ක්‍රීඩා කරන අතර කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය සමඟ එක්වූයේ 1996-97 තරග වාරයේ සිටය. එසමයේ තමන් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිද්දී ජාතික තලයට පිවිසීමට උත්සාහ ගත යුත්තේ කොළඹින් සැතපුම් ගණනක් දුරින් පිහිටි ප්‍රත්‍යන්ත නගරයක සිට නොව අගනුවර සිට බව තේරුම් ගැනීමට තරම් ඥානයක් රංගනට තිබුණේය. ඒ අනුව ඔහුට හා ඔහුගේ පවුලට සමීපතමයන්ගෙන් ඒ සඳහා උපදෙස් ලැබිණි. ඒ ලැබුණු උපදෙස් ප්‍රකාරව ඔහු කොළඹට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාව දිග් විජය කිරීමේ ඒකායන අරමුණිනි. තමන් උපන් නගරයේ ක්‍රීඩා සමාජයට සමුදී ඔහු කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජය සමඟ එක්වුණේ ඒ ආකාරයටය. ඉන්පසු ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබාගත්තේය. එසේ ද්‍රවිඩ සමාජය සමඟ එක්වෙමින් ඔහු සිහින පිටුපස පියැඹීම තවත් වේගවත් කරගන්නටය.

කෙසේ නමුත් තමන් කොළඹ පැමිණි අරමුණ මස්කප්‍රාප්ත කරගැනීම එතරම් පහසු නොවන බව රංගනට තේරුම් ගියේ ඔහු ක්‍රීඩාව ඇරඹි සමය වන විට ශ්‍රී ලංකා පිලේ නිත්‍ය දඟ පන්දුයවන්නා වශයෙන් මුත්තයියා මුරලිදරන් ස්ථාවරව සිටි හෙයිනි. එහෙත් ඔහු උත්සහය කිසිසේත්ම අතහැරියේ නැත. මුරලිගේ සහයකයා වශයෙන් වරින් වර තණතීරුවල අවශ්‍යතාව මත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීමේ අවසරය ඔහු හිමිකර ගත්තේය. මුරලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා තුරු රංගන හේරත් ක්‍රීඩා කර තිබුණේ ආවා, ගියා ලෙසය. ඒ ටෙස්ට් තරග 22 කට පමණි. එහිදී ඔහු ටෙස්ට් කඩුලු 71 ක හිමිකරුවකු වූ අතර ඒ වනවිට රංගනගේ වයස අවුරුදු 32 ක් විය. මුරලිදරන්ගේ සමුගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශාල ප්‍රශ්නයකට මුහුණ පෑවේය. ඒ ජාත්‍යන්තරය තුළ හරඹ කළ හැකි නිත්‍ය පන්දුයවන්නන් නොමැතිකමය. එහෙත් මුරලිගේ සුවිශාල අඩි සලකුණු මත දිවයමින් පන්දුයැවීම රංගන හේරත් මත පැවරිණි. ඔහු ඉන් තැති ගත්තේ නැත. පසුබැස්සේද නැත. එ් අනුව එතැන් සිට මුරලි නොමැතිව ටෙස්ට් තරග 62 ක් ක්‍රීඩා කරමින් එහිදී කඩුලු 329 ක් දවාගැනීමට ඔහු සමත් වූයේ තමන් කෙතරම් සියුම් හා නිරීක්ෂණාත්මක දඟ පන්දුයවන්නෙකුද යන්න ලෝකය හමුවේ ඔප්පු කරමිනි.

මුරලි නොමැති වුවද ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ලෝක පූජිත පිතිකරුවෝ දෙදෙනෙක් සිටියහ. ඒ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරයි. ඊට ශක්තිය සපයන පන්දුයැවීමේ විශිෂ්ටයා වූයේ රංගන හේරත් යැයි පැවසිය හැකිය. ඔහු එම වගකීම තම උර මත පටවාගත්තේ ලොව සිටින විශිෂ්ටතම වමත් දඟ පන්දුයවන්නා බවටද පත්වෙමිනි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන සෑමවිටම විචාරකයන්ගේ හා ප්‍රතිවාදී කණ්ඩායමේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් කීපදෙනා අතර රංගන හේරත් රැඳී සිටියේ ඒ අනුවය. මේ අතර කාලය තුළ තම නම ඉදිරියේ වාර්තා රැසක් සනිටුහන් කරගැනීමේ ඉඩ ප්‍රස්ථා ඔහුට විවර කරදුන්නේය.

දිවීමට ගොස් වැරදී දැවී යමින් මංගල ටෙස්ට් තරගය සැමරුවද හේරත්ට එය කිසි දිනක අවැඩක් වුණේ නැත. සැළලිහිණි සංදේශකරුවා කියන ආකාරයට ‘බල සුබනිමිති පෙරමග නැකතටත් වැඩි’ යන්න ඒ අනුව අසත්‍යයක් බවට පත්කිරීමට හේරත් සමත් වූයේය. සිය ටෙස්ට් ක්‍රිකට් චාරිකාව තරග 93 දක්වා දීප්තිමත්ව විහිදුවාලූ ඔහු වසර 19 ක් සපිරෙන කාල සීමාව තුළ වාර්තා රැසක් සිය නම ඉදිරියේ සනිටුහන් කරගත්තේය. ඒ අනුව,

විසිවන සියවසේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස තවමත් ක්‍රියාකාරීව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන එකම ක්‍රීඩකයා ලෙසින්ද ඔහු වාර්තාවක් පිහිටුවාලූයේය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ක්‍රිකට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් වමත් දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන්නේද රංගනමය. 2012 වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් (69) දවා ගනිමින් වාර්තාවක් පිහිටුවීමටද ඔහු සමත්වූයේ මේ අතරේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 400 සීමාව ඉක්මවා ගිය දෙවැනි පන්දුයවන්නා වන්නේද එවැනි දක්ෂතාවක් කළ ලොව පළමු වමත් දඟ පන්දුයවන්නා වන්නේද රංගනය.

මේ අතර ලෝකයේ පන්දුයවන්නන් අතරින් 9/127 ක් දවා ගනිමින් එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව විශිෂ්ටතම වමත් දඟ පන්දුයවන්නා වශයෙන් ඉතිහාසයට එක්වීමටද ඔහු අවස්ථාව උදාකරගත්තේය. පාකිස්තානයට එරෙහිව ටෙස්ට් කඩුලු 100 ක් දවාගත් පළමු පන්දුයවන්නා වන්නේද රංගනය. දහ නව වසරක ටෙස්ට් තරග චාරිකාවේ කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලොව දෙවැනි හා වයස්ගතම වමත් දඟ පන්දුයවන්නා ලෙසද ඔහුව සැලකිය හැකියැයි වාර්තා පොත සාක්ෂි දරයි. ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සියලු රාජ්‍යයන්ට එරෙහිව කඩුලු පහක් දවාගත් තෙවැනි පන්දුයවන්නා ලෙසද සැලකෙන්නේ රංගන හේරත්ය.

තම ටෙස්ට් ක්‍රිකට් ජීවිතය තුළ ටෙස්ට් තරගයක කඩුලු 12 දවාගත් අවස්ථා වලින් ඔහු දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන්ට වන අතර ඒ තරග අවස්ථා පහකදී පමණකි. නායකයකු වශයෙන් ටෙස්ට් තරගයක හොඳම පන්දුයැවීම වාර්තා කළ තෙවැනියා වන්නේද ඔහුය. ඔහුට ඉදිරියෙන් එම වාර්තාව වකාර් යුනිස් හා කර්ට්නි වොල්ෂ් පමණි. නායකයකු වශයෙන් ඉනිමක තෙවැනි හොඳම පන්දුයැවීම වාර්තාකර ඇත්තේද රංගන හේරත්ය. මේ අතර ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 1000 ඉක්මවා දවාගත් දෙවැනි පන්දුයවන්නා ලෙසද රංගන හේරත් සැලකෙයි. ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ කඩුලු පහ බැගින් 30 වතාවකට වඩා දවා ගැනීමට සමත් වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා මෙන්ම ලෝකයේ පස්වැනි ක්‍රීඩකයා වශයෙන් වන වාර්තාවද රංගන ස්වසන්තක කරගෙන ඇත.

මෙනයින් බලන කල රංගන යනු අධිෂ්ඨානය, ඉවසීම, කැපකිරීම් සියල්ල සහිත අපූරු ක්‍රීඩකයෙකි. ඔහු මෙතරම් ගෞරව දිනාගත්තද නිහඬ, නිස්කලංක ජීවන ස්වභාවයක් පවත්වාගෙන ගිය ක්‍රීඩකයෙකි. තමන් ලෝකයේ වාර්තා පිහිටුවූ ක්‍රිකට් ක්‍රීඩකයකු යැයි පවසමින් ආඩම්බරයෙන් උදම් නොඇනූවෙකි. දැන් ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සමුගැනීම ප්‍රකාශයට පත්කරනු ලබන තරගයට ක්‍රීඩා කරමින් සිටී. එය අවසන් වනවිට වර්ෂාව බාධාවක් නොවන්නේ නම් රංගන තවත් වාර්තාවක් තමන්ගේ නමට ලියා නොගන්නේ යැයි කිසිවකුටත් පැවසිය නොහැකිය. කෙසේ නමුත් ඔහු ගැන අප තවත් එක් දෙයක් වෙසෙසින් සඳහන් කළ යුතුව ඇත. රංගන යනු කිසිදා අමතක නොවන අපූරු මතකයක් බවය. ප්‍රාදේශීය වාද, කණ්ඩායම් වාද, බාධක, අභියෝග සියල්ල මැඩගත් අපූරු මිනිසෙකි. හතළිස්විය සපුරද්දී සමුගන්න යැයි කිසිවකුත් බලපෑම් නොකරද්දී සමුගැනීමට තීරණය කළ විශිෂ්ටයෙකි. එහි අපූර්වත්වය රැඳී ඇත්තේ තවමත් ක්‍රිකට් ඇඟේ තිබියදී පිටියෙන් සමුගැනීමට තරම් ඔහු නොඇළුණු, අපිස් බව ප්‍රකට කරන ධෛර්යවන්තයකු වීමය. එහෙයින් අපි ඔබේ අනාගතයට සුවහසක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ප්‍රදානය කරනු දක්වනු කැමැත්තෙමු.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා