දකුණු අප්‍රිකාවේ සාජහාන් රජු ලෙස සැලකිය හැකි ඔබ නොදන්නා ඒ.බී. ඩිවිලියර්ස්

 ඡායාරූපය:

දකුණු අප්‍රිකාවේ සාජහාන් රජු ලෙස සැලකිය හැකි ඔබ නොදන්නා ඒ.බී. ඩිවිලියර්ස්

ඒබ්‍රහම් බෙන්ජමින් නැතහොත් ඒ.බී. පසුගියදා සිය සමුගැන්ම ප්‍රකාශයට පත්කළේය. ඉක්මන් වැඩිදැයි සිතෙන තරමට කඩිනම් ප්‍රකාශයක් වූ ඒ.බී. ගේ සමුගැනීම සී.ඩී. එකක් එසේ නැතහොත් සංගත තැටියක්ව ක්‍රිකට් ලෝලීන්ගේ හදවත පතුලේ ඉක්කාවක් මෙන් නතරවී තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ ස්වකීය ගමන අවසන් වීමත් සමඟ ප්‍රකාශයක් නිකුත් කළ ඒ.බී. මෙම සමුගැනීම ප්‍රකාශ කළේය. ඒ. බී. යනුවෙන් අප හැඳින්වුවද ඔහුව කවුරුත් හොඳින්ම හඳුනන්නේ ඒ.බී. ඩි විලියර්ස් වශයෙනි. එහෙත් ඔහු බොහෝ දෙනෙකුට ඩිවිලියර්ස්ය. හරියටම කියන්නේ නම් තවමත් ක්‍රිකට් ඇඟේ තිබෙන වසර කීපයක් ක්‍රිකට් ක්‍රීඩාකළ හැකි ක්‍රීඩකයෙකි. ඔහු උපන්නේ 1984 පෙබරවාරි 17 වැනිදාකය. එහෙත් ඇරඹූ සියල්ල අවසන් කළ යුතු ආකාරයෙන්ම ඔහු සියල්ලට නැවැතීමේ තිත තැබීමට තීරණය කළේය. අතහැරීම කොතරම් මෘදු ලෙස ඔහු සිදුකළේද යත් උපතින් අන්‍යආගමිකයකු වුවද ඔහුගේ ක්‍රියාව බෞද්ධයකු මෙන්ය. මේ ඒ.බී. නැතහොත් අප නොදන්නා ඒබ්‍රහම් බෙන්ජමින්ගේ සමුගැනීමේ කතාව සමඟ මතකයට එන ඔහුගේ ජීවිතයේ සුවිශේෂීතාවයන්ය.

ඔහු උපන්නේ දකුණු අප්‍රිකාවේ බෙලා බෙලාහිය. එය කොතරම් අපූරු ප්‍රදේශයක්ද යත් පසුකාලීනව ඒ.බී. කීවේ එහි උපත ලැබීම සැහැල්ලු සහගත බවය. ‘එහේ හැමෝම, හැමෝවම දන්නවා. බෙලා බෙලාහි ජීවිතයේ ඇති විශේෂත්වය ඒකයි. පුංචි ප්‍රදේශයක අපි කටයුතු කළේ එකමුතුවයි’ ඔහු පසුව ප්‍රකාශ කර තිබිණි. ප්‍රිටෝරියා හි උසස් පාසලකට ගොස් ඇති ඒ.බී.ගේ මුල් කාලයේ ෆැප් ඩු ප්ලෙසිස් මිත්‍රයකු වූයේය. ඔවුන් දෙදෙනා පාසල් ගියේ එකටය. සති අන්තයේ ඒ.බී. නිවසට ආවේය. ඔහු පැවැතුණේ ක්‍රීඩා පවුලකිනි. පියා වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවද ඔහු තරුණ කාලයේ රග්බි ක්‍රීඩාවේ නියැලී තිබුණේය. එහෙයින් තම පුතාද ක්‍රීඩාව වෙත දිරිගැන්වීමට ඔහු කටයුතු කළේය. කුඩා සන්ධියේම ඒ.බී. ක්‍රිකට් ක්‍රීඩා කළේ ඒ දිරිගැන්වීම හේතුවෙනි. ඔහු නිවසේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ බව ඒ.බී. තමන් පිළිබඳ ලියූ ස්වයං චරිතාපදානයේ ලියා තිබේ. ක්‍රිකට් වලට අමතරව ගොල්ෆ්, රග්බි, සහ ටෙනිස් ක්‍රීඩාවන්ගේද ඔහු නිරත වූයේය.

2004 දෙසැම්බර් 17 වැනිදා ඒ.බී. ගේ ජීවිතයට සුවිශේෂී දිනයක් වූයේය. ඔහු මුල් වරට දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබාගත්තේ එදිනය. එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනූ ඔහු පළමු තරගය දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත්හිදී ක්‍රීඩා කළේය. එය අවසන් වනවිට ඔහු ලකුණු 42ක් තම ටෙස්ට් ජීවිතයේ සමාරම්භක ලකුණු ලෙස එක්කරගෙන තිබිණි. එංගලන්තය සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 50ක් රැස්කළ ඔහු එම තරගාවලියේ පස්වැනි තරගය අමරණීය ටෙස්ට් මතකයක් බවට පත්කරගත්තේ ඉනිම දෙකේදී පිළිවෙලින් ලකුණු 92ක් හා 109ක් රැස් කරමිනි. සෙන්චූරියන් පිටියේ පැවැති එම තරගයේදීම තමන්ගේ ශතක සැමරුම සම්පූර්ණ කළ ඔහු එතැන් පටන් ටෙස්ට් තරග 114ක් ක්‍රීඩා කළ අතර ඒ අතර වාරයේ රැස්කළ ලකුණු සංඛ්‍යාව 8765ක් විය. ඊට ශතක 22ක් හා අර්ධ ශතක 46ක් ඊට ඇතුළත් කිරීමටද ඔහු සමත්වූයේය. ටෙස්ට් දිවියේ සාමාන්‍ය වශයෙන් ඔහු 50.66ක් පවත්වාගෙන යාමට සමත්වීමෙන්ම ඒ.බී. ගේ සාර්ථකත්වය කවරාකාරයේදැයි අවබෝධ කරගැනීමට පහසුය.

වාර්තා පොත් අතරට

ක්‍රිකට් ජීවිතය ජාත්‍යන්තර වශයෙන් ආරම්භ කළ දා සිට ඉනිම 78ක් යනතුරු ඔහු ලකුණු නොලබා දැවී ගොස් නොමැතිවීමද වාර්තාවකි. 2004 දෙසැම්බරයේ ආරම්භ කළ ඔහුගේ ටෙස්ට් දිවියේ ගමන් චාරිකාවේ ලකුණු නොලබා දැවීයාමක් සනිටුහන් වනුයේ 2008 වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ බංග්ලාදේශ කණ්ඩායම හමුවේවීම ද සුවිශේෂීය. දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතරින් දෙවැනි ඉහළම ටෙස්ට් ඉනිමේ හිමිකරුවා වනුයේද ඒ.බී.ය. ඒ නොදැවී රැස්කළ ලකුණු 278කි. 2012 වසර වනතුරු ඉඳහිට කඩුලු රකින්නකු වූ ඔහු නිත්‍ය කඩුලු රැකවලා වන මාක් බවුචර්ගේ සමුගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේ ස්ථිර කඩුලු රකින්නා ද විය. එය ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග රටාවන් සියල්ලටම පොදු වූවක්ම විය. ඒ.බී. කඩුලු රැකීමෙන් සමුගත්තේ 2015 වසරේදී ක්වින්ට ඩි කොක් කණ්ඩායමට එක්වීමත් සමඟිනි.

පන්දු 16කදී අර්ධ ශතකයක් රැස් කරමින් වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවා වූ ඒ.බී. පන්දු 31කදී ලකුණු 100ක් රැස්කිරීමට සමත්වූයේ ලොව වේගවත්ම ශතකයේ හිමිකරුවා වෙමිනි. ඉන් නොනැවතුණු ඔහු පන්දු 64කදී ලකුණු 150ක් රැස්කරමින් ලොව වේගවත්ම ලකුණු 150 පසුකළ ක්‍රීඩකයා බවට පත්විය. දකුණු අප්‍රිකානුවෙක් වශයෙන් වේගයෙන්ම රැස්කළ ටෙස්ට් ශතකයේ හිමිකරුවකු ද වූ ඔහු පන්දුවාර විස්සයි විස්ස තරග ඉතිහාසයේද දකුණු අප්‍රිකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතක වාර්තාව හිමිකම් කියන්නේය. 2010, 2014 හා 2015 වසරවල ලොව හොඳම අයි.සී.සී. එක්දින ක්‍රීඩකයා වූයේද ඒ.බී. ය. 2016 වසරේ ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වූ ඒ.බී. ආබාධයක් හේතුවෙන් දිගු කලක් ටෙස්ට් කණ්ඩායමෙන්ද ඉවත්ව සිටියේය. 2017 වසරේ අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හා එංගලන්ත සංචාරයේදී ලද පරාජයත් සමඟ එක්දින නායකත්වයෙන්ද සමුගත් ඔහු පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අංශයන්ගෙන් ජාත්‍යන්තර පිටියේදී සමුගැනීම ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළේය.

ගිටාර් වාදකයා

ඒ.බී. ක්‍රිකට් ක්‍රීඩකයකු පමණක් නොව ගායකයකු හා වාදකයකු වීමද සුවිශේෂීය. ඔහු සාර්ථක ගිටාර් වාදයකයකු බවට පත්ව ඇත්තේ ලොවෙන් අයෙක් එක් දේකට වෙයි සමත යන ප්‍රකාශය නොසලකා හරිමිනි. ගිටාර් වාදනයෙන් පමණක් නොනැවතුණු ඒ.බී. ගායකයකු වශයෙන් ගීත ඇල්බමයක්ද නිකුත් කර ඇත්තේය. නිර්මාණශීලී ක්‍රීඩකයකු පමණක් නොව වාදයකයකු හා ගායකයකුද වන ඔහුගේ විවාහයද අපූරු ආකාරයෙන් ගිවිස ගැනීමක් ලෝකයට සනිටුහන් කරනු ලැබූවකි. ඒ මන්දයත් ඔහු තම පෙම්වතිය හා ගිවිස ගත්තේ ලෝකයේ ආදරයේ ස්මාරකයක් යැයි සලකන ඉන්දියාවේ ටජ් මහලේදීම වූ නිසාය. සිය පෙම්වතිය වූ ඩැනියෙල් ස්වෝට් සමඟ විවාහ ගිවිස ගැනීම සිදුකළ ඔහු ඊට පසු 2013 මැයි 13 වැනිදා තම විවාහය ඇය සමඟ බෙලා බෙලා හිදී සිදුකළේය. එම විවාහයෙන් ඒ.බී. ඒබ්‍රහම් බෙන්ජමින් හා ජොන් රිචඩ් යනුවෙන් හැඳින්වෙන පුතුන් දෙදෙනෙකු ගේ පියකු බවට පත්වූයේය.

සමුගැනීම

පසුගියදා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ස්වකීය ජාත්‍යන්තර පිටියේ සමුගැනීම සනිටුහන් කළ ඒ.බී. සම්බන්ධ ප්‍රවෘත්තිය බොහෝදෙනෙකු තුළ ඇති කළේ කම්පනයකි. එම කම්පනයට හේතු කීපයක් තිබුණේ යැයි කිවහැකිය. ඉන් පළමුවැන්න ඔහුගේ සමුගැනීම ක්‍රිකට් ක්‍රීඩාව අරභයා සිදුකරන අහිමි කිරීමේ ප්‍රබලත්වයය. දෙවැන්න වනුයේ තමන් වියපත් වෙමින් ඇති බව තමන්ටම නොකියා පවසමින් ඒ.බී. ගේ සමුගැනීමය. එය මිනිසකුට සංස්කෘතිකමය වශයෙන් ඇතිකරනු ලබන ප්‍රබල පහරකි. ඒ බව සනාථ කරවන ට්විටර් සටහනක් අවසන් වශයෙන් උපුටා දක්වනට කැමතිය. ‘අනේ එය කටකතාවක් නම් කොතරම් අපූරුද.......’ දහස් ගණනක් ට්ටිවර් සටහන් අතර ලියා තිබිණි. ඇරඹුමක් සම්පූර්ණ කර හෝ නොකර අවසන් කරන්නට සිදුවීම ස්වභාවිකය. ඒ අනුව ඒ.බී. ඩි විලියර්ස් දැන් සමුගැනීම තීරණය කර ඇත. එම අඩුව පුරවන්නට තවත් දහස් ගණනක් මල් පිබිදෙන බව අප පිළිගත යුතුව ඇත. එ් මල් විකසිතවනු අපට දැකගත හැක්කේ නම් හෙට දිනයේදීය.

මාතෘකා