ශ්‍රී ලංකාවේ අභිමානය දකුණේ දී ඩොලර්වලට පාවාදුන් හැටි අල්ජසීරා රූපවාහිනිය හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් බුකි මාෆියාව

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවේ අභිමානය දකුණේ දී ඩොලර්වලට පාවාදුන් හැටි අල්ජසීරා රූපවාහිනිය හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් බුකි මාෆියාව

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවතුණේ ජූලි මාසයේ 26 වැනිදා සිට 29 වැනිදා දක්වාය. එම තරගය ගාල්ල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කවදත් ශ්‍රී ලංකාවට වාසනාව ගෙන දෙන ගාල්ලේදී ශිකර් ධවාන් හා චෙතස්වර් පුජාරා පිළිවෙලින් ලකුණු 190ක් හා 153ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 600ක් රැස්කරනු ලැබුණේය. පන්දුවාර 133.1ක් තුළ විහිදුණු ඔවුන්ගේ ඉනිමේ වැඩිම බලපෑම් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ය.

ඔහු කඩුලු හයක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබූ නමුත් ඒ අතර කාලය තුළ ඔහුගෙන් ලකුණු 132ක් සොරාගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත්වී තිබිණි. ශ්‍රී ලංකාවේ දඟ පන්දු තරුව වන රංගන හේරත් පන්දුවාර 40ක් පන්දු යවමින් එක් කඩුල්ලක් පමණක් දවා ගනිද්දී තවත් කඩුලු තුනක් දවාගැනීමට සමත්වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරය.

ඉන්දියාව මෙම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට පළමු දිනය හා දෙවැනි දිනයේ පැය කීපයක් වැය කළ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ඇරඹුණේ ඉන් අනතුරුවය. එසේ ඇරඹි ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 291කට සීමාවූ අතර එහි වැඩිම ලකුණු ලාභියා වූයේ පසුපෙළ පිතිකරු දිල්රුවන් පෙරේරාය. ඔහු නොදැවී ලකුණු 92ක් රැස්කළ අතර ශ්‍රී ලංකා ඉනිම දෙවැනි දිනය හා තෙවැනි දිනයේ පැය කීපයක් පුරා දියත් විණි.

තෙවැනි දිනයේ ඉතිරි කාලය සම්පූර්ණයෙන් හා වේගයෙන් පන්දුවට පහරදීමට ඉන්දීය පිතිකරුවන් කටයුතු කළේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් ලබාදීමේ අපේක්ෂාවෙන් යුතුවය. ඒ අනුව ඔවුන් තෙවැනි දිනයේ දී කඩුලු තුනක් දැවී ලකුණු 189ක් රැස්කළ අතර සිව්වැනි දිනයේදී කඩුලු තුනක් දැවී ලකුණු 240ක් තිබියදී ඉනිම අත්හිටුවනු ලැබුණේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 550ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 76.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස්කළේ ලකුණු 304ක දැවැන්ත පරාජයක් අත්පත් කරගනු ලැබුණේය.

මේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට වාසනාව ගෙනා ගාල්ල ක්‍රීඩාංගණයේ අවාසනාව නෙලාගත් අවස්ථාවක් ලෙස සැලකුණේය. එය ශ්‍රී ලංකා කණ්ඩායම නිරුත්තර කළ අතර ඊට ප්‍රථම එනම් 2016 අගෝස්තු මාසයේදී 4-6 වැනිදා දක්වා ගාල්ලේ පැවැති තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියාව දණගැස්වූ සිංහයන් සම්බන්ධයෙන් සිහිපත් කිරීමක් විය.

එම තරගයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 281ක් රැස්කළ අතර ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 106කට සීමාවිණි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 237කට සීමා වද්දී ජයග්‍රහණය සඳහා ලකුණු 413ක ඉලක්කයක් හඹා ගිය සංචාරක ඕස්ට්‍රේලියානු පිලේ ඔද තෙද බිඳී ගියේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 229ක් මෙපිටින් තිබියදීය. එම ජයග්‍රහණය සම්බන්ධයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වාසනාව ගැන සිහිපත් කරමින් අපි ප්‍රහර්ෂයට පත්වුණෙමු.

එංගලන්තය ගාල්ලට

ඒ කතාන්දරය අතීතයේ වසර දෙකක් තුළ සිදුවූ සිදුවීම්ය. පළමුවැන්න 2016 වසරේදී ජයග්‍රහණයක් වූ අතර දෙවැන්න 2017 වසරේදී ලැබූ අමිහිරි පරාජයකි. මේ අතරේ යළි අඛණ්ඩව තෙවැනි වසරටත් එංගලන්තය ගාල්ලට එන්නට සූදානම්ය.

ඒ මෙම වසරේ නොවැම්බර් මාසයේදීය. මෙම තරගය කුමන ප්‍රතිඵලයක් නිර්මාණය කරයිද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිවකුත් සිතා බලා නොතිබුණු නමුත් එංගලන්තය දඟ පන්දු හමුවේ දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්වන හෙයින් ඒ තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවනු ඇතයි යන පූර්ව නිගමනයේ ක්‍රීඩා ලෝලීන් රැඳී සිටි බව නොරහසකි.

එහෙත් ඒ සියල්ලටම පෙර ‘අල්ජසීරා’ රූපවාහිනිය ගාල්ල ක්‍රිකට් තරග සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් විකාශය කළේය. එහි පූර්ව ප්‍රචාරක පටවලට අනුව අදාළ වාර්තා වැඩසහටනට අනුව තරගය පැවැත්වෙන දින ගණන තීරණය කිරීමට එම ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධ නිලධාරීන් අල්ජසීරා මාධ්‍යවේදියාට කරුණු පැහැදිලි කරනු ලැබුණේය.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කළේ අතීතයේදීත් එවැනිම ආකාරයකින් තමන් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව වෙනස් කරමින් තරගයක තීරණය වෙනස් කළ බවය. ඒ වෙනුවෙන් උදාහරණ වශයෙන් ඔවුන් පෙන්වා දුන්නේ 2016 වසරේ ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා තරගය හා 2017 වසරේ ශ්‍රී ලංකා - ඉන්දියා තරගයය.

ඒ අයුරින්ම එළඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ තීරණය වෙනස් කර දෙන්නට ඔවුන් සූදානම් බව ප්‍රකාශ කෙරුණේය. මේ වෙනුවෙන් විශාල මුදලක් ඔට්ටු අල්ලන මෙන් ඉන්දියානු බුකීකරුවකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයකුට ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයට සම්බන්ධ නිලධාරීන් ප්‍රකාශ කරන ආකාරය අදාළ වීඩියෝ පටයේ පැහැදිලිව රූගත කර ඇතැයි අල්ජසීරා රූපවාහිනිය සඳහන් කළේය.

‘අපිට ඕනෑම විදියකට මේ තණතීරුව හදන්න පුලුවන්’ අදාළ රූපවාහිනී වාර්තා වැඩසටහනේදී උදම් අනන සුළු ආකාරයෙන් ගාලු ක්‍රීඩා සමාජයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික ප්‍රකාශ කරන ආකාරය එම වාර්තා වැඩසටහනේ දැක්වෙයි. තමන්ට අවශ්‍ය නම් පිතිකරුවන්ට හෝ පන්දුයවන්නන්ට ගැළපෙන ආකාරයට තණතීරුව සකස් කළ හැකි බවද එහිදී ඔහු පැහැදිලිව පවසා ඇත.

‘ඔබට අවශ්‍ය මේ තණතීරුව දඟ පන්දුයවන්නන්ට, වේග පන්දු යවන්නන්ට එහෙමත් නැත්නම් පිතිකරුවන්ට යෝග්‍ය වන ආකාරයට හැසිරෙන විධිහට හදාගන්නනම්, මට කියන්න තියෙන්නේ කිසිම පැකිලීමකින් තොරව ඒක කරන්න පුළුවන්.’ ගාල්ලේ පැවැති හෝටලයකදී අල්ජසීරා මාධ්‍යවේදියා සමඟ පැවැති සාකච්ඡාවේදී තරංග ඉන්දික ප්‍රකාශ කරන අයුරු පැහැදිලිව දැක්වෙන්නේය.

‘කියන විදියට තණතීරුව සකස් කරවන්න අපිට හැකියි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. මොකද ප්‍රධාන තණතිලි සකසන්නා ඉන්නේ අපේ අතේ. අනෙක් කාරණය තමයි සහකාර කළමනාකරු හා තණතීරු සැකසීම සිදුකරන්නෙ එකම පුද්ගලයෙක්’ මෙම වාර්තා වැඩසටහනේ ප්‍රකාශවී තිබේ.

ඕස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේදී තණතීරුව සකස් කළේ පන්දුයවන්නන්ට ගැලපෙන ආකාරයට බව එහිදී ඉන්දික තරංග පිළිගෙන ඇත. ‘දින පහේ තරගයකදි අපි තණතීරුව සකසන්නේ ඒ තණතීරුව කැඩෙන විදියට. එහෙම හදන තණතීරුව හුඟක් දුර්වලයි. එතැනදි අපි පිටිය තලන්න රෝලරය භාවිත කරන්නෙ නැහැ. එහෙම තමයි දඟ පන්දුයවන්නන්ට උචිත විදියට තණතීරුවක් සකස් කරන්නෙ’ ඔහු පවසන අයුරු පැහැදිලිව මෙම වාර්තා වැඩසටහනේ පටිගතව ඇත.

පන්දු යවන්නන්ට උචිත ලෙස සැකසූ තණතීරුවක මත දින පහක් පුරා තරගය නොපැවැත්වෙන හෙයින් නිසැක වශයෙන්ම දින පහේ ටෙස්ට් තරගයේ තීරණයක් ලබාදෙමින් අවසන් කරගැනීමට හැකිබව ඔහු ප්‍රකාශ කරයි. මෙවැනි තණතීරුවක් මත පිතිකරුවන් ඉක්මනින් සිය කඩුලු අහිමි කරගනිමින් දැවී යන අතර තරගය දින දෙකහමාරක් තුළ අවසන් කිරීමට හැකියාව ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ කිසිදු හැඟීමකින් තොරවය.

මෙවැනි තණතීරුවක පිතිහරඹයේ යෙදිය නොහැකිව පිතිකරුවන් අසීරුතාවට පත්වද්දී, තරග ඔට්ටු අල්ලන්නන් විශාල වශයෙන් මුදල් උපයන අතර ඔවුන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් නොවන බවට කිසිදු බියකින් තොරව තරගය ආරම්භයේදීම ඔට්ටු තබති.

‘ ඇත්තටම ඔබට ලොකු මුදලක් උපයන්න හැකියි. එහෙම කටයුත්තකට මේක හොඳ කාලයක්’ ඔවුන් එම වාර්තා වැඩසටහනේදී ප්‍රකාශ කරන්නේ බුකීකරුවා සමඟ පැමිණෙන ඉන්දීය ව්‍යාපාරිකයා ලෙස කටයුතු කරන අල්ජසීරා මාධ්‍යවේදියාටය.

මෙවැනි තරග සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිලධාරියකු යොදා ගත්තද එය කිසිදු බාධාවක් නොවන බවද ඔවුන්ගේ මතය වී තිබේ.

මේ ආකාරයෙන්ම ඉන්දියාව සමඟ පැවැති තරගයේදී පිතිකරුවන්ට උචිත ආකාරයෙන් තණතීරුව සකස් කළ බවත්, එවැනි තණතීරුවකට ඉන්දීය කණ්ඩායමද සූදානමින් සිටි බවත් තරංග ඉන්දික මෙහිදී ප්‍රකාශ කර ඇත.

‘අපි රෝලරය දාලා තණතීරුවට හොඳින් තද කරනවා. වතුර දාලා එය තවත් දැඩි කරනවා’ ඔහු මෙම වාර්තා වැඩසටහනට වැඩිදුරටත් පවසා ඇත්තේ සැඟවූ කැමරා පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරවය. පිතිකරුවන්ට උචිත වන අයුරින් සකසන මෙවැනි තණතීරුවක පළමු ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායම නිසැක වශයෙන්ම වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කරන අතර ඔට්ටු තබන්නන්ට පළමු ඉනිම වැඩිම ලකුණු රැස්කරන ඉනිම බවට ඔට්ටු තැබිය හැකිය. ඒ අනුව ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 600ක් රැස්කළ බැවින් එම තරගයේදී තරග ඔට්ටු අල්ලන්නන් විශාල මුදලක් උපයා ගැනීමට සමත්වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඉදිරි තරගයේදී තණතීරුව වෙනස් කිරීමට තමන්ට අත්පිට මුදල් අවශ්‍ය නොමැති බවත් ජයග්‍රහණයෙන් පසු මුදල් ලබාදෙන ලෙසත් එම වැඩසටහනේදී යෝජනා කරන රූපරාමු දක්නට ලැබෙන බව අල්ජසීරා පුවත් සේවය දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාවේදී රූපවාහිනී නිවේදකයා විසින් තරග පාවාදෙන්නාගෙන් විමසා ඇත්තේ මීළඟට පාවාදෙන එම තරගය කුමක්ද යන්නයි. ‘එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය මේ වසරේ නොවැම්බර් මාසයේදී ගාල්ලේදී පැවැත්වෙනවා’ එම රහසිගත සාකච්ඡාවට එක්ව සිටි ඉන්දීය බුකීකරුවකු ලෙස සැලකෙන මොරිස් ප්‍රකාශ කර ඇත.

ඉන්පසු වාර්තාකරු විමසන්නේ එම තරගය දින හතරකට අඩුකාලයකින් අවසන් කිරීමට හැකිවන ආකාරයෙන් තණතීරුව සකස්කළ හැකි බවට සහතිකවිය හැකිද යන්නය.

‘අයියෝ. ඕකත් අහන්න දෙයක්ද? මට පුලුවන් දින දෙකහමාරෙන් තරගය ඉවර කරන්න’ ඉන්දික පවසන්නේ හාස්‍ය මතුකරන ආකාරයේ සිනහවකින් හා තිර විශ්වාසයකින් මුව පුරවාගෙනය.

කෙසේ නමුත් අදාළ පටිගත කිරීම ඇසුරෙන් වාර්තා වැඩසටහනක් සකස් කර ඇති බවත් එය විකාශය කිරීමට සියල්ල යොදා ඇති බවත් ප්‍රකාශ වීමත් සමඟ ඊට අදහස් පළකළ පුද්ගලයින් කලබලවී ඇත. ඔවුන් වහා ප්‍රකාශ නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම වාර්තා වැඩසටහනට රංගනයක් ඉදිරිපත් කිරීමට අල්ජසීරා රූපවාහිනිය තමන්ට ආරාධනා කළ බවයි. ඒ බව මොරිස් මේ වනවිට පවසා ඇත. ‘ඒක පොදු ජනතාවගේ රස වින්දනය වෙනුවෙන් පමණයි’ඔහු පවසා තිබේ.

අදාළ වාර්තා වැඩසටහන තරංග ඉන්දිකද මේ වනවිට ප්‍රතික්ෂේප කර ඇත. තමන් එවැනි පාවාදීමකට සම්බන්ධ නොමැති බවද ඔහු කියා සිටී.

කෙසේ නමුත් මෙම තරග පාවාදීමට කිසිදු ක්‍රීඩකයකු සම්බන්ධ බවට මෙතෙක් තොරතුරු හෙළිව නැතැයි පැවසෙයි. එය එක්තරා ආකාරයකින් සැනසිල්ලකි.

‘අපි මේ ගැන ඉතා දැඩිව, විමසිල්ලෙන් සොයා බලනවා’ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනටමත් සඳහන් කර ඇත. කෙසේ නමුත් 2016 වසරේදී ඕස්ට්‍රේලියාව පරාජය ලැබූ ගාලු ටෙස්ට් තරගය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුනොකිරීම සම්බන්ධයෙන් අයි.සී.සී. ය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ද ප්‍රකාශ කර ඇත්තේ අදාළ තරග පාවාදීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය සිදුකරන කවරාකාරයේ පරීක්ෂණයක් සඳහා වුවද තම ආයතනයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවය. ‘අපි අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී කිව්වා සියලු පරීක්ෂණ සඳහා උපරිම සහයෝගය ලබාදෙන බව.

අපිට තරාතිරමෙන් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ දූෂණය, වංචාවෙන් තොර පාලනයක් පවත්වාගෙන යන්න’ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේය. මේ අතර අයි.සී.සී. ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානියා සමඟද වහා දුරකථන සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වනවිට කටයුතු කර ඇත.

මේ අතර පානදුර හා කළුතර ක්‍රීඩා සමාජ අතර පැවැති තුන්දින තරගයක් පාවාදුන් බවට සිදුකළ පරීක්ෂණ දෙකක වාර්තා සමාලෝචනය කර අවසන් වාර්තාවක් සකස් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියකගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් කටයුතු කර තිබේ.

පසුගිය කාලසීමාවේ අවස්ථා ගණනාවකදීම අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබූ බවද පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිවී තිබිණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එවැනි පරීක්ෂණ කිසිවක් දැන් ක්‍රියාත්මක නොවන බවය. එහෙත් පසුව අන්තර් ජාතික ක්‍රිකට් සමුළුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ තවමත් එවැනි පරීක්ෂණ ක්‍රියාත්මක බවය.

 ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය වනසන පිළිලයක් ලෙස තරග ඔට්ටු ඇල්ලීමේ සිද්ධි මේ වනවිට රට තුළට රිංගාගෙන අවසන්ය. පොදු ජනතාවගේ ක්‍රීඩාවක් තරමට ජනාදරයට පත්වතිබූ ක්‍රිකට් ක්‍රීඩාව කීපදෙනෙකුගේ මනදොළ සපුරන මුදලට පාවාදෙන ක්‍රීඩාවක් බවට පත්වන්නේ නම් එහි ඇති වින්දනීය පාර්ශ්වය වේගයෙන් ජන හදවත් තුළින් මුක්ත වන බව පැවසිය යුතු නැත.

ශ්‍රී ලංකාවේ සිනමාවේ සැලෝලයිට් පටයෙන් මිනිසුන් ඉවත්වුණේ එහිදී රසිකයාගේ බුද්ධිය හා හෘද සාක්ෂියට කෝචෝක් කිරීමට හතුපිපෙන්නාක් මෙන් බිහිවන බොහෝ චිත්‍රපට වලින් සිදුවන බව ප්‍රේක්ෂකයා තේරුම්ගත් දා සිටය. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්යෙන්ද අපට කිව හැක්කේ ක්‍රීඩා ලෝලී ප්‍රේක්ෂක මනස වෙනස් කරන්නට මෙවැනි තරග පාවාදීම් උපයෝගී කරගැනීම වහා වළකන ලෙසය.

එසේ නොවුණ හොත් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආතක් පාතක් නැති බොහෝ ක්‍රීඩාවල තත්ත්වයට පත්වීම පමණය. එය තේරුම් ගැනීම ජනාධිපතිවරයා, අගමැතිවරයා මතුනොව ක්‍රීඩා අමාත්‍යවරයා විෂයටත් සාධාරණ බව අවසන් වශයෙන් පැවසිය යුතුය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි