අල්ජසීරා හෙළිදරව්ව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් - අයි.සී.සී.ය අතර සාකච්ඡාවක්

 ඡායාරූපය:

අල්ජසීරා හෙළිදරව්ව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් - අයි.සී.සී.ය අතර සාකච්ඡාවක්

එංගලන්තයත් අවධියෙන් - ශ්‍රී ලංකාවත් උපරිම සහාය දෙන බව කියයි

අල්ජසීරා පුවත් සේවය මගින් ඊයේ විකාශය කළ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ආශ්‍රිතව තරග පාවාදීමට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය සමඟ සහයෝගීව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ අයි.සී.සී.ය සිදුකරනු ලබන කවරාකාරයේ පරීක්ෂණයක් සඳහා වුවද පූර්ණ සහය ලබාදෙන බවයි. එහිදී තරග පාවාදීමට බලපාන ආකාරයෙන් තරගයක තීරණය වෙනස් කිරීමට තණතීරුව සකස් කිරීම පිළිබඳ පුළුල්ලෙස කරුණු සොයා බලන බව එම ආයතනය පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව ද මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ. ඊට අමතරව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය සමඟද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වංචා, දූෂණ පිටුදැකීමට සැමවිටම සැදී පැහැදී සිටින හෙයින් මෙවැනි සිදුවීමකට සම්බන්ධ බවට සැලකෙන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැලි නොවන බවද එම ආයතනය දැනුම්දී ඇත.

මේ අතර එළඹෙන තරග සමයන්හිදීද ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව දැනුම්දී ඇති ආකාරයට දූෂණ මර්ධන මෙහෙයුම් ඒ ආකාරයෙන්ම සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම්කර ඇති බව එහි මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

එංගලන්ත සංචාරය

එංගලන්ත කණ්ඩායම ලබන ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී ටෙස්ට් තරග තුනකට, එක්දින තරග පහකට හා පන්දුවාර විස්සයි විස්ස තරගයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

මේ අතර බුකීකරුවන්ගේ අවශ්‍යතාවයන්ට අනුව තණතීරු සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයක නිරත වන බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ද පවසා තිබේ. ඒ වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන ඕනෑම ආකාරයක පරීක්ෂණයක් සඳහා උපරිම සහයෝගය සලසා දෙන බවද එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග කාලසටහන

ඔක්තෝබර්

1 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඇරඹෙයි.

5 කොළඹ කණ්ඩායම සමඟ පන්දුවාර 50 පුහුණු තරගය

6 කොළඹ කණ්ඩායම සමඟ පන්දුවාර 50 පුහුණු තරගය.

10 පළමු එක්දින තරගය දිවා/රාත්‍රී - දඹුල්ල

13 දෙවැනි එක්දින තරගය දඹුල්ල

17 තෙවැනි එක්දින තරගය දිවා/රාත්‍රී - පල්ලෙකැලේ

20 සිව්වැනි එක්දින තරගය - පල්ලෙකැලේ

23 පස්වැනි එක්දින තරගය දිවා/රාත්‍රී - කොළඹ ආර්.ප්‍රේමදාස

27 පන්දුවාර විස්සයි විස්ස - ආර්.ප්‍රේමදාස

30-31 පුහුණු තරගය - එන්.සී.සී.

නොවැම්බර්

1-2 කොළඹ කණ්ඩායම සමඟ - සී.සී.සී.

6-10 පළමු ටෙස්ට් තරගය - ගාල්ල

14-18 දෙවැනි ටෙස්ට් තරගය - පල්ලෙකැලේ

23-27 තෙවැනි ටෙස්ට් තරගය - එස්.එස්.සී.

දෙවැනි හා පස්වැනි එක්දින තරග සඳහා වර්ෂාවෙන් බාධා සිදුවුවහොත් අතිරේක දින දෙකක් තරගය සඳහා යොදා ඇත.

මාතෘකා