හිට්ලර් අබිමුව වර්ගවාදය පැරදවූ ජර්මානු ක්‍රීඩකයා

 ඡායාරූපය:

හිට්ලර් අබිමුව වර්ගවාදය පැරදවූ ජර්මානු ක්‍රීඩකයා

කාල් ලුඩ්විග් ලෝන්ග්

ජෙසී ඔවෙන්ස් යන නාමය ලොව පතල වූයේ 1936 වසරේ බර්ලින් ගිම්හාන ඔලිම්පික් උළෙලේදී තමන් සහභාගි වූ මලල ක්‍රීඩා ඉසව් හතරෙන්ම රන් පදක්කම් දිනූ ක්‍රීඩකයා ලෙසිනි. ඔහු දිනූ එම රන් පදක්කම් හතරේ වටිනාකම තවත් ඉහළ යන්නේ මෙවිට ජර්මනියේ ආඥාදායක පාලක ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව්වන්ට මෙන්ම කළු ජාතිකයින්ටද බර්ලින් ඔලිම්පික් උළෙල තහනම් කිරීම නිසාය. විශේෂයෙන් හිට්ලර් සහ ඔලිම්පික් තරගාවලිය භාරව කටයුතු කළ ජර්මානු නට්සි රාජ්‍යයේ ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස් ප්‍රසිද්ධියේම යුදෙව්වන් සහ කළු ජාතිකයින් අවඥාවට ලක්කර තිබුණි. ඔවෙන්ස් ලෝක ශූරයෙකු ලෙස දස්කම් දක්වන විටදී ඇමරිකාවේ පවා කළු ජාතිකයින්ට සමාන පුරවැසියන් ලෙස සැලකීමක් සිදු වූයේ නැත.

ඔවෙන්ස් 1936 වසරේ බර්ලිනයට පැමිණෙන්නේ එවැනි තත්ත්වයක් යටතේය. නට්සි ජර්මන් පාලකයින් කෙරෙහි තිබූ යම්කිසි ආකාර භීතියද, තම රටේ වර්ණ භේදවාදය නිසා එල්ල වූ පීඩනයද නිසා වික්ෂිප්තව සිටි ඔවෙන්ස් බොහෝ විට තරගවලට සහභාගි වූයේද යම්කිසි චකිතයකිනි.

දුර පැනීමේ ඉසව්වට සහභාගි වන විටද ඔවෙන්ස්ට එම චකිතය නොඅඩුව තිබුණි. එනිසාම තමාට හිමි අවස්ථා තුනෙන් දෙකක්ම නීති විරෝධී පැනීම් බවට විනිසුරුවන් සංඥා කරනු ඔහුට බලා සිටින්නට සිදු විය. එම අවස්ථාවේ යුදෙව්වන් මෙන්ම කළු ජාතිකයින්ද හෙළා දක්නා ආර්ය ජර්මන් ජාතිය නියෝජනය කරන කාල් ලුඩ්විග් (ලුස්) ලෝන්ග්ගේ මැදිහත්වීම පිටියේ සිටි කිසිවෙකු නොදුටු දෙයකි. කාල් ලෝන්ග් යනු ඔවෙන්ස් සමඟ මෙම දුරපැනීමේ ඉසව්ව නියෝජනය කළ ජර්මානු ක්‍රීඩකයාය.

අඩි හයක් උස, විසිතුන් හැවිරිදි මේ ප්‍රියමනාප ක්‍රීඩකයා අන්දමන්ද වී තම තුන්වැනි උත්සාහය සඳහා සූදානම් වන ඔවෙන්ස් දෙස බලා ඔහුට පැනීම සඳහා ස්ථානයක් සලකුණු කළේය. ඉන් පසුව වැඩිදුරටත් එම ස්ථානය පැහැදිලිව තම ප්‍රතිවාදියාට පෙනීම සඳහා තම ලේන්සුව එම ස්ථායේ තැබුවේය. ඒ සමගම ඔවෙන්ස් අසලට ගොස් යමක් පවසා පසෙකට වී ඔවෙන්ස්ගේ අවසාන උත්සාහය දෙස බලා සිටියේය. තම අවසන් උත්සාහය සාර්ථක කරගනිමින් ඔවෙන්ස් අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

1964 දී එම සිදුවීම ආවර්ජනය කරන ඔවෙන්ස් කියන්නේ ලෝන්ග් තමන් ළඟට පැමිණ සීමා ඉරට අඟල් කීපයක් පසුපසින් සිට පිම්ම ආරම්භ කරන ලෙස පැවසූ බවයි.

කෙසේ හෝ දුර පැනීමේ අවසන් තරගය දෙස සියලුම ප්‍රේක්ෂකයින් බලා සිටියේ පෙරටත් වඩා දැඩි උනන්දුවකිනි. විශේෂයෙන් ලොන්ග් විසින්ම මගපෙන්වීමෙන් අවසන් තරගයට පැමිණි ඔවෙන්ස් සහ ලෝන්ග් අතර තරගය කුමක් වේද කියායි. කාල් ලෝන්ග් ඔහුගේ පළමු උත්සාහයන් දෙකේදී පනිනු ලබන දුරට වඩා දුරක් ඔවෙන්ස් තමන්ගේ දෙවැනි අවස්ථාවේදී පනින හෙයින් ලෝන්ග්ගේ තුන්වැනි පිම්ම තීරණාත්මක පිම්මක් බවට පත් විය. හිට්ලර් ඇතුළු ජර්මානු ප්‍රේක්ෂකයින් ඉදිරියේ තුන්වැනි උත්සාහය සාර්ථක කරගැනීමට ලෝන්ග් අසමත් වීමත් සමග ඔවෙන්ස්ගේ තුන්වැනි උත්සාහය ඉතිරිව තිබියදීම තරගයේ රන්පදක්කම ඕවෙන්ස්ටත් රිදී පදක්කම ලොන්ග්ටත් හිමි විය. එම අවස්ථාවේදී ඔවෙන්ස් අසලට පැමිණි ලොන්ග් කීවේ කුමක්ද? ‘‘ඔබගේ අවසන් අවස්ථාවත් අරගෙන මෙතැනට ඇවිත් ඉන්න අයට ඔබගේ උපරිමය පෙන්වන්න” යනුවෙනි. තුන් වැනි උත්සාහයේදී මීටර් 8.06ක දුරක් පනින ඔවෙන්ස් නව ලෝක වාර්තාවක්ද සහිතව රන් පදක්කම හිමිකර ගති. ජයග්‍රහණයෙන් අනතුරුව ඔවෙන්ස්ට මුලින්ම සුබ පැතුවේ කාල් ලෝන්ග්ය.

සුබ පැතීමෙන් නොනැවතුණු ඔහු තම ජයග්‍රාහී ප්‍රතිවාදියා සමග ඡායාරූපවලටද පෙනී සිටියේය. ඔවෙන්ස්ගේ කරට අත දමාගෙන ප්‍රේක්ෂකයින්ට ආචාර කරමින් ක්‍රීඩාංගණය වටා රවුමක් දුවමින් ඔහු හිට්ලර් ඇතුළු නට්සිවාදීන්ට පෙන්වන්නේ තමන් වර්ගවාදය ප්‍රතික්ෂේප කරන බවත්, ක්‍රීඩාවට එය කොහෙත්ම අනවශ්‍ය දෙයක් බවත්ය. කළු ජාතික ජයග්‍රාහකයින්ට අතට අතදී සුබ පැතීමද ප්‍රතික්ෂේප කරන හිට්ලර් ඉදිරියේ ලොන්ග්ගේ එම ක්‍රියාව ඔවෙන්ස් මතකයට නගමින් ‘‘ඔහුට විශාල ධෛර්යක් තිබුණා හිට්ලර් ඉදිරිපිටම මා සමග මිතුරුකම් පවත්වන්න.”

කාල් ලෝන්ග් 1936 දී යුරෝපා දුර පැනීමේ වාර්තාව තමන් සතු කරගනිමින් ඔලිම්පික් තරගාවලියට පිවිසෙන්නේ ඉතා දීප්තිමත් අනාගතයක පෙර නිමිති පළ කරමිනි. ඒ වන විට ඔහු ලිප්සින්ග් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන හැම්බර්ග්හි නීතිඥවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියේය. ඔලිම්පික් උළෙලින් පසු 1937, 1938 සහ 1939 වසර තුනේම පිට පිටම යුරෝපා දුර පැනීමේ ශූරයා වන්නේද කාල් ලෝන්ග්ය. බර්ලිනයේ ඇති වන මිතුරුකම ඔවෙන්ස් සහ ලොන්ග් දිගටම පවත්වා ගන්නා අතර ලිපි මගින් ඔවුනොවුන් දිගු කාලයක් අදහස් හුවමාරු කරගැනීමටද සමත් විය.

ඔලිම්පික් තරගාවලියේ මෙන්ම ඉන් පසුද ලොන්ග්ගේ හැසිරීම කිසිසේත් නට්සි ජර්මනියට සහ එහි බලධාරින්ට ගෝචර නොවීය. එනිසාම ඔහුට එතෙක් ජර්මන් බලධාරීන්ගේ තිබූ පිළිගැනීම අහිමි වී යන අතර දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම කාල් ලෝන්ග් යුද සේවය සඳහා කැඳවීමට නට්සි බලධාරීහු පියවර ගත්හ. ලෝන්ග් ෙකතරම් විරෝධය පෑවත් බලෙන්ම යුද සේවයට බඳවා ගන්නා ඔහු 1941දී ඉතාලියේ සිසිලි දූපතේ යුද පෙරමුණට පිටත්කර යැවිණි.

1943 ජුලි 14 වෙනිදා ඉතාලියේ සිසිලි දූපතේ ඇකාටේහිදී යුද්ධයේ තවත් බිහිසුණු ගොදුරක් ලෙස මේ අසහාය ක්‍රීඩකයා මියගියද අදටත් ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ කාල් ලුඩ්විග් ලෝන්ග් නාමයට නිසි ගෞරවාදරය හිමි වී නැත.

[ඩබ්.ආර්. කුමාර]

මාතෘකා