කුළුඳුල් දඩයමට සැරසෙන අයිස්ලන්තය | ඇස පාදන රැස


කුළුඳුල් දඩයමට සැරසෙන අයිස්ලන්තය

 ඡායාරූපය:

කුළුඳුල් දඩයමට සැරසෙන අයිස්ලන්තය

අවසන් වටයට අඩුම ජනගහනයක් නියෝජනය කරමින් සහභාගි වන ජාතිය ලෙස අයිස්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයට එක්වීමට නියමිතය. 2016 යුරෝ කුසලානයේදි අනපේක්ෂිත පෙරළියක් කළ අයිස්ලැන්ඩික්වරුන් මෙවර තරගාවලියේ කළු අශ්වයා ෙලස හඳුනාගත හැකිය.

උදම් ඇනිය හැකි ඉතිහාසයක් නොමැති මුත් අයිස්ලන්තය පාපන්දු ක්‍රීඩාවේ අනාගත බළකොටුවක් වන ලකුණු දැනටමත් ලෝකය හමුවේ තබා හමාරය. මේ ඔවුන්ගේ දෙවැනි අන්තර්ජාතික තරගාවලි නියෝජනයයි. අයිස්ලැන්ඩික්වරුන්ගේ පාපන්දු පෙරළියේ කොඳු නාරටිය ඔවුන්ගේ ක්‍රීඩා ලෝලි සහයෝගයයි. 2016 යුරෝ කුසලානයට ජනගහනයෙන් සියයට දහයක් එනම් අයිස්ලැන්ඩික්වරු තුන්සිය දහසකට ආසන්න පිරිසක් ප්‍රංශය බලා යන්නේ ලෝකයට නව ඔල්වරසන් ක්‍රමයක්ද හඳුන්වා දෙමින්ය. වයිකිං අකුණු සැරයෙන් ( Viking Thunder Clap) එදා ප්‍රංශය ගිගුම් දුන්නාටත් ඉහළින් රුසියානු ක්‍රීඩාංගන දෙදරවීමට අයිස්ලැන්ඩික්වරුන් දැනටමත් පිඹුරුපත් සකසා ඇතිවාට සැක නැත.

පෙර ලෝක කුසලාන සහභාගිත්වයන් 2018 තරගාවලිය අයිස්ලන්තයෙ කුළුඳුල් ලෝක කුසලාන නියෝජනයයි.

කණ්ඩායම් සංයුතිය

කේවල සුපිරි ක්‍රීඩක ප්‍රාතිහාර්යයන් මත යැපෙනු වෙනුවට සමස්ත කණ්ඩායමේම හැකියාව මතින් ඉදිරියට යෑමට සැලසුම් කිරීම අයිස්ලන්තයේ ශීඝ්‍ර වර්ධනයේ රහසයි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදි අයිස්ලැන්ඩික්වරුන් නව දෙනෙකුම ගෝල රැස් කළෝය. බ්‍රිතාන්‍ය පවුම් මිලියන 40ක කොන්ත්‍රාතුවකට එවර්ටන් කණ්ඩායම සමග එක්වූ ගිල්ෆි සිගර්ඩ්ස්සන්ගේ දකුණු පා පහරවල් මතින් මැදපෙළ සවිමත් වන අතර විසි අට හැවිරිදි ඇල්ෆ්‍රඩ් ෆින්බොගැසන් සහ කොල්බැයින් සිග්බොර්ස්සන්ගේ අත්දැකීම්ද අයිස්ලන්ත ආක්‍රමණය සවිමත් කරනු ඇත.

ඔවුන් සමග ඇරොන් ගනර්ස්සන්ගේ ජව සම්පන්න නායකත්වයද මුහු වූ පසු අයිස්ලැන්ඩික්වරු තරගාවලිය තුළ අනපේක්ෂිත පෙරළියක් කිරීමේ සම්භාවිතාවය ඉහළය. ජයග්‍රාහි පුහුණුකරු ලාස් ලේජර්බැක්ගේ සේවය අහිමිවුවද නව පුහුණුකරු හෙයිමිර් හැල්ග්‍රිම්ස්සන්ගේ සැලසුම්ද අවතක්සේරු කළ නොහැක. ලෝක කුසලානයේ වයස්ගත කණ්ඩායම් සටහනේ තුන්වැනි තැන රැඳෙන අයිස්ලන්තය 2018 ලෝක කුසලානයට සිය අත්දැකීම් සපිරි සුපුරුදු ආක්‍රමණශීලි ක්‍රීඩා රටාව මුසු කිරීමට සමත් වුවහොත් ප්‍රභල කණ්ඩායම් මවිත කරනු ඇත.

පළමු වටයේ තරග

අයිස්ලන්තය තරග වදින ඩී කාණ්ඩය තරගාවලියේ උණුසුම්ම තරග වටයක් වනු ඇත. ප්‍රභල ආජන්ටීනාවද අප්‍රිකානු පාපන්දු බල කණුවක් වන නයිජීරියාව සහ කලකට පසු ලෝක කුසලානයට තරග වදින ක්‍රොඒෂියාවද සමගින් තරග වැදී දහසය දෙනාගේ වටයට පිවිසීමට අයිස්ලැන්ඩික්වරුන් තියුණු තරගයක් දිය යුතුමය.

පිටියේ පෙළ ගැසීම

පසු පෙළ - 4, මැද පෙළ - 4,

ඉදිරි පෙළ - 2

ලෝක කුසලානය දිනීමේ සම්භාවිතාව‍

200-1

[වරුණ ෙහ්රත්]

මාතෘකා