අහසක දුක දරමින් අහිමි කිරුළක සුවඳ විඳින මිනිස්සු

 ඡායාරූපය:

අහසක දුක දරමින් අහිමි කිරුළක සුවඳ විඳින මිනිස්සු

පසුගිය නොවැම්බර් මාසයේ ස්වීඩනය සහ ඉතාලි කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ තීරණාත්මක තරගයක් පැවැත්විණි. එම තරගයේ ප්‍රතිඵලය කියැවුණේ ජයපැරදුමෙන් තොර තරගයක් ලෙසිනි. එයින් සිදුවූයේ ඉතාලියේ ලෝක කුසලාන ගමන් මග 2018 තරග වාරයේදී අවහිරවීමය. යුරෝපා කෝටාව හිමිවන රාජ්‍යයන් අතරට ඉතාලිය අයත් නොවුණු අතර 1958න් පසු එවැනි දුර්භාග්‍යයකට ඔවුන් මුහුණදුන් පළමු අවස්ථාව එය විණි.

‘ආර්ජන්ටිනාවට ලෝක කුසලානයේ දොරටුව වැහුණොත් මට නම් පිස්සු වැටෙයි’ ඉතාලියේ ඉරණම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී වරක් ප්‍රකාශ කර තිබුණේය. ඒ අනුව ලෝක කුසලානයේ අවස්ථාව අහිමිවීම ලෝකයේ වෙසෙන පාපන්දු ලෝලීන් බහුලම රාජ්‍යයක් වන සහ තරගකාරීම අන්තර් සමාජ තරගාවලියකට හිමිකම් කියන ඉතාලියට දැනෙන්ට ඇත්තේ කෙසේද යන්න සිතාගන්නට අමාරු නැත. දුක තුනීකර ගැනීමට පෙරම ඔවුන් ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු තනතුරින් නෙරපා දමන ලදි. පසුගිය වසර තුන තුළදී ඔවුන් පාපන්දු ලෝක කුසලානය සඳහා වූ වෙහෙස වතුරේ යාමක් ලෙස සැලකුණු අතර එය ඔවුන්ට ජාතික ව්‍යසනයක් බඳු වූයේය.

ලෝක කුසලාන පාපන්දු ශූරතාව යන උණුසුම් සහගත මංගල්ලයේ සිව් වතාවක් කිරුළු පැළඳි රාජ්‍යයක් වශයෙන් එය එසේ විය හැකිය.

ඒ අනුව පස්වැනි වතාවට ලෝක කුසලානය දිනා ගැනීමට තිබූ අපේක්ෂා ඔවුන් අතින් තවත් සිව් වසරකින් දුරස් විණි. ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ නම් මෙවන විට ඉතාලියේ ඇති තත්ත්වය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. දැන් ඉතාලියේ ඇත්තේ ‍ශෝකාකූල තත්වයකි. එරට එකම මළ ගෙයකි. මෙවර පාපන්දු ලෝක ශූරතාවයේදී ඔවුන් සහය දක්වන්නේ කාටදැයි දැන් ක්‍රීඩා ලෝලීන් කල්පනා කරමින් සිටී.

1990 තම රටේ පැවති 14වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලියේදී ඉතාලිය අවසන් පූර්ව තරගය දක්වා පැමිණියේ ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදෙමිනි. නමුත් අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව විසින් ඉතාලිය

පරාජය කිරීමට සමත් විය. ඒ නිසාම ආර්ජන්ටිනා නායකයා සහ ආර්ජන්ටිනා කණ්ඩායම ඉතාලියානුවන්ගේ කෝපයට ලක්වූ අතර අවසාන තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පන්දුවට පය තබන සෑම විටම ක්‍රීඩාංගණය පුරා විශාල ඝෝෂාවක් ඇති විය. ඉතාලි පාපන්දු උන්මාදය එසේය. මෙවර ඒ අවස්ථාව ඇතැම් විට ස්වීඩනයට හිමිවීමට ඉඩ ඇත. ඉතාලියානුවන්ට දුක තුනීකර ගැනීමට අවස්ථාව ඇත්තේ එසේය.

එසේ වුවත් ඒ දුක තුනීකර ගැනීමට දැන් ඔවුනට සිදුව ඇත්තේ ලෝක කුසලාන ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ජුලියස් රිමේට් රන් කුසලානය සැබෑ ලෙසින්ම ස්පර්ශ කිරීමට ඉතාලියට හැකිව ඇති හෙයිනි. ඒ වෙන කිසිදු හේතුවක් නිසා නොව වත්මන් පාපන්දු ලෝක කුසලානය නිර්මාණය කළ 1974 වර්ෂයේදී තිබූ ආකාරයටම එය නැවත වරක් පත්කිරීම සඳහාය. ඉතාලිය පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළද නොකළද මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වුවද නොවූවද පාපන්දු ලෝක කුසලානය ඉතාලිය වෙත පැමිණ ඇත්තේ ඒ අයුරිනි. එය සෑම වසර 4කට වරක් සිදුකරනු ලබන සාම්ප්‍රදායික ගමනකි. එසේ රැගෙන එන මෙම පාපන්දු ලෝක කුසලානය ඉතාලියේ මිලාන් නගරයේ හඳුනා නොගත් ගොඩනැගිල්ලක් තුළ එහි පිළිසකර කටයුතු කරනු ලබයි. එය සිදු කරන්නේ ඒ සඳහාම පුහුණුවූ අති දක්ෂ ශිල්පීන් විසිනි.

ඒ සඳහා වෙහෙස වන්නේ ඉතාලියානුවන්ය. මෙවර ලෝක පාපන්දු කුසලානය තම රටට හිමි නොවන බව හොඳින්ම දන්නා නමුත්, විසිඑක්වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට පෙර ඔවුන් එය පිළිසකර කළ යුතුය. ඒ සඳහා ඇත්තේ තව දින කීපයක් පමණි.

වසර 60 පසුව වූ ඉතාලියට පාපන්දු ලෝක කුසලානය සඳහා තරග වැදීමේ අවස්ථාව අහිමිවීමේ වේදනාව දරා ගැනීමට අපහසු තවත් හේතුවක් වන්නේ වත්මන් පාපන්දු ලෝක කුසලානයේ නිර්මාතෘවරුන් ඔවුන් වීම නිසාය.

ලෝක කුසලානයේ නිර්මාණ අයිතිය ඉතාලියට ගිය හැටි

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය 1970දී අලුත්ම ආකාරයෙන් යුතු පාපන්දු අනුරුවක් නිර්මාණය කිරීම සඳහා රටවල් 7 ක සංචාරයක කළේය. එහිදි විවිධ ශිල්පීන් නිර්මාණ අනුරූ 53ක් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අනභිබවනීය අවස්ථාව තම රට වෙත දිනාගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් අවසානයේදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනය තීරණය කළේ ඉතාලි නිර්මාණ ශිල්පියෙකු වූ සිල්වියෝ ගැසනිගා විසින් නිර්මාණය කරන ලද අනුරුව පාපන්දු ලෝක කුසලානය ලෙස යොදා ගැනීමටය. එම අනුරුවට අනුව ජි.ඩි.ඊ. බර්ටොනි නම් කුසලාන හා පදක්කම් නිර්මාණය කරන ආයතනය විසින් පළමු පාපන්දු ලෝක කුසලානය 1974 දී නිර්මාණය කළේ සේවකයන් 12 දෙනෙකුගේද සහයෝගය ඇතිවය. එසේ නිර්මාණය කරන ලද නැවුම් ජුලියස් රිමේට් රන් කුසලානය ආරම්භයේදීම ඉතාලියට අහිමි වුණේය. එම කුසලානය නිමැවූ සැණින් එය හිමිකරගත්තේ බටහිර ජර්මනියයි.

ලොක පාපන්දු කුසලානය පිළිසකර කිරීම සඳහා මෙවරත් තම ආයතනයට ගෙන ඒමෙන් පසුව එම නිර්මාණ ආයතනයේ වර්තමාන ප්‍රධානි වැලාන්ටිනා රෝසා මහත්මිය ඒ පිළිබඳව ප්‍රකාශකර සිටියේ මෙවැන්නකි. “ පළමු ලෝක කුසලානයම නැවත අප වෙත පැමිණෙන විට ඒ පිළිබඳ දැනෙන හැගීම හරිම වෙනස් එකක්. ”

“ ලෝක කුසලාන අනුරුවට මුළු ලෝකයෙන්ම අනුරූ 53 කට වඩා ඉදිරිපත් වුණා. ඒත් අපි තමයි හොඳම අනුරුව නිර්මාණය කළේ. ඇත්තටම ඒ හැඟීම කියන්න බැරි තරම් ගැඹුරු එකක්” යැයි ඇය මේ විශේෂ අවස්ථාව පිළිබඳ පවසා තිබිණි.

“ආරම්භක කුසලානය තමයි අදත් අප ළඟ තියෙන්නේ. ඇත්ත මොනාලිසාගේ රුව සහ එහි පිටපත දකිනවිට ඇතිවෙන හැඟීම් මොනවාගෙද? අන්න එවැනි හැඟීමක් තමයි සැබෑ ලෝක කුසලානය දකින විට ඇතිවෙන්නේ”

පාපන්දු ලෝක කුසලානය සෑම කෙනෙකුටම ස්පර්ශ කිරීමේ අවස්ථාවක් නැත. ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් සුලු පිරිසකටය. ඒ අනුව බලන කල එක අතකින් ඉතාලියානුවෝ වාසනාවන්තයින්ය. තවත් අතකින් අතීතයේ විඳි පරාජයේ කටුක මතක හා අහිමිවීමේ වේදනා අලුත්වන හෙයින් අවාසනාවන්තයින්ය. එහෙත් මෙහි සැබෑම අවස්ථාව හිමිව ඇත්තේ ඉතාලියේ පිහිටි බර්ටෝනි සමාගමේ සේවකයන්ටය. ඒ එහි අලුත්වැඩියා කටයුතු සිදු කරන්නේ ඔවුන් වන හෙයිනි. එය රැකියාවක් වුවද ඔවුන්ගේ සිතට නම් සංවේදී අවස්ථාවකි. කෙසේනමුත් එය ලොව සියලු දෙනාට හිමිවන්නේද නැති අවස්ථාවකි.

“මෙම කුසලානය වසර 4ක් තිස්සේ ගමන් කරනවා. සුලු හානියක් හෝ සිදුවුවහොත්, නැවතත් එය තිබූ තත්ත්වයටම අපි ගන්නවා” යැයි බර්ටෝනි සමාගමේ සේවය කරන විශේෂ සේවකයින්ගෙන් අයෙක් වන ප්‍රීට්‍රෝ බ්‍රැම්බිල්ලා පවසා සිටී.

බ්‍රැම්බිල්ලා මීට පෙර පාපන්දු ක්‍රීඩාව සඳහා කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකු නොවන බවත් පාපන්දු ලෝක කුසලානයේ අලුත්වැඩියා කටයුතු වල අඛණ්ඩවම නිරත වීම නිසා මේවන විට පාපන්දු ක්‍රීඩාව සඳහා දැඩි ඇල්මක් සහිත පුද්ගලයකු බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

මෙවර තරගාවලිය අවසානයේදී එනම් ජුලි 15වැනිදා තරගාවලියේ ශූරයින්ට කුසලානය පිරිනමන විට ඔවුන් විසින් සිප ආචාර දක්වමින් තම ජීවිතයටත් වඩා ගෞරව කරන මෙම කුසලානය තමන් අතට පත්වීමට ගමන් කළ මහාද්වීපික ගමනත්, එහි පිළිසකර කරණයේ කඳුළු කථාවත් ඔවුන්ට සිහිවන්නේ නැත. නමුත් මෙම කුසලානය පිටුපස ඇති කථාවේ වැදගත්ම කථාව වන්නේ කවුරුන් කුසලානය ජයග්‍රහණය කළද වසර හතරකට වරක් ජුලියස් රිමේට් රන් කුසලානයේ පහස ඉතාලියේ බර්ටෝනි ආයතනයේ සේවකයින් විසින් අත්විඳීමය. එය නිකම්ම පහසක් නොව පිළිසකර කරන ලද පාපන්දු රන් කුසලානයේ නැවුම් පහසය. ඒ නැවුම් සුවඳ ලෙහෙසියෙන් කිසිවෙකුට ලබාගත නොහැකිය.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා